ඩොනල්ඩ් ට්‍රම්ප් සැරසෙන් එල්ලවෙන්! ...? | දිනමිණ

ඩොනල්ඩ් ට්‍රම්ප් සැරසෙන් එල්ලවෙන්! ...?

ධම්මික සෙනෙවිරත්න

බොහෝවිට බාහිර ප්‍රශ්න කෙරෙහි මැදිහත් වීමට වඩා, අභ්‍යන්තර කාරණා ගැන ට්‍රම්ප් පාලනය වැඩි අවධානයක් යොමු කරනු ඇතැයි අපේක්ෂා කළ හැකි ය.

අමෙරිකා එක්සත් ජනපදයේ 45 වෙනි ජනාධිපතිවරයා වශයෙන් ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් දිවිරුම් දී වැඩ ඇරැඹීමට තවත් දෙසතියක කාලයක් තිබේ. ව්‍යවස්ථාවෙන්ම නියමවී ඇති පරිදි එම නිල උත්සවය ජනවාරි 20 වැනිදා පැවැත්වීමට නියමිතය. එහෙත් දැනටමත් ඇතැම් කාරණා සම්බන්ධයෙන් තීරණාත්මක බලපෑමක් කීරීමට ට්‍රම්ප්ට හැකිවී ඇති බවක් පෙනෙන්නට තිබේ. එක් අතකින් සම්ප්‍රදායික රාමුව තුළම නොරැඳීමට ඔහු වගබලාගනු ඇත. එබැවින් ඉදිරි කාලය තුළ අනපේක්ෂිත ප්‍රතිඵල දැකගත හැකිවනු ඇති බව ඇතැම් දේශපාලන විචාරකයන්ගේ අදහසය. අනෙක් අතට ආචාරධර්ම පිළිබඳ ස්වාධීන කමිටුව විසුරුවා හැරීමට කොන්ග්‍රසය තුළ රිපබ්ලිකන් නියෝජිතයන් දැරූ වෑයම වෙනස් කිරීමට ඔහු ක්‍රියා කර ඇත. ඊට වඩා බොහෝ වැදගත්, ප්‍රමුඛත්වය දියයුතු කාරණා ඇති බව ට්විටර් පණිවිඩයක් මඟින් ඔහු පවසා තිබේ. බදු සං‍ශෝධන, සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙළ ආදී ප්‍රමුඛ කාරණා ගැන මූලික අවධානය යොමුකළ යුතු බව ට්‍රම්ප්ගේ අදහසය. මීට පෙර ඔහු ලෝකයේම අවධානයට ලක්වූ තවත් ප්‍රකාශයක් කර තිබිණි. ඒ; අමෙරිකාව ලොව කිසිම තැනක පාලන තන්ත්‍ර වෙනස් කිරීමට නොයන බවය. රටවල්වල ආණ්ඩු වෙනස් කිරීමට වඩා අමෙරිකාවට විසඳාගතයුතු ප්‍රශ්න ඇති බව ඔහු පෙන්වාදී තිබිණි.

අමෙරිකානුවන්ගේ තෝරා ගැනීම

ජනාධිපතිවරණ සමයේ පැවැති බොහෝ මත විමසුම්වලින් පිළිබිඹු වූයේ ද මාධ්‍ය හැසිරීමෙන් පළවූයේ ද හිලරි ක්ලින්ටන්ට වාසිදායක තත්ත්වයක් ඇති බවය. එහෙත් අමෙරිකානුවන්ගේ තෝරා ගැනීම වූයේ ට්‍රම්ප්ය. ජනාධිපතිවරණයේ අවසන් අදියර වනවිට ට්‍රම්ප් විරෝධීන්ට පවා ඔහු කරට කර සටනක් දෙමින් ඇති බව පිළිගැනීමට සිදුවිය. ජයග්‍රහණයෙන් පසු ඩිමොක්‍රටික් පාක්ෂිකයෝ ඔහුට එරෙහිව විරෝධතා ද දියත් කළහ. කෙසේවුව ද අමෙරිකානුවන් සිය තෝරාගැනීම කළේ ආරක්ෂණවාදී පිළිවෙතකට රට යොමුකිරීමේ අභිලාෂයෙන් බව පැහැදිලි විය. සංක්‍රමණික අර්බුදය, ත්‍රස්තවාදී තර්ජනය, ආර්ථික අර්බුදය වැනි අභියෝග ගණනාවක් විසින් අමෙරිකානු ජනයා තුළ අනාරක්ෂිත හැඟීමක් මෙන්ම අස්ථාවරත්වයක් ඇතිකර තිබිණි. තමන් මෙන්ම රට ඉන් මුදාලිය හැකි නායකයකු ගැන ඔවුන් කල්පනා කළේ එබැවිනි.

