එක බිම් අඟලක් කිසිම රටකට දෙන්නේ නෑ | දිනමිණ

එක බිම් අඟලක් කිසිම රටකට දෙන්නේ නෑ

ඉන්ද්‍රාණි තෝරදෙණිය

 

හල්ලොළුව - දොඩම්වල පාලම විවෘත කරමින් ජනපති කියයි

ලෝකයේ කිසිම රටකට මේ රටේ බිම් අඟලක අයිතියක් නොදෙන බවත් සියලු ගිවිසුම් විවෘත භාවයෙන් යුතුව සිදු කෙරෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දා මහනුවර දොඩම්වල දී පැවැසීය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ පසුගියදා (06) පෙරවරුවේ ප්‍රාදේශීය පාලම් ව්‍යාපෘති යටතේ ඉදි කෙරුණු හල්ලොළුව - දොඩම්වල යා කෙරෙන පාලම ජනතා අයිතියට පැවරීමේ උත්සව සභාව අමතමිනි.

එහි දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද පැවැසීය. අපේ රටේ ඉහළ ඓතිහාසික සහ පාරිසරික වැදගත්කමක් තිබෙන මේ උතුම් බෞද්ධ නගරයේ සිංහල, දමිළ, මුස්ලිම් ජන කොටස්වල දීර්ඝකාලීන අවශ්‍යතා ඉටු කිරීමට ලැබීම ඉතාම සතුටට කරුණක්. පාලමක් ඉදිකිරීම උතුම් මානුෂීය කාර්යභාරයක් සහ මෙහෙවරක්. යා කිරීමක්. එක්කිරීමක්. මෙය ජනතාවට පමණක් නොව සත්ත්වයන්ට පවා යහපතක්. යුද්ධයක් පවතින විට එම ප්‍රදේශයේ සතුරු කණ්ඩායම කරන්නේ ප්‍රතිවාදී කණ්ඩායම් දුර්වල කරන්න ඒ ආශ්‍රිත පාලම් විනාශ කර දමන එක. ඒ තරමටම මේ පාලම්වල වැදගත්කමක් පවතිනවා.

මම ජනාධිපතිවෙලා අවුරුදු දෙකයි. පාර්ලිමේන්තු මැතිවරණය තියලා වසර එකහමාරයි. මේක පැරැණි ආණ්ඩුවක් විධියට සමහරු කතා කරනවා. අපිට තිබුණු බාධා ඉවත් කරලා සියලු ජාතීන් මිත්‍ර ජාතීන් කර අපි මේ සංවර්ධන කටයුතු කරගෙන යනවා. පසුගිය කාලේ මේ රටේ අධිවේගී මාර්ග හැදුවා. මහා මාර්ග හැදුවා. සංවර්ධන කටයුතු කළා.

මේ කතා කරන සියලුම සංවර්ධන කටයුතු කළේ ණයවෙලා. රුපියල් කෝටි නවලක්ෂයක් ගෙවන්න තියෙනවා. රුපියල් බිලියන නවදාහක්. අවුරුදු දෙකේ බලය ඉදිරියට තියෙද් දී මහින්ද රාජපක්ෂ මහතා කලින් ඡන්දයකට ගියේ මේ ආර්ථික අර්බුදයෙන් මිදෙන්න. එම ජනාධිපතිවරණයේ දී මම දිනුවා. ඒ ණය ප්‍රශ්නය මගේ අතට ආවා. ප්‍රශ්න විසඳන ගමන් අපි ප්‍රශ්නවලට මූණ දෙනවා. ණය අරගෙන සංවර්ධනය පෙන්වන්ට පුළුවන්. ලෝකයේ විශාල ණය බරින් පෙළෙන රටවලට කුමක්ද සිදුවුණේ කියලා අපි දන්නවා.

උදවු ගන්න පුළුවන් රටවල්, සංවිධාන, ජාත්‍යන්තර සංවිධානවලින් උදවු ලබා ගන්නවා. රට ගැන හිතලා තීන්දු තීරණ ගන්න ඕනෑ. රටට අහිතකර තීන්දු කිසිවිටෙකත් අපි ගන්නේ නෑ.

රටට තිබුණ බාධා බොහොමයක් ඉවත් කළා. අපි අල්ලපු මාළු ටික විකුණා ගන්නට බැරුව හිටියා. යුරෝපය නැවත අපේ රටේ මාළු මිල දී ගන්නවා. කර්මාන්ත ආයතන ක්ෂේත්‍රයට අවශ්‍ය ජී. එස්. පී. සහනය ලබන සතියේ ලැබෙනවා. රජයක් විධියට රටක් ගොඩගන්න තිබුණු බාධක ඉවත් කරගෙන සංවර්ධන ගමන යා යුතුයි.

