නිහඬ ප්‍රහාරය | දිනමිණ

නිහඬ ප්‍රහාරය

යුද අභ්‍යවකාශ යානා සම්බන්ධ විශ්ලේෂණ වාර්තාව පෘථිවි ආරක්ෂක හා බලශක්ති මෙහෙයුම කමිටු ප්‍රධානී මහාචාර්ය ඇක්‍රොවන්ට් විල්ට්මිල්ගේ අධීක්ෂණයට ලක් වෙයි. නවීනතම තාක්ෂණයෙන් යුත් අභ්‍යවකාශ යානා කිහිපයක් පිළිබඳව ද තොරතුරු වාර්තාවෙහි අන්තර්ගත වෙයි. වික්‍රයොට් වෙත පැය කිහිපයකින් ළඟා වීමේ හැකියාව යානාවලට ඇතැයි විශ්ලේෂණ නිලධාරීහු පෙන්වා දෙති. පෘථිවියට පමණක් නොව වික්‍රයොට් ආදී වෙනත් මන්දාකිණි ආශ්‍රිත ග්‍රහලෝකවලටද විවිධ තර්ජන මතුව තිබේ. ආලෝකයේ වේගය පිළිබඳ වත්මන් යුගයෙහි කිසිදු අවධානයක් නොමැත. විශ්ව ප්‍රජාව ආලෝකයේ වේගය මෙන් දෙතුන් ගුණයක වේගවත් බවක් අත්පත් කරගෙන තිබේ. තරගකාරීත්වය තුළ පෘථිවිය ද ආලෝකයේ වේගය ඉක්මවා ඇත. ඒ අනුව ආරක්ෂාව පිළිබඳ ගැටලු සහ අර්බුද රැසක් නිර්මාණය වී ඇත්තේ අතීතයේ පෘථිවියේ මෙන් ශක්තිමත් කණ්ඩායම් සෙසු ග්‍රහයන් අත්පත් කර ගැනීමේ අඛණ්ඩ ප්‍රයත්නයක නිරත වන බැවිනි.

නවීනතම ක්‍රම මඟින් ආරක්ෂාව තහවුරු කර ගැනීමට පෘථිවිය සමත්ව තිබේ. ඒ හේතුවෙන් විශ්ව ප්‍රජාව තුළ පෘථිවිය පිළිබඳ ගෞරවණීය හැඟීමක් පවතී. කිසිදු ආක්‍රමණයකට මෙතෙක් ගොදුරු නොවීමට පෘථිවිය සමත් වූයේ එහෙයිනි.

ස්වැට්බන්ස් ක්‍රෑල් තාරකාවේ වික්‍රයොට් වෙතද බලපෑම් රැසකි. එහෙත් මන්දාකිණි ආශ්‍රිත ග්‍රහලෝක අතර ප්‍රබල ස්ථානයක් වික්‍රයොට් වෙත ද හිමිව තිබේ. පෘථිවි ප්‍රජාව මෙන්ම වික්‍රයොට් ජනතාව ද කාලය අවකාශය පමණක් නොව භාෂා සීමා ද අතික්‍රමණයට සමත් වූහ. ඒ අනුව විශ්වයෙහි සුවිශේෂී ස්ථානයක වික්‍රයොට් ද වැජඹෙයි.

පවතින තත්ත්ව මත පෘථිවිය සමඟ ආරක්ෂක ගිවිසුමකට එළඹීමේ යෝජනාව ඉදිරිපත් වන්නේ වික්‍රයොට් වෙතිනි. දීර්ඝ සාකච්ඡාවලින් පසු පෘථිවිය ද ඊට එකඟත්වය පළ කරයි. තවත් පැය කිහිපයක් ඇතුළත වික්‍රොයොට් හා පෘථිවිය අතර ගිවිසුමට අභ්‍යවකාශයේ පිහිටි ස්වැට්බන්ස් ක්‍රෑල් තාරකාවට අයත් නිරීක්ෂණ මධ්‍යස්ථානයේ දී අස්සන් තැබේ. පෘථිවිය වෙනුවෙන් මහාචාර්ය ඇකොවන්ට් විල්ට්මිල් ඊට අත්සන් තබයි. වික්‍රොයොට් පරිපාලන නිලධාරී ක්ෂක්වි වීක්ෂ් ද ඊට සූදානම් බව විනාඩි කිහිපයකට පෙර පෘථිවිය ට දැනුම් දී තිබේ.

