දෙදෙනකු දක්කන ගැල තණ්ඩලේ | දිනමිණ

දෙදෙනකු දක්කන ගැල තණ්ඩලේ

 

මහනුවර යුගයේ භාණ්ඩ ප්‍රවාහනය කරන ප්‍රධාන මාර්ගය වූයේ, ගොනුන් බැඳි ගැල් ය. ඒවා බොහෝවිට ගියේ ගැල් ගණනාවක් එකට එකතුවී, සමූහයක් ලෙසිනි. හවස් වනවිට ගැල්කරු ගැල් නවත්වා, ගොනුන්ට කෑම බීම දී, විවේක ගත් ස්ථාන 'ගාල්' නමින් හැඳින්විණි. ජන කවිවල ගාල් ගැන කියැවෙයි.

ගැල් නවත්වා තැබීමට ඉඩකඩ ඇති ගාල්වල, ගොනුන්ට බීමට දිය , කෑමට තණකොළ, පිදුරු ආදී දේ දමා, ගැල්කරුවෝ රෑ එකතුවී, උයාපිහා කෑම ගනිති. විශාල බරක් සහිතව , පාළු බොරළු පාරවල කන්ද සහිත ස්ථාන, හෙල් අදිනවිට , ගැල අදින ගොනුන් දෙදෙ‍නාට කන්ද ඇදීම අසීරු වේ.

එවිට ගැලේ ගොනුන් දෙදෙනාට ඉදිරියෙන්, ගැලට අතිරේක කඳක් ගැටගසා, ඉදිරියෙන් තවත් හරකුන් දෙදෙනකු බැඳ, ගැල දක්කයි. එවිට එක ගැලට ගැල්කරුවන් දෙදෙනෙක් හා ගොනුන් හතර දෙනෙක් බැඳ, දෙදෙනකු ගැල දැක්කීම, තණ්ඩලේ යනුවෙන් හැඳින්වෙයි.

හපුතලේ වැනි කඳු අදිනවිට,මෙවැනි දේ කර ඇති බව, 'තණ්ඩලේ දෙන්නා දෙපොලේ දක්කනවා' යන්නෙන් විද්‍යමාන වේ. ගැල් සමූහයක් එකට යනවිට, එම ගැල් පෙළ ඉදිරියෙන් ම ගැල දක්කන්නා ද, 'තණ්ඩලේ' නමින් හඳුන්වා ඇත.

- එස්.කේ.ජයවර්ධන

නව අදහස දක්වන්න