එක පැත්තකින් චෝදනා කරනවා සංවර්ධනයක් නෑ කියලා. තව පැත්තකින් චෝදනා කරනවා රට නැති කරන්නට යනවා කියලා. හම්බන්තොට වරාය ගැන කතා කරනවා. අත්සන් කළ යුතු ගිවිසුම මෙතෙක් සකස් කරලා නෑ. තාක්ෂණික කමිටු වාර්තා, අමාත්‍යාංශ ලේකම්වරුන් තිදෙනකුගෙන් යුතුව සැකසෙන වාර්තාවත් තාම නෑ. අක්කර පහළොස්දහසක් ගැන කතා කරනවා. මම ඊට අදාළ සියලු ඇමැතිවරු නිලධාරීන් කැ‍ඳෙවුවා. අක්කර 15, 000ක ලියවිල්ලකුත් නෑ. ඇත්ත තත්ත්වය අපේ රටට කර්මාන්ත අවශ්‍යයි. මේ සඳහා ඉඩම් දෙන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟව. භූමියේ අයිතියක් දෙන්නැති විදිහට ඒ අයට සුදුසු ස්ථාන සොයලා බලලා දෙනවා.

හම්බන්තොට දිස්ත්‍රික්කය ඓතිහාසික පදනමක් ඇති රජවරු සිටි පළාතක්. ඓතිහාසික වෙහෙර විහාර රාශියක් තියෙනවා. අසත්‍ය ප්‍රචාර කරලා සියල්ල කඩාකප්පල් කරන්නට හදනවා.

මේ ආණ්ඩුව මේ අවුරුද්දේ වට්ටනවා කියලා කතා පතුරනවා. වට්ටන ක්‍රමයක් නම් දකින්න නෑ. ඒක කැමැති අයට 2020න් පස්සේ ඡන්දෙන් පුළුවන් යැයි ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා- මහනුවර නගරයේ තදබදය අවම කරන්න, නව උමං මාර්ගයක් ගැටඹේ සිට තැන්නේකුඹුර දක්වා ඉදිකරනවා. දේශීයත්වය ගැන කථා කරන අය එදා අධිවේගී මාර්ග ඉදි කරන්න දේශීය සමාගම්වලට දුන්නේ නැහැ. නව රජය ඉතිහාසයේ ප්‍රථම වතාවට අධිවේගී මාර්ග ඉදිකරන්න දේශීය සමාගම්වලට භාරදුන්නා.

1989 වසරේ මහනුවර ආසනය මා සංවිධාන කටයුතු කරන කාලයේ සිටම මේ හල්ලොළුව පාලම ගැන විශාල ජනතා ඉල්ලීම් මා වෙත පැමිණියා. මේ ස්ථානයේ පාලමක් ඉදිකරන්න පාලමට මුලින් මුල්ගල තිබ්බේ 1960 – 65 ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩු කාලයේ. එදා හිටියා නියෝජ්‍ය ඇමැතිවරයෙක් හේමචන්ද්‍ර සිරිසේන කියලා. එතුමා තමයි මුල්ගල තිබ්බේ. මොනයම් හෝ හේතුවක් නිසා මෙය අවුරුදු ගණනාවක් හදන්න ප්‍රමාද වුණා. නමුත් මම සතුටු වෙනවා මට ලැබුණු ප්‍රථම අවස්ථාවේම මේ දොඩම්වල, හල්ලොළුව ප්‍රදේශයේ ජනතාවගේ දීර්ඝ කාලයක් සැබෑ නොවුණ සිහිනය අද සැබෑ කරන්න පුළුවන් වුණ එක ගැන.

ඇමැතිවරයා මේ අදහස් පළ කළේ බ්‍රිතාන්‍ය යකඩ පාලම් ව්‍යාපෘති ආධාර යටතේ මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරන ලද මහනුවර දොඩම්වල සහ හල්ලොළුව ප්‍රදේශ යා කරමින් මහවැලි ගඟ හරහා ඉදිකෙරුණ නව පාලම ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයට සහභාගීවීමෙන් අනතුරුව එහි පැවැති ජන හමුව අමතමිනි.

