ශ්‍රී ලංකාවට නවසීලන්තයෙන් රගර් පුහුණුකරුවෙක්

ෆවුස් මොහොමඩ්

 ලෝක සත් සාමාජික රගර් ශූරතාමාලාවට සුදුසුකම් ලැබීමේ තරගාවලිය ඉලක්ක කරමින් ශ්‍රී ලංකා සත් සාමාජික රගර් කණ්ඩායමේ පුහුණුකාර තනතුරට නවසීලන්තයේ ඕල් බ්ලැක්ස් සත් සාමාජික පිලේ හිටපු විශිෂ්ට ක්‍රීඩක පීටර් වුඩ්ස්ගේ සහය ලබා ගැනීමට ශ්‍රී ලංකා රගර් ආයතනයේ අවධානය යොමුවී තිබේ.

ලබන අප්‍රේල් මස මුල් සතියේදී හොංකොං නුවර පැවැත්විමට නියමිත ලෝක සත් සාමාජික රගර් ශුරතාමාලාවට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දී ශ්‍රී ලංකා පිලේ දස්කම් මුවහත් කිරීමේ වගකිම වුඩ්ස් වෙත පැවැරීමට මේ වනවිට සාකච්ඡා කිහිපයක්