ට්‍රම්ප් ජනාධිපති ධුරයේ දිව්රුම් දීමට ආසන්නව තිබියදී සිදුකළ ජනමත සමීක්ෂණයක ප්‍රතිඵල ‘ටයිම්’ වාර්තාවක සඳහන්ය. ඉකුත් සඳුදා නිකුත්වූ එම සමීක්ෂණ වාර්තාවට (Gallup poll) අනුව ට්‍රම්ප් ජනාධිපති ධුරයේ කාර්යයන් මනාව ඉටුකරනු ඇතැයි විශ්වාස කරන අමෙරිකානුවන්ගේ සංඛ්‍යාව 50%ට අඩුය. විශාල වශයෙන් අපවාදයට ලක්විය හැකි කාරණා වළක්වාගැනීම, අන්තර්ජාතික අර්බුද කළමනාකරණය කිරීම, හමුදා බලය වගකීමෙන් යෙදවීම වැනි දෑ සම්බන්ධයෙන් ඔහු දක්ෂ ලෙස ක්‍රියාකරනු ඇතිදැයි ඇසූ ප්‍රශ්න 3ට පිළිවෙළින් 44%, 46% හා 47% වශයෙන් ඔහු ගැන විශ්වාසය තබා ඇත. එනම් සමස්තයක් ලෙස එය 50%ට අඩුය. මේ ප්‍රශ්නම මීට පෙර බිල් ක්ලින්ටත්, ජෝර්ජ් ඩබ් බුෂ් හා බැරක් ඔබාමා තේරීපත්වූ සම‍යේ ඇසූවිට ඔවුන් ගැන අමෙරිකානුවන් 75%ක් පමණ විශ්වාසය තබා තිබූ බව ද එහි දැක්වේ. ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගෙන් ට්‍රම්ප් දක්ෂ පාලකයකු වෙතැයි පිළිගෙන තිබුණේ 21%ක් පමණි. රිපබ්ලිකන් පාක්ෂිකයන් 2/3 ක් ම (84%) ට්‍රම්ප්ගේ පාලනය කෙරෙහි විශ්වාසය තබා සිටී.

ජනතා විශ්වාසය දිනා ගැනීම

කෙසේවුවද මීට පෙර ඩිමොක්‍රටික් පාක්ෂිකයන් 94% ඔබාමාගේ පාලන හැකියාව කෙරෙහි විශ්වාසය තැබූ බව ද රිපබ්ලිකන් පාක්ෂිකයන් 95%ක් බුෂ්ගේ පාලන හැකියාව කෙ‍රෙහි ද විශ්වාසය තැබූ බව සලකනවිට ට්‍රම්ප් සිටින්නේ පහළිනි. මෙහි තවත් පැත්තක් තිබේ. ඒ; කොපමණ ඉහළ විශ්වාසයක් තබා තිබුණ ද සිය පාලන සමය තුළදී එය රැකීමට සහ ඉහළ කාර්යසාධනයක් පෙන්වීමට ට්‍රම්ප්ගේ පූර්වගාමීන්ට හැකිවී ද යන්න ප්‍රශ්නයකි. එසේ බලනවිට 1000ක පමණ නියැදියක් ඇසුරින් කෙරෙන මත විමසුමකින් හෝ විමසුම් ගණනාවකින් පමණක් පූර්ව නිගමනවලට එළැඹීම යුක්තිසහගත නැත.

ඩොනල්ඩ් ට්‍රම්ප් පාලන සමයේදී ඉහළ නිලයන්ට පත්වී ඇති තැනැත්තන් ගැන ද අවධානය යොමුවිය යුතුය. ට්‍රම්ප් උප ජනාධිපති ධුරය සඳහා තෝරාගෙන ඇත්තේ රාජ්‍යතාන්ත්‍රිකභාවයේ දක්ෂයකු ලෙස මෙන්ම ඉවසිලිවන්තව ක්‍රියාකළ හැකි පාලකයකු‍ ලෙස ප්‍රකට මයික් පෙන්ස්ය. ඔහු ඉන්ඩියානා ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා ය. රිපබ්ලිකන් අපේක්ෂකයා වශයෙන් ට්‍රම්ප් තෝරාගැනීමෙන් පසු පක්ෂ සමුළුවේදී ඔහු සිය උප ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කළේ මයික් පෙන්ස්ය. එය ඔහු ගත් බුද්ධිමත්ම තීරණයක් බව බොහෝ දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය.

