වෙන්ඩිගේ ප්‍රේම දැල්ලට තරුණ පළගැටියෙක් | දිනමිණ

වෙන්ඩිගේ ප්‍රේම දැල්ලට තරුණ පළගැටියෙක්

ෆවුස් මොහොමඩ්

 

‘ඇය මට වැඩිය අවුරුදු තුනක්ම වැඩිමල්...’

එසේ කියන්නේ 48 හැවිරිදි වෙන්ඩි ඩෙන්ග් සමග පෙමක පැටලුණු 21 හැවිරිදි බර්ටොල්ඩ් සහෝරන්ගේ මවය. ඇය කියන්නේ මෝස්තර නිරූපණයට ඇති ආසාව නිසාම හංගේරියාවේ සිට අමෙරිකාවේ නිව්යෝක් නුවර බලා ගිය සිය කඩවසම් පුත්‍රයා චීන සම්භවයක් ඇති මේ සරාගී ගැහැනියගේ තුරුළට වැටීම ගැනය.

ලෝක මාධ්‍ය ක්ෂේත්‍රයේ බලවතකු හා ධන කුවේරයකු වන අමෙරිකාවේ නිවුස්කොප් හී හිමිකරු රූපට් මර්ඩොක්ගේ හිටපු තුන්වැනි බිරිය වූ වෙන්ඩිගේ යොවුන් පෙම්වතා මර්ඩොක්ට වඩා හරියටම අවුරුදු 64ක් බාලය.

තවමත් කෙළිලොල් තාරුණ්‍යයේ එළිපත්තේ සිටින සහෝරන්ගේ සහ නිතර නිතර පිරිමින් නිසා ‘කතන්දර ගොඩක්‘ හදාගත් වෙන්ඩිගේ අසම්මත ආදර කතාව ගැන විවිධ මත පළවෙන්නට පටන් ගත්තේ ඊයේ පෙරේදාය. එසේවුවත් හංගේරියාවේ සිටින තරුණයාගේ මව ‘වර්ගා‘ නම් ඊට විරුද්ධත්වයක් පළකොට නොමැත.

‘ඒක එයාගේ ජීවිතය..එයාට නිදහස තියෙනවා කැමැති තීරණයක් ගන්න...‘ සහෝරන්ගේ මව එසේ කියන්නීය.

හංගේරියාවේ කුඩා ගම්මානයක උපන් සහෝරන්ට කුඩා වියේදී තිබුණේ බාස්කට්බෝල් ක්‍රීඩකයකු වීමේ සිහිනයකි. එහෙත් ඒ සඳහා ඔහුගේ උස ප්‍රමාණවත් නොවන බව කියමින් ඔහු මුලින්ම හිසකේ විලාසිතා කරන ඔහුගේ මිතුරකු වෙනුවෙන් ඡායාරූපවලට පෙනී සිටිම වෘත්තීය කරගත්තේය. හෙතෙම අන්තිමේදී මෝස්තර නිරූපන කලාවට සේන්දු වූයේ ඒ ඔස්සේය.

මේ තරුණයා මෝස්තර නිරූපන ලෝකයට තවමත් කෝඩුකාරයෙකි. එසේවුවත් මෝස්තර නිරූපනයෙන් පමණක් නොව ප්‍රේමනීය හා කායික සම්බන්ධතා අතිනුත් කෙළවරටම ගිය වෙන්ඩිගේ තුරුළේ ඔහු ඇති පදමට උණුසුම් වන අයුරු පසුගියදා අන්තර්ජාලයේ දුටු කාගෙත් ඇහිබැම ඉහළට එසැවුණේ මේ සරාගී ගැහැනියගේ පැටිකිරිය කවුරු කවුරුත් හොඳින්ම දැන සිටි බැවිනි.

දෙදෙනා එක්ව අතැඟිලි පටලවා ගනිමින් කැරීබියන් මුහුදු වෙරළේ දී නව වසරේ උදාව සැමරූ අයුරු අන්තර්ජාලයට එක්වීමත් සමගත් කවුරුත් ඒ ගැන කතා කරන්න වූහ.