ඒ අනුව නවීනතම යුද අභ්‍යවකාශ යානා පිළිබඳ අධ්‍යයන වාර්තාවට මහාචාර්ය ඇකොවන්ට් විල්ට්මිල්ගේ අවධානය යොමු විය. මතු වන ගැටලු විසඳීමට ඔහු වටා විද්‍යාඥයෝ රැසක් රැස්ව සිටිති. එහෙත් මහාචාර්ය විල්ට්මිල් වෙත කිසිදු ගැටලුවක් නොමැත.

ආරක්ෂක ගිවිසුමෙහි එකඟතා සකස් කර තිබේ. විශ්වයේ වෙනත් ග්‍රහලෝකවලින් සිදු වන ආක්‍රමණවල දී දෙපාර්ශවය වෙත දෙපාර්ශවය විසින් ආරක්ෂක සහාය දක්වනු ලැබේ. ඊට තාක්ෂණ සහ යුද ක්ෂේත්‍ර ඇතුළත් වෙයි. එකිනෙකා වෙත අවශ්‍ය යෝජනා ද ඉදිරිපත් කර ඇත.

වික්‍රොයොට් හි ක්ෂක්වි වීක්ෂ් කියා සිටියේ විශ්ව අවධානය දිනා ගැනීම සඳහා ගිවිසුමට අස්සන් තැබිය යුතු බවයි. ඊට පෘථිවියේ ද එකඟතාව ලැබිණ.

මහාචාර්ය ඇන්ස්කි යුදමය සහාය සම්බන්ධ එකඟතාවෙහි සියලු දත්ත පූර්ණ ලෙස අධ්‍යයනය කරයි. ඒ සමඟ ඔහු අතිවිශේෂ දත්ත හුවමාරු පද්ධතියකට ද සම්බන්ධව සිටී. ඊට වික්‍රොයොට් වෙතින් අවසන් පණිවුඩය ලැබේ.

'මහාචාර්ය ඇකොවන්ට්...... අන්න වීක්ෂ් මධ්‍යස්ථානෙට ඇවිත්... '

'හ්ම්‘..අපිට පිටත් වෙන්න තව විනාඩි කිහිපයක් තියෙනව නේද ? ඇන්ස්කි'

සන් බීම් ත්‍රී යානාවේ ක්‍රියාකාරීත්වය පරිගණක මඟින් යළි ක්ෂණිකව අධ්‍යයනය කෙරේ. එය අභ්‍යවකාශ සංචාරයකට සුදුසු තත්ත්වයක පවතින බවට ඇන්ස්කි සනාථ කරයි.

මහාචාර්ය ඇකොවන්ට් විල්ට්මිල් ඇතුළු පිරිස රැගත් සන් බීම් ත්‍රී පෘථිවියෙන් පිටත්ව යයි. ඇන්ස්කි ක්‍රියාශීලී වෙයි. ඔහු පෘථිවියේ සිට විශේෂ පද්ධතියක් ක්‍රියාත්මක කරයි. විනාඩි දෙක තුනක දී ඉන් තොරතුරු රැසක් ඔහු වෙත ලැබේ. අතිශය රහස්‍ය ක්‍රියාදාමය දැන සිටින්නේ ඇන්ස්කි සහ ඇකොවන්ට් පමණි. පෘථිවියේ සෙසු විද්‍යාඥයෝ ද එය නොදනිති. වැදගත් කරුණු එකින් එක ඇන්ස්කි වෙත ලැබේ.

මහාචාර්ය ඇකොවන්ට් ගිවිසුමට අත්සන් තැබෙන මධ්‍යස්ථානයට ළඟා වෙයි. ඒ පිළිබඳ තොරතුරු ඇන්ස්කිගේ සිතුවිලිවලට සම්බන්ධ කෙරේ. තාක්ෂණික ක්‍රමවේද මඟින් නිර්මාණය කළ ඉඳිකටු හිසක් වැනි උපකරණයක් මිනිස් සිතට සවි කිරීමට ඇන්ස්කි සහ ඇකොවන්ට් වසර කිහිපයකට පෙර සමත් වූහ. සිතුවිලි උත්පාදනය හා පාලනය වන ස්ථානය ඊට වසර කිහිපයකට පෙර හඳුනා ගැනීමට විද්‍යාඥයන් සමත්ව තිබේ. ඒ අනුව කිසිදු අනාරක්ෂිත බවකින් තොරව එකිනෙකා වෙත අදහස් හුවමාරු කර ගැනීමේ හැකියාව ඇන්ස්කි සහ ඇකොවන්ට් වෙත ලැබිණ. එය අත්හදා බැලීමට ද ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාව ඔවුහු යොදා ගත්හ.