දේශපාලනයේ හෝ රාජ්‍ය පරිපාලනයේ අත්දැකීම් නැති අයකු බවට ට්‍රම්ප්ට එරෙහිව එල්ලවන විවේචනවලට ද එය හොඳ පිළිතුරකි. ට්‍රම්ප්, කළමනාකරණයේ හා පාලනයේ දක්ෂයකු බව වෘත්තීයමය වශයෙන් ප්‍රකට කර තිබේ. එහෙත් රාජ්‍ය පාලනයේදී එකතුවිය යුතු ඇතැම් රාජ්‍යතාන්ත්‍රික හැකියාවන් හා දැනුම සිය සහායකයා වන පෙන්ස් මඟින් සපුරා ගැනීමට ඔහු කල්පනා කිරීම සහේතුකය. එමෙන්ම එය දූරදර්ශී තීරණයකි. මෙහිදී පෙන්ස් විශ්වාසවන්ත සහායකයකු බව ප්‍රකට කර තිබීම ද අවධානයට ලක්විය යුතුය. ට්‍රම්ප් විරෝධීන් වූ රිපබ්ලිකන් ක්‍රියාකාරීන් ඔහු වෙත දිනාදීම, ඉවසිලිවන්තව හා පරිණත ලෙස ක්‍රියාකිරීමට ට්‍රම්ප් යොමුකිරීම වැනි කාරණා මඟින් පෙන්ස් ඒ බැව් ප්‍රකට කළේය.

අමෙරිකා දේශපාලනයේ උප ජනාධිපති භූමිකාව ද අතිශයින් වැදගත්ය. ජනාධිපතිවරයා යම් හෙයකින් ඉවත්වුවහොත් හෝ ඔහුට ධුරය දැරීමට නොහැකිවුවහොත්, හදිසියේ අභාවයට පත්වුවහොත් හෝ ජනාධිපති ධූරයට පත්වන්නේ උප ජනාධිපතිය. ව්‍යවස්ථාවෙන්ම ඒ බව පිළිගෙන ඇත.

ජෝර්ජ් ඩබ්. බුෂ් ජනාධිපතිවරයාගේ සමයේ ඩික් චෙනී උප ජනාධිපති වශයෙන් ඉටුකළ කාර්යභාරය වැනි භූමිකාවක් මයික් පෙන්ස්ගෙන් ද දැකගත හැකිවනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය. කතානායක වශයෙන් මෙවර ද පත්ව සිටින්නේ හිටපු කතානායක පෝල් ඩී රයන්මය. ඔහු සහ ට්‍රම්ප් අතර මතවාදීමය වශයෙන් පවතින වෙනස්කම් අවම කිරීම සහ විශ්වාසය ගොඩනැගීමේදී ද උප ජනාධිපති පෙන්ස් වැඩකොටසක් ඉටුකරනු ඇත.

ඔබාමා පාලනය යටතේ ගනු ලැබූ ඇතැම් තීන්දු තීරණ ආපසු හැරවීම වැනි ඉදිරි ආසන්න ක්‍රියාමාර්ගවලදී රිපබ්ලිකන් කොන්ග්‍රස් සභිකයන්ට පවා විශාල පීඩනයකින් කටයුතු කිරීමට සිදුවනු ඇති බව ඇතැම් විචාරකයන්ගේ අදහසය. ඒ අතර ඔබාමා ඉදිරිපත්කළ “ඔබාමා කෙයා” වැඩපිළිවෙළ අ‍හෝසි කිරීම ප්‍රමුඛය. එය ඔවුන්ගේ ප්‍රධාන පොරොන්දුවක් ද වේ. බොහෝදුරට එය ලබන වසර හෝ 2019 වසර දක්වා කල්ගතවීමට ඉඩ ඇත.

ට්‍රම්ප්ගේ දිව්රුම්දීමත් සමඟ කොන්ග්‍රසය ඉදිරිපිට ඇත්තේ ද කාර්යබහුල වකවානුවකි. මැතිවරණ පොරොන්දු ඉටුකිරීම වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කිරීමට සිදුවන නිසා සාමාන්‍යයෙන් සතියකට දින 4ක් රැස්වන කොන්ග්‍රසය දින 5ක් වශයෙන් අමතර එක් දිනයක් ද රැස්වීමට නියමිතය.

හිලරි ක්ලින්ටන්ගේ පරාජයට තීරණාත්මකව බලපෑ කාරණයක් වූ විද්‍යුත් තැපැල් පණිවිඩ අපවාදයට රුසියානු බුද්ධි අංශවල සම්බන්ධයක් තිබුණේ ද යන්න මේ දිනවල අවධානයට ලක්ව ඇති තවත් කාරණයකි. එය රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් වන තරමටම දුරදිග ගියේය. අමෙරිකාව, රුසියානු තානාපති අංශවල නිලධාරීන් ගණනාවක්ම රටින් පිට කළේය. කෙසේවෙතත් රුසියානු ජනාධිපති පුටින් ඊට එකට එක කිරීමට ගියේ නැත. ට්‍රම්ප් පාලනය මේ ප්‍රශ්නයේදී ක්‍රියාකරන ආකාරය ඉදිරි සති කිහිපය තුළ දැනගත හැකිවනු ඇත.

චීන - අමෙරිකා සබඳතා

උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ ගැන ට්‍රම්ප් දැනටමත් පැහැදිලි අනතුරු ඇඟවීමක් කර ඇති බව දකුණු කොරියාව කියා සිටී. අමෙරිකාවට පහරදීමට හැකි මිසයිල තැනීමට ඉඩ නොදෙනු ඇතැයි ට්‍රම්ප‍්ගේ උපදේශිකාවක වන කෙලියන් කොන්වේ ප්‍රකාශකර තිබුණි. කොරියානු අර්ධද්වීපයේ පවතින තත්ත්වය වඩා බරපතළ කිරීමට හේතුවන කිසිවක් නොකළයුතු බවට චීනය ප්‍රකාශකර ඇත. අදාළ සියළු පාර්ශව සාකච්ඡාවෙන් හා සංවාදශීලී ප්‍රශ්න විසඳාගත යුතු බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශයක දැක්විණි.

උතුරු කොරියා‍ව පළමු මිසයිල අත්හදාබැලීම කළේ වසර 2006දී ය. ගතවූ දස වසර තුළ එය අඩාල කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ද සම්බාධක පැණවීම ඇතුළු යෝජනා කිහිපයක් ක්‍රියාවට නැංවීය. මෙහිදී ට්‍රම්ප් පාලනය ක්‍රියාත්මක වන ආකාරය කොරියානු අර්ධද්වීපයේ සාමයට මෙන්ම චීන - අමෙරිකා සබඳතාවලට ද බලපෑම් සහතික වනු ඇත.

සෙනෙට් මණ්ඩලය තුළ ඩිමොක්‍රටික් පක්ෂ නායකයා වශයෙන් එනම් විපක්ෂ නායක වශයෙන් පත්ව සිටින්නේ. එක් ෂුමර්ය. ඔහු සහ ට්‍රම්ප් අතර දුරකතන සංවාදයක් සිදුවී තිබේ. එහිදී, ෂුමර්, ට්‍රම්ප්ට මැතිවරණ සමයේ ට්‍රම්ප් පෙනීසිටි ස්ථාවරය සහ කැබිනට් මණ්ඩලය නම් කිරීම ඇතුළුව දැනට ඔහු ගෙන ඇති ඇතැම් තීරණ පිළිබඳ පෙන්වාදී ඇති බව වාර්තාවිය. සාර්ථකත්වය කරා ළඟාවීම සංකීර්ණ දෙයක් බව ඔහු පවසයි.

බොහෝවිට බාහිර ප්‍රශ්න කෙරෙහි මැදිහත්වීමට වඩා අභ්‍යන්තර කාරණා ගැන ට්‍රම්ප් පාලනය වැඩි අවධානයක් යොමුකරනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. ට්‍රම්ප්ගේ එක් ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් වූයේ රට තුළ මාර්ග, පාලම්, උමං දුම්රියමාර්ග හා ගුවන්තොටුපොළ නවීකරණය සඳහා ඇ. ඩො. ට්‍රිලියනයක් යොදවන බවය. අමෙරිකාවේ ගුවන්තොටුපොළ 3 වෙනි ලෝකයේ රටවල ඒවා බඳු යැයි ඔහු විවාදවලදී කීවේය. දැනට ඒවා ඇත්තේ වර්ගීකරණය අනුව ලොව 28 වෙනි තැනය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...