චින ජාතික කාන්තාවක් වුවත් තරමක් උස සිහින් සිරුරකටත්, පළමු දසුනෙන්ම ඕනෑම පිරිමියකුගේ හැඟීම් ඇවිස්සීමට තරම් හැකියාවකුත් ඇති වෙන්ඩි අවුරුදු 15ක් පුරා සිටියේ මාධ්‍ය ලෝකයේ මෝගල් අධිරාජයා නමින් ප්‍රකටව සිටින 85 හැවිරිදි රූපට් මර්ඩොක්ගේ තුන්වැනි බිරිය හැටියටය. ඒ කාලය පුරාම වරින් වර වෙන්ඩි සහ වෙනත් පිරිමින් අරභයා ලොව පුරා කටකතා ගොන්නක්ම පැතිරී ගියත් මර්ඩොක් ඒ සියල්ල උපේක්ෂාවෙන් විඳදරා ගත්තේ එවැනි කතා පැතිරෙන්නේ ඇයට වඩා තමා අවුරුදු 37ක්ම වැඩිමල් නිසා විය යුතු බව උපකල්පනය කරමිනි.

එහෙත් 2014 වසරේදී ඔහුට ඇයව දික්කසාද කරන තැනට වැඩ සිද්ධ වූයේ බ්‍රිතාන්‍ය යේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් සමග ඇය අනියම් පෙමක පැටලී ඇති බවට හටගත් දැඩි සැකය නිසාවෙනි. ඔහු මර්ඩොක්ගේ සමීපතම හිතවතාය. එපමණක් නොව මර්ඩොක්ට හා වෙන්ඩිට දාව උපන් දෙවැනි දියණියට කතෝලික දහමට අනුව කැපකාර පියා හෙවත් පඤ්ඤා බවට පත්වී සිටියේ ද බ්ලේයාර් ය.

වෙන්ඩි අනියම් ඇසුරකට වැටුණේ ඇගේ දියණියගේ කැපකාර පියා සමගිනි. සිය බිරිය බ්‍රිතාන්‍ය හිටපු අගමැතිවරයා අයත් අතිසුඛෝපභෝගී නෞකාවක රාත්‍රීන් කිහිපයක් ගත කළ බව හැරුණුවිට අමෙරිකාවේ තවත් ධන කුවේරයකු වන එරික් සූමිඩ් සමග බෙවර්ලි හිල්ස් සුපිරි නිවාස සංකීර්ණයේ රාත්‍රී කිහිපයක් පහන් කිරීමේ පුවතක් ද මර්ඩොක්ට ආරංචි වී තිබිණි.

තව දුරටත් මේවා ඉවසාගෙන සිටීමට තරම් දැඩි හිතක් මහළු වියේ පසුවන මර්ඩොක්ට තිබුණේම නැත. අනිත් අතට කුකුල් කේන්තිකාරයකු වන මර්ඩොක්ට බ්ලෙයාර් හා සිය බිරිය සම්බන්ධව පැතිරී යන්නට ගත් කට කතා තව දුරටත් ඉවසාගැනීමට නොහැකිවූයේ ඒවා සිය කීර්තිනාමයට දැඩි කැළලක් වනු ඇතැයි සිතුණු නිසාය.

එමෙන්ම මෙවැනි කටකතා නිසා වසර 37ක් බාල මේ කාන්තාව සතුටු කරන්නට තරම් සමත්කමක් තමාට නැති බවට සමාජයේ අවලාද සහිත මතයක් පැතිරයනු ඇතැයි ද ඔහුට අනියත බියක් ඇතිවිය. ඔහුට එය තදින්ම සිතට කා වැදුණේ මුදල් ඉපැයීමට මෙන්ම කාන්තා ඇසුරට ද ඔහු දැඩි ලෙස ලොල්ව සිටි බැවිනි. මේ කාරණාව නිසා සෙසු කාන්තාවන් ඉදිරියේ ලජ්ජාවට පත්වීමේ අවදානම ගැනත් ඔහු සිතා බැලුවේය. ඒ නිසා අන්තිමේදී මර්ඩොක් ඇය අතහැර දැමුවේය.

මර්ඩොක්ගේ දික්කසාදවීමෙන් පසුව වෙන්ඩි අරභයා එවැනි ගෘංගාරාත්මක පුවත් මැවෙන්නට වූයේ බලා සිටිද්දීමය. ඒ අතර වැඩිම අවධානයට ලක්වූ පුවත වූයේ ඇය ලෝක දේශපාලනයේ නොම්මර එකේ කෙරුම් කාරයකු වන රුසියාවේ ව්ලැදිමීර් පුටින් සමග අනියම් පෙමක පැටලී ඇතැයි යන්නය. පුටින් මෙන්ම වෙන්ඩිත් ඒ පුවත කණකට නොගැනීම වෙනම කතාවකි.

