වැරැදි හදාගෙන ජීවිතය ජය ගන්න ක්‍රම පහක් | දිනමිණ

වැරැදි හදාගෙන ජීවිතය ජය ගන්න ක්‍රම පහක්

මදාරා මුද­ලිගේ

 

“වැරැදි සිදුවීම මිනිස් ගතියකි. සමාව දීම දේව ගතියකි” යනු පැරැණි කියමනකි. කෙසේවුව, නිවැරැදිව දිවි ගෙවනවා නම්, කාගෙන්වත් සමාව ගන්නට සිදු වන්නේ ද නැත. තමා අතින් වැරැදි සිදුවෙනවා යැයි සිතේ නම්, එම වැරැදි නිවැරැදි කරගෙන, ජීවිතය ජය ගන්නේ කොහොමද? මේ ඒ සඳහා ක්‍රම පහකි.

* ක්‍රමවත් සැලැසුමකට අනුව දවස ආරම්භ කිරීම

කාලය කළමනාකරණය කර ගනිමින්, දවසේ වැඩ කටයුතු කිරීමට ක්‍රමවත් සැලැසුමක් සකසා ගත යුතු ය. උදෑසන නැඟිටි මොහොතේ සිට, රාත්‍රී නින්දට යන තෙක් කළ යුතු වැඩ කටයුතු, කාලසටහනකට අනුව කරනවා නම්, බොහෝ ගැටලුවලින් අත්මිදීමට එය පිටිවහලකි. පවුලෙහි අන්‍යෝන්‍ය සබඳතා වැඩිපුරම බිඳ වැටෙන්නේ, ක්‍රමවත් සැලැසුමකට දවස ආරම්භ නොකිරීම නිසා ය. අද දින කිරීමට ඇති වැඩ කටයුතු අද ම අවසාන කිරීමට සිතේ දැඩි ආත්ම විශ්වාසයක් තබා ගැනීම වඩාත් යෝග්‍ය ය. ඔබ සමාජයේ කවර තරාතිරමක ජීවත්වන පුද්ගලයකු වුවත්, ක්‍රමවත්ව දවස සැලැසුම් කර ගන්නේ නම්,එය ඔබේ මුළු දිවියටම ආලෝකයකි.

* වෙලාවක් නැතැයි නොසිතීම

කිසි ම පුද්ගලයකුට තනිවම ජීවත් විය නොහැකි ය. පාසල, පවුල, රැකියා ස්ථානය යන සෑම ස්ථානයකදීම, එකිනෙකා සමඟ එක්ව වැඩ කිරීමට සිදුවේ. ඔබේ ළඟ ම හිත මිතුරකුගේ උපන් දින සාදයකට සහභාගි වීම, ඔබ කැමැතිම විනෝද ගමනක් යාම වැනි දෑ සඳහා ඔබේ කාලය යම් තරමකට හෝ වෙන්කර ගැනීම, ඔබේ ඒකාකාරී මනසට යම් තරමක සුවයකි.

අන් අය සමඟ සුහදව කතාබහ කිරීමට, ජීවිතයේ ගැටලුවලට පිළියම් සෙවීමට ඔබට හැකි වන්නේ, ඔබේ වටිනා කාලය, අන් අය සමඟ සුහදව කිරීමට කාලය යොදා ගතහොත් පමණි. ගැටලු තනිවම නිරාකරණය කර ගැනීමට වඩා, අන් අය සමඟ කතිකාකොට, ඔවුන්ගේ සමාජ අත්දැකීම් ද ඔබේ ජීවිතයට සමීප කර ගැනීමට හැක්කේ, අන්‍යයන් සමඟ සුහදව කටයුතු කිරීමට කාලය ඉතිරිකර ගතහොත් පමණි.

* සැබෑ කරගත නොහැකි අරමුණු හඹා නොයෑම

සෑම පුද්ගලයකුටම අරමුණු ඇත. බොහෝවිට, යථාර්ථවත් නොවන අරමුණු මඟින් මනස ව්‍යාකූල කරගන්නා පුද්ගලයන් සමාජයේ ජීවත්වේ. වැරැදි මතවාදවලට වහල් වී, පුහු අරමුණු කරා යනවාට වඩා, කාලය අර්ථවත් ලෙස ගතකිරීමට අද සිටම ඔබ පුරුදු විය යුතු ය.ඒ සඳහා සිතේ දැඩි අධිෂ්ඨානයක් තබා ගත යුතු ය. ඔබේ ජීවිතයට, යහපත් චරිතයක් සමීප කරගෙන, එම පුද්ගල චරිතය අනුව තම දිවිය ජය ගන්නට උත්සාහ කරනවා නම්, ඔබේ ජීවිතයේ වැරැදුණු තැන් ඉක්මනින් ම නිවැරැදි කරගත හැකි ය.

තමන්ගේ ජීවිතයේ අඩුපා මොනවාද යන්න නිශ්චය කර ගැනීම

* අඩුපාඩු නැති මිනිසුන්, ලෝකයේ කොතැනකදීවත් සොයාගත නොහැකි ය. අඩුපාඩු ඇතිවන්නේ ඇයි? එයට හේතු මොනවාද? යන්න පිළිබඳ තමන් විසින්ම අවබෝධ කරගත යුතු ය. ඔබගේ පවුලේ සමීපතයන්ගෙන් පවා ඔබේ අඩුපාඩු මොනවාද යන්න විමසා දැනගන්නවා නම්, ඔබේ වැරැදි ඉක්මනින් ම හදාගැනීමට පුළුවන. සිතෙහි දැඩි ආත්ම ශක්තියක් ගොඩනගාගෙන, තම අඩුපාඩු මඟහරවා ගැනීමට සිතන ඔබට, කෙදිනක හෝ යහපත් සමාජ ප්‍රතිරූපයක් ගොඩනගා ගැනීමට ද හැකි ය.

* ස්වයං අධ්‍යයනයක නිරතවීම

තමන් කවරෙක්ද? තමන් කළ යුත්තේ මොනවාද? ඒවා නිවැරැදිව ඉටු කිරීමට කළ යුත්තේ මොනවාද? යන්න පිළිබඳ බුද්ධිමත් මනසින් යුතුව ක්‍රියා කළ යුතු ය. එවිට ඔබේ ජීවිතයේ අඩුපාඩු ඉක්මනින් ම හදා ගැනීමට හැකි වේවි. පවුල, පාසල, වෘත්තීය ක්ෂේත්‍රය යනාදී සෑම ස්ථානයකදීම, විනයගරුක ලෙස ඔබ ස්වයං අධ්‍යයනයක නිරත වනවා නම්, එය ඔබේ මුළු ජීවිත කාලය පුරාවටම සිදු කරන යහපත් ක්‍රියාවකි.

- අන්තර්ජාලය ඇසුරිනි

 

නව අදහස දක්වන්න