ජීවන් මෙන්ඩිස් ක්‍රිකට් තේරීම් කමිටුවේ ඇස් අරවයි | දිනමිණ

ජීවන් මෙන්ඩිස් ක්‍රිකට් තේරීම් කමිටුවේ ඇස් අරවයි

ප්‍රින්ස් ගුණසේකර

 වසර කිහිපයක්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ අවස්ථාව අහිමිව සිටින තුන් ඉරියව් ක්‍රීඩක ජිවන් මෙන්ඩිස් අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේදී පිත්තෙන් හා පන්දුවෙන් දස්කම් දක්වා නැවැත හිස ඔසවයි. සුපුරුදු දස්කම් අතරට පැමිණි ජීවන් මෙන්ඩිස් තවමත් ශක්තිමත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට කදිම සංඥාවක් නිකුත් කළේය.

පසුගිය සති අන්තයේ පී. සරා ඕවල් පිටියේ පැවැති එන්. සී. සී - ටැමිල් යූනියන් අතර තරගයේදී ප්‍රබල එන්. සී. සී. කණ්ඩායමට එරෙහිව ඔහු නොදැවී ලකුණු 151ක් රැස්කරමින් හා ඕවර් 32කදී ලකුණු 109කට කඩුලු 5ක් බිද හෙලමින් සුපුරුදු රිද්මයට පැමිණියේය. ජීවන් මෙන්ඩිස් හතරේ පහර 12ක් හා හයේ පහර 3ක් එල්ල කරමින් පිටිය වර්ණවත් කළ අතර පන්දු යැවීමේදී ප්‍රතිවාදී පිතිකරුවන්ට රිසිසේ ලකුණු ලබා ගැනීමට ඉඩ නොදීමද කැපී පෙණුනි.

ඔහු මේ තරගවාරයේ තරග 5කදී කඩුලු 27ක් බිඳහෙලා ලකුණු 345ක් වාර්තා කර ඇති අතර එයට හතරේ පහර 34ක් හා හයේ පහර 11ක් ඇතුලත්ය. ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 69.00කි.

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට තුන් ඉරියව් දක්ෂතා ඇති ක්‍රීඩකයින් අවශ්‍යම මොහොතක ජීවන් මෙන්ඩිස් වැනි පළපුරුදු ක්‍රීඩකයින් පිළිබඳ අවධානය යොමු කිරීම කාලෝචිත වේ. එක්දින හා විස්සයි 20 ජාත්‍යන්තර තරගවලදී පමණක් ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති 34 හැවිරිදි ජීවන් මෙන්ඩිස් අවසන් වරට 2015 පෙබරවාරියේදී එක්දින තරගයකට එක්වූ අතර 2013න් පසුව විස්සයි 20 තරගවලට ද සහභාගී කර ගෙන නොමැත.

ජීවන් මෙන්ඩිස්ගේ ප්‍රහාරාත්මක පිතිකරණයට හා පාලනයකින් යුතු පන්දු යැවීමට ශ්‍රී ලංකා පිලේ ඉඩක් නොමැතිනම් එය බලවත් අසාධාරණයක් බව විචාරක මතයවී තිබේ. ඔහුට ඉදිරියේ පැවැත්වෙන පුහුණු තරගයක අවස්ථාවක්දී නැවැත ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ස්ථානයක් සොයා යෑමේ දොරටු විවර කිරීම තේරීම් කමිටුවේ යුතුකමකි.

දිගින් දිගටම තරග පරාජය වෙද්දී මේ පළපුරුදු දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයාගෙන් රට වෙනුවෙන් වැඩක් ගැනීමට යළිත් වරක් සිතා බැලිය යුතුව ඇත.

 

නව අදහස දක්වන්න