වික්‍රොයොට් හා පෘථිවි නියෝජිතයෝ ස්වැට්බන්ස් ක්‍රෑල් නිරීක්ෂණ මධ්‍යස්ථානයෙහි රැඳී සිටිති. ගිවිසුමෙහි ප්‍රතිලාභ හා ඉදිරි පරීක්ෂණ සම්බන්ධයෙන් ද ඔවුහු සාකච්ඡා කරති. ප්‍රිකෝසාල වින්ත්‍රාල ට්‍රැෆ්ටිල කූජන් ආදී ග්‍රහලෝකවල නියෝජිතයෝ ද අවස්ථාවට එක්වීමට පැමිණ සිටිති. එහෙත් ආරක්ෂක ගිවිසුම පිළිබඳ තොරතුරු වෙනත් ග්‍රහ පද්ධති වෙත ලබා නොදීමට දෙපාර්ශවය තීරණය කර තිබේ. ගිවිසුමට අත්සන් තැබීමට ආසන්න වෙයි. එය ඕනෑම ග්‍රහලොවක් වෙත වාර්තා කිරීමේ අවස්ථාව පවතී. සජීව තොරතුරු ඉදිරිපත් කිරීමට තාරකා පද්ධති රැසක පිරිස් එක්ව සිටිති. ප්‍රබල යැයි පිළිගත් හා වර්ධනය වෙමින් පවතින ග්‍රහයන්ගේ නියෝජිතයන් ද ඒ අතර සිටින බව දෙපාර්ශවය දනී.

වික්‍රොයොට් පරිපාලන නිලධාරී ක්ෂක්වි වීක්ෂ් සහ පෘථිවි මහාචාර්ය ඇකොවන්ට් ඔවුන්ට නියමිත අසුන් වෙත පිවිසෙති.

ඟිවිසුමට අත්සන් තබන්න එපා......'

ඇකොවන්ට් ගේ සිතුවිලි තුළට පණිවුඩයක් ලැබේ. ඒ ඇන්ස්කිගෙනි.

'ඒක කොහොමද කරන්නෙ...........'

'කළ යුතුයි... අතිශය වැදගත්.. ගිවිසුමට අත්සන් තැබුවහොත් පෘථිවිය වික්‍රොයොට්වලින් යටත් කර ගනීවි...'

සිතුවිලි හුවමාරුව කිසිවෙකුට නොදැනේ.

'මොකද වෙන්නෙ ?'

ඇකොවන්ට් ඇන්ස්කිගෙන් විමසයි.

'තව විනාඩි කිහිපයකින් අපි වික්‍රොයොට් අල්ලනවා... '

සිතුවිලි පාලනය කරගත නොහැකි වූ ඇකොවන්ට් මහ හඬින් සිනහ නගයි. සියල්ලෝ විමතියෙන් ඔහු දෙස බලති.

'ඇකොවන්ට් ගේ සිනහව පෘථිවියේ අන්තිම සිනහව.. ' එදෙස බැලූ වීක්ෂ් සිතයි. එක්වරම වීක්ෂ් වෙත පණිවිඩකරුවෙක් දිව එයි.

'මොනවා.................' වික්ෂිප්ත වූ වීක්ෂ් ඇකොවන්ට් වෙත හැරෙයි.

'අපි වික්‍රොයොට් ඇල්ලුවා....' ඇන්ස්කි ඇකොවන්ට්ගේ සිතුවිලි අතරට එක්වෙයි. වීක්ෂ් ගේ ක්‍රියාවෙන් ඇකොවන්ට් පුදුමයට පත් නොවේ.

'ඔබ අපේ යටත් වැසියෙක්...' ඇකොවන්ට්ගේ දෑත වීක්ෂ් වෙත දිගු වෙයි.

'මොනවා.. ඒක කොහොමද දන්නේ ?'

