නව වසරේ දී ශ්‍රී ලංකාවට විදෙස් රගර් තරගාවලි රැසක්

ෆවුස් මොහොමඩ්

ජාත්‍යන්තර රගර් තරග බිම ජයගැනීමේ බලාපොරොත්තු පොදිබැඳ ගනිමින් නව වසරේ දී මෙරට ජාතික කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ රගර් කණ්ඩායම් තීරණාත්මක විදෙස් තරගාවලි රැසකට එක්වෙති.

පසුගිය වසර කිහිපයේ දී ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ රගර් කණ්ඩායමට අහිමිවූ ආසියානු 15 සාමාජික රගර් තරග බිමේ සුපිරි රටවල් අතරට එක්වීමේ සහ ලෝක සත් සාමාජික රගර් තරගමාලාවට සුදුසුකම් ලැබීමේ අවස්ථාව උදා කරගැනීම නව වසරේ දී ශ්‍රී ලංකා පිලේ ප්‍රධානතම අපේක්ෂාව වී තිබේ. මීට අමතරව ආසියානු සත් සාමාජික රගර් තරගබිමේ වත්මන් ශ්‍රේණිගත කිරීම් අනුව සිවුවැනි තැන සිටින ශ්‍රි ලංකාව මේ වසරේ දී ඉදිරිපෙළ ස්ථානයක් අත්කරගැනීමේ අරමුණෙන් යුතුව පසුවෙයි.

ශ්‍රී ලංකා කනිෂ්ඨ රගර් කණ්ඩායම් වන අවුරුදු 18න් පහළ සහ 20න් පහළ කණ්ඩායම් පසුගිය වසරේ දී ආසියානු තරග බිම ජයගැනීමට සමත්වූ අතර මේ වසරේ දී ශූරතාව රැක ගැනීමේ අදිටනින් යුතුව පසුවෙයි.

ශ්‍රී ලංකා රගර් ආයතනය සහ පාසල් රගර් සංගමය ඒකාබද්ධව මෙරට රගර් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් අතිශය වැදගත් පියවර රැසක් ගැනීමට නියමිතව සිටින අතර මේ වසරේ දී ශ්‍රී ලංකාව මුහුණදෙන ජාත්‍යන්තර තරගාවලි සඳහා එය ක්‍රීඩකයන්ගේ දස්කම් ඔප් නැංවීමේ අතිරේක සාධකයක් වනු ඇත. පසුගිය වසරේ දි මෙරට ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ රගර් කණ්ඩායම් තේරීමේ දී මෙන්ම විදෙස් සංචාර සඳහා සහභාගිවීමේ දී මතභේද රැසකට මුහුණ දුන් අතර එවැනි සිදුවීම් ක්‍රීඩකයන්ගේ මානසිකත්වයට දැඩි බලපෑමක් එල්ල කළ සිදුවීම් බවට ද පත්වී තිබිණි. කෙසේවෙතත් නව වසරේ දී එම දුර්වලතා මග හරවාලමින් රගර් ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් සියලු පාර්ශ්ව එකමුතුව කටයුතු කරනු ඇතැයි රගර් ප්‍රවීණයෝ අනාවැකි පළ කරති.

ලබන මාර්තු මස මැලේසියාවේ බෝර්නියෝ දූපතේ පැවැත්වෙන ආරාධිත තරගාවලියකින් ආරම්භ වන ශ්‍රී ලංකාවේ විදෙස් තරග කාලසටහනේ අතිශය වැදගත් තරගාවලිය අප්‍රේල් මස හොංකොං නුවර පැවත්වෙන ලෝක සත් සාමාජික රගර් තරගමාලාවට සුදුසුකම් ලැබීමේ තරගාවලිය වෙයි. ඊට එක්වන ශ්‍රී ලංකා පිලේ පුහුණුවීම් මේ මස අගභාගයේදී ආරම්භ කිරීමට නියමිතය. ඉන් අනතුරුව එම මාසයේදීම ශ්‍රී ලංකා පිල ආසියානු 15 සාමාජික තරගාවලියට එක්වන අතර එහි දී ශූරතාව දිනාගනිමින් ලබන වසරේදී සුපිරි රටවල් අතර තරගාවලියට සුදුසුකම් ලැබීම ශ්‍රී ලංකා පිලේ බලාපොරොත්තුව වී තිබේ.

ලබන ජූලි මාසයේ දී ආසියානු අවුරුදු 18න් පහළ පාසල් රගර් තරගාවලිය පැවැත්වෙන අතර එහිදි ශ්‍රී ලංකා පිල දක්වන දස්කම් ජූලි මාසයේදීම බහමාස් හී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය යොවුන් ක්‍රීඩා උළෙලේ රගර් තරගාවලියට ප්‍රබල සාධකයක් වනු ඇත.

පසුගිය වසරේ දී ශ්‍රී ලංකාව ශූරතාව දිනූ අවුරුදු 20න් පහළ ආසියානු රගර් තරගාවලිය අදියර දෙකකින් යුතුව ජූලි මස අගභාගයේදී ඇරැඹේ. ශ්‍රී ලංකාව වත්මන් ශූරයන් බවට පත්වී සිටින අවුරුදු 18න් පහළ ආසියානු රගර් ශූරතාවලිය පැවත්වෙන්නේ අගෝස්තු මාසයේදීය. මේ වසරේ ආසියානු කාන්තා හා පිරිමි සත් සාමාජික රගර් තරගමාලාව සැප්තැම්බර් මාසයේ සිට ඔක්තෝබර් මාසය දක්වා අදියර තුනකින් යුතුව පැවැත්වීමට නියමිතය. හොංකොං, දකුණු කොරියාව සහ ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරමින් මේ තරගමාලාව පැවැත්වෙයි. ආසියානු අවුරුදු 19න් පහළ රගර් ශූරතාවලිය පැවැත්වෙන්නේ දෙසැම්බර් මාසයේදීය. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...