පුටින් අරභයා පමණක් නොවන ඊට අමතරව තවත් පෙම් සබඳතා රැසකට වෙන්ඩි හවුල්වීම ගැන අමෙරිකානු ඕපාදූප පුවත්පත් අතර පිටු ගණන් ලිපි පළවන්නට විය.

මෙලෙස ගෘංගාරාත්මක ප්‍රේමයෙන් ලොව ප්‍රබලතම පුද්ගලයන්ගේ හිත් වසඟ කළ වෙන්ඩි අමෙරිකාවට සේන්දු වූයේ මීට වසර 29කට පෙරය. එය සිදුවූයේ එක්තරා අමෙරිකානු පවුලක් එවකට 20 හැවිරිදි වියෙහි පසුවූ වෙන්ඩිට එරට අධ්‍යාපන කටයුතුවල නිරතවීමට ‘ස්ටූඩන්ට් වීසා‘ ලබාදීමට තරම් කාරුණික වීම නිසාය.

ඇයට මර්ඩොක්ගේ මාධ්‍ය සමාගමේ ‘ෆොක්ස්‘ රූපවාහිනි චැනලයේ දොරටු විවර වූයේ කැලිෆෝනියාවේ යේල් කළමනාකරණ උසස් විදුහලෙන් ආර්ථික විද්‍යා උපාධිය ලබාගැනීමෙන් පසුවය. අනතුරුව ඇය මෝස්තර නිරූපන ශිල්පිනයක ලෙසත්, රූපවාහිනි රංගන ශිල්පිනියක ලෙසත් සිය දස්කම් මුවහත් කරගත්තාය.

පනහකට ආසන්න වයසක සිටියත් තවමත් පිරිපුන් සිරුරකට හිමිකම් කියන වෙන්ඩිගෙත්, නිල් පාට ඇස් ඇති හංගේරියානු තරුණයාගෙත් ආදර අන්දරය ගැන කවුරුත් දැනගත්තේ අද ඊයෙක වුවත් එය ආරම්භ වූයේ පසුගිය වසරේ මැයි මාසයේදීය. ඒ අනුව බලද්දී මර්ඩොක්ගෙන් දික්කසාද වීමෙන් පසුව ඇය වැඩිම කාලයක් පෙම්කරමින් සිටින එකම තරුණයා ඔහුය.

ඒ වෙද්දී මේ පෙම් පළහිලව්ව දැන සිටියේ නිව්යෝක් නුවර මෝස්තර නිරූපන ක්ෂේත්‍රය තුළ සිටි අය පමණි. ඇය එවකට පදිංචිවී සිටියේ නිව්යෝක් නුවර ඩොලර් මිලියන 44ක් වටිනා සුඛෝපභෝගී නිවසකය. එය මර්ඩොක්ගෙන් දික්කසාද වීමෙන් පසුව ඇයට ලැබුණු වන්දියකි.

තවමත් කෙළිලොල් වියෙහි පසුවන දඟකාර තරුණියක මෙන් හැසිරුණත් වෙන්ඩිට යොවුන් වියට පා තබමින් සිටින දියණියන් දෙදෙනෙකි. වැඩිමල් දියණිය ග්‍රේස් වෙන්ඩිගේ අලුත් පෙම්වතාට වඩා බාල අවුරුදු 5ක් පමණි.

සිය හංගේරියානු පෙම්වතා සමග වෙන්ඩි නිවාඩුව ගත කිරීමට කැරීබියන් දූපත් සමූහයේ වෙරළ තීරයට ගියේ ඇගේ දියණියන් දෙදෙනාත් කැටුවය. 16 හැවිරිදි ග්‍රේස් සහ 13 හැවිරිදි චෝලේ සිය මවගේ ලාබාල පෙම්වතාට බෙහෙවින් ඇළුම් කළහ. ඔවුන් මේ තරුණයා දුටුවේ වැඩිමල් සොයුරකු ලෙසටය. කවුරුත් කියන්නේ අවුරුදු 27ක වයස් පරතරයක් ඇති වෙන්ඩිගේ සහ සහෝරන්ගේ මේ අසම්මත පෙමට නම් වැඩි ආයුෂ නැති බවය.

 

නව අදහස දක්වන්න