පැළඳි කබායේ සාක්කුවකින් ඇකොවන්ට් කුඩා බඳුනක් ඉවතට ගනී. ඉන් පිටතට ගැනෙන්නේ දුඹුරු පැහැ කුඩා ජීවියෙකි.

'පෘථිවියේ මූව හඳුන්වන්නෙ කූඹියා කියලා... මේ කූඹි වික්‍රොයොට් අල්ලලා දැන්.. එහෙම නේද ? '

දහසකුත් ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ ප්‍රාණ ඝාතයකින් තොරව වික්‍රොයොට් ග්‍රහලොවේ බලය පෘථිවියට නතු කරගත් සෙබළ පිරිස පිළිබඳ ඇකොවන්ට් හෙළි කරයි. පෘථිවි විද්‍යාඥයෝ ද මවිත වෙති.

'වික්‍රොයොට්වල අවියක් තියෙනවා.. ඒක භාවිතයෙන් පෘථිවිය යටත් කර ගැනීමෙ' පළමු අදියර විදියටයි වික්‍රොයොට් මේ ගිවිසුම ඇති කර ගන්න හදන්නෙ... ඒත් ඒ තොරතුරු හෙළි වුණා.. මහාචාර්ය ඇන්ස්කි තමයි හැමදේම හොයා ගත්තෙ... '

වීක්ෂ් වෙත පණිවුඩය ගෙනා වික්‍රොයොට් නියෝජිතයා එක්වරම සිහිසුන්ව ඇද වැටේ.

'දැක්කද කූඹියගෙ දක්ෂකම ?..' ඇකොවන්ට් පිරිසගෙන් විමසයි. ගැටලු රැසකි. කූඹියාගේ ක්‍රියාකාරීත්වය වටහා ගැනීමට සියලු විද්‍යාඥයෝ අපේක්ෂා කරති. වෙනත් ග්‍රහලෝකවලින් ද ඒ පිළිබඳ ඉල්ලීම් ඉදිරිපත් වෙයි.

'හැමදේම බෑ.. ඒත් ටිකක් කියන්න පුළුවන්... මේ නිර්මාණය අයිති පෘථිවියේ මහාචාර්ය ඇන්ස්කිට.. ඒ නිසා අපි ඔහුගෙන්ම අහල බලමු....'

පෘථිවියේ සජීව දර්ශන මධ්‍යස්ථානය වෙත ලබා ගැනීමට ඇකොවන්ට් පියවර ගනී. එහෙත් ඇන්ස්කි දක්නට නොලැබේ.

'එයාව කවදාවත් දකින්න ලැබෙන්නෙ නෑ.., යටහත් හඬක් නැගේ. ඒ වික්‍රොයොට් හි ප්‍රධාන පරිපාලකව සිටි ක්ෂක්වි වීක්ෂ් ගෙනි.

'පෘථිවියට අපි යටත්.. ඒත් අපිට විරුද්ධ වූ කෙනෙකුට පවතින්න දෙන්න බෑ.. අපේ තාක්ෂණයත් අපි පාවිච්චි කළා.. මෙන්න සිහිවටනයක්....'

වීක්ෂ් ඇකොවන්ට් වෙත යමක් දෙයි. ඇකොවන්ට් එය විවෘත කරයි.

'ඇන්ස්කිගේ අඵ’.. ' වීක්ෂ්ගේ හඬ ඇසේ.

කිසිවෙකුගේ අවධානයට ලක් නොවූ කුහුඹුවා වීක්ෂ් වෙත හැරේ. එක් වරම සියල්ලන් මවිතයට පත් කරමින් වීක්ෂ් ඇද වැටේ.

'මහාචාර්ය ඇකොවන්ට් දැක්ක නේද ? ඔය අතේ තියෙන්නෙ මගෙ ශරීරෙ අඵ විතරයි... තව ටිකකින් වීක්ෂ් නැගිටියි.... එයාට කරන්න ඕන දේ මම කූඹියට කියන්නම.....'

මහාචාර්ය ඇකොවන්ට් වෙත ඇන්ස්කිගේ සිතුවිලි ඇතුළු වෙයි. සීමා මායිමඅමතකව යන ඇකොවන්ට් ප්‍රීතියෙන් හඬ නගයි...

'හහ් හහ් හා.. මහාචාර්ය ඇන්ස්කි ගෙ ශරීරය නැතත් හිත අපි ළඟ'

වජිර කැළුම් පෙරේරා

නව අදහස දක්වන්න