මහනුවර-හැව්ලොක්ස් යුද-නාවික ජය ලබති | දිනමිණ

මහනුවර-හැව්ලොක්ස් යුද-නාවික ජය ලබති

ෆවුස් මොහොමඩ්

අන්තර් සමාජ පළමු පෙළ ලීග් රගර් තරගාවලියේ දෙවැනි වටයේ පසුගිය සති අන්තයේ පැවැති තරගවල දී ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම, නාවික හමුදා පිල, මහනුවර ක්‍රීඩා සමාජය සහ හැව්ලොක්ස් කණ්ඩායම ජය වාර්තා කිරීමට සමත්වූහ.

යුද - සී.එච්.

දෙවැනි වටයේ දෙවැනි සති අන්තයේ අවසන් තරගය ලෙස පෙරේදා පස්වරුවේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා යුද හමුදා පිල සහ සී.එච්. කණ්ඩායම අතර තරගයෙන් ලකුණු 43-8ක දැවැන්ත ජයක් වාර්තා කිරිමට යුද හමුදා පිල සමත්විය. මේ තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 31-3කින් පෙරමුණ ගත් යුද හමුදා පිල උත්සාහක දිනුම් 7ක් තැබීමට සමත්වූ අතර ඉන් හතරක් ගෝල බවට පත් කළේය. සී.එච්. පිල ලැබූ ලකුණු සංඛ්‍යාවට උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් ඇතුළත් විය.

මහනුවර - සී.ආර්.

සී.ආර්. පිලට එරෙහිව පසුගියදා පැවැති තරගයෙන් ලකුණු 32-27ක ජයක් අත්කර ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත්විය. සී.ආර්. පිටියේ පැවැති මේ තරගයේදී උත්සාහක දිනුම් ත්‍රිත්වයක් වාර්තා කරමින් මහනුවර පිලේ ජයග්‍රහණයට කදිම සහයක් ලබාදුන්නේය.

තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 24-8කින් පෙරමුණ ගත් මහනුවර පිල ගෝල් 2ක්, උත්සාහක දිනුම් 3ක් සහ දඬුවම් පහරක් මගින් සිය ලකුණු සංඛ්‍යාව සම්පූර්ණ කළ අතර සී.ආර්.පිලට රැස් කිරීමට හැකිවූයේ ගෝල් 2ක්, උත්සාහක දිනුම් 2ක් සහ දඬුවම් පහරක් පමණි.

නාවික - ගුවන්

මේ අතර ගුවන් හමුදා පිලට එරෙහිව වැලිසර පැවැති තරගයකින් ලකුණු 29-21ක ජයක් වාර්තා කිරීමට නාවික හමුදා පිල සමත්විය.

තරගය පුරා ගෝල් 3ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් එල්ල කිරීමට නැවියන් සමත්වෙද්දී ගුවන් හමුදා පිලේ ක්‍රීඩකයන්ට රැස් කිරීමට හැකිවූයේ ගෝලයක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 3ක් පමණි.

හැව්ලොක්ස් - පොලිස්

ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සහ පොලිස් කණ්ඩායම අතර පසුගියදා හැව්ලොක්ස් පිටියේ පැවැති තරගයෙන් ලකුණු 29-13ක ජයක් හැව්ලොක්ස් පිලට හිමිවිය. තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 6-5කින් පෙරමුණ ගැනීමට පොලිස් කණ්ඩායම සමත්වූවත් දෙවැනි භාගයේදී වඩාත් ආක්‍රමණශීලී තරග රටාවක නිරතවූ හැව්ලොක්ස් පිල ගෝල් 3ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගින් සිය ලකුණු සංඛ්‍යාව සම්පූර්ණ කරමින් ජය අත්කර ගත්තේය. පොලිස් කණ්ඩායමට රැස් කිරීමට හැකිවූයේ ගෝලයක් සහ දඬුවම් පහර 2ක් පමණි. 

නව අදහස දක්වන්න