මහවැලි ගඟ තරණය කරන්නට අනාදිමත් කලක පටන් පැවැති සංගිලි පාලම වෙනුවට දොඩම්වල හා හල්ලොළුව ප්‍රදේශ යා කෙරෙමින් නව පාලමක් තැනීමට වසර 50ක ඉතිහාසයේ විවිධ අවස්ථාවල 7 වරක් පමණ මුල්ගල් තැබුවත්, ඒ කිසිඳු අවස්ථාවක පාලමේ ඉදිකිරීම් ආරම්භ කිරීමක් සිදු නොවීය. නව රජය බලයට පත්වීමත් සමඟ උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා 2016.01.20 වැනි දින පාලමේ ඉදිකිරීම් ආරම්භ කළේ වසරක කාලයක් තුළ ඉදිකිරීම් අවසන් කිරීමේ සැලසුම ද සහිතවයි. ඒ අනුව ආරම්භ කළ ඉදිකිරීම් වසරකටත් අඩු කාලයක් තුළ අවසන් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය සමත් විය. අද දින ජනතා අයිතියට පත් කළ මේ පාලමේ දිග මීටර් 105කි. මේ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 374කි.

මේ මහනුවර දිස්ත්‍රික්කය ජනාධිපතිවරයාට ජය භූමියක්. අපි ජනාධිපතිවරණය වැඩි ඡන්ද 85, 000 කින් ජයග්‍රහණය කෙරුවා. පාර්ලිමේන්තු මැතිවරණය 135, 000කින් අපි ජයග්‍රහණය කෙරුවා. අපි මැතිවරණයේ දී දුන්න පොරොන්දු එකින් එක දැන් ඉෂ්ට කරගෙන යනවා. විශේෂයෙන් අපේ ගරුතර මහා සංඝරත්නයට මතක් කරන්න කැමැතියි මහනුවර නගරය වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ උපදෙස් මත අපි ආරම්භ කර තිබෙනවා. කඩවත ඉදලා මීරිගමට අපි වැඩ පටන් අරගෙන තිබෙනවා. මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස අපි දේශීය කොන්ත්‍රාත්කරුවන්ට දීලා තිබෙනවා. අපේ රටේ ඉතිහාසයේ ප්‍රථම වතාවට අධිවේගී මාර්ග කොටසක් සෑදීමට දේශීය කොන්ත්‍රාත්කරුවන්ට දුන්නේ යහපාලන රජයයි. දේශීයත්වය ගැන කථා කෙරුවට පසුගිය කාලයේ සියලුම කොන්ත්‍රාත් දුන්නේ විදේශීය සමාගම්වලට.

නමුත් මේ යහපාලන රජය දේශීය කොන්ත්‍රාත්කරුවන් ගැන පූර්ණ විශ්වාසය තියලා මේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස හදන්න භාර දීලා තිබෙනවා. එම කොටස තව මාසයක් වැනි කෙටි කාලයක් තුළ අපි වැඩ ආරම්භ කරනවා. එතන ඉඳලා ගලගෙදර කොටස ජපන් සමාගමක් සමඟ සාකච්ඡා කරලා අපි ඒ අයට ලබා දෙන්න කටයුතු සූදානම් කරලා තිබෙනවා. ඒ වගේම මහනුවර නගරයේ තදබදය අවම කරන්න නව උමං මාර්ගයක් හදනවා. එය ගැටඹේ සිට තැන්නකුඹුර දක්වා ඉදිකරන්න කොරියන් සමාගමක් සමඟ සාකච්ඡා කරලා අවසන්. මෙය අපි අවුරුදු‍ දෙකක් ඇතුළත අවසන් කරනවා. බෝගම්බර බන්ධනාගාරයට අයත් අක්කර 10ක භූමිය මහනුවර ජනතාවට අවශ්‍ය පරිදි සංවර්ධනය කරන්න ජපන් රජය සමඟ සාකච්ඡා පවත්වමින් ඉන්නවා. අපි මේ දිස්ත්‍රික්ක විජයග්‍රහණය කරපු නිසා ජනාධිපතිවරයාගේ ආශිර්වාදය සමඟ මේ සංවර්ධන කටයුතු අපි මහනුවර ආරම්භ කරනවා.

මේ අවස්ථාවට අස්ගිරි පාර්ශ්වයේ මහනායක වරකාගොඩ ඥාණරතන මහනායක නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මල්වතු සහ අස්ගිරි උභය පාර්ශ්වීය අනුනායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු‍ ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ කිතුනු, ඉස්ලාම්, හින්දු ආගමික පූජක හිමිවරුන් ද තැපැල් කටයුතු හා ඉස්ලාම් ආගමික කටුයතු ඇමැති එම්. එච්. ඒ. හලීම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ලකී ජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ ඇතුළු මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු, පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මැති ඇමැතිවරුන් ඇතුළු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වූහ.

ඡායාරූප ගාමිණී රණසිංහ 

නව අදහස දක්වන්න