දෑස නෙපෙනුනත් ගාල්ලෙන් පළමු තැනට | දිනමිණ

දෑස නෙපෙනුනත් ගාල්ලෙන් පළමු තැනට

මෙවර උසස් පෙළ විභාගයේ කලා අංශයේ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ  තනුෂි තත්සරා දිව්‍යාංජලී මල්ලිකාරච්චි සිසුවිය සමත්ව සිටින්නීය.

හරිහැටි දෑස් නොපෙනෙන ඇය A සාමාර්ථ හතරක් ලබාගෙන ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානයත් දිවයිනෙන්ම 18 වැනි ස්ථානය දිනාගැනීමට සමත්ව ඇත.

ඉංග්‍රීසි, ප්‍රංශ, දේශපාලන විද්‍යාව සහ සාමාන්‍ය ඉංග්‍රීසි යන විෂයන් සඳහා ඇය විශිෂ්ට සාමාර්ථ හිමිකරගෙන සිටින්නීය.

ගාල්ල කලේගාන හීන්පැන්දල ප්‍රදේශයේ පදිංචි ඇය සැබැවින්ම දිරිය දියණියක් වන අතර උපතේදීම ඇගේ දෑස් දෙකම නොපෙනී ඇත.

පසුව ඇයගේ වයස අවුරුදු 04 දී පමණ කරන ලද සැත්කමකදී එක් ඇසක් සඳහා කළ ශල්‍ය කර්මයකින් තරමක හෝ පෙනීමක් ලබාදීමට වෛද්‍යවරුන් සමත් වී ඇත.

තම ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දැක් වූ තනුෂි තත්සරා මල්ලිකාරච්චි සිසුවිය -

මට ඕන වුනේ ඇස් දෙකම හොදට පේන අය වගේම සාමාන්‍ය විදියට දිවි ගෙවන්නයි. මගේ එක ඇසක් සම්පුර්ණයෙන්ම පේන්නේ නෑ.

අනිත් ඇසින් සාමාන්‍ය පේන අයගේ ප්‍රමාණය වගේ සියයට පහලොවක් වගේ පේන්නේ කියලා තමයි වෛද්‍යවරුන් කිව්වේ. මම ඒ පේන ප්‍රමාණයෙන් කෙහොම හරි වැඩ කරා. මම නිතරම හිතන්නේ මම සාමන්‍ය කෙනෙක් කියලයි.

මම කැමති නෑ මම විශේෂ අවශ්‍යතා ඇති කෙනෙක් කියලා හදුන්වනවාට. 

(ලංකින්ද නානායක්කාර - ඉමදුව සමුහ)

නව අදහස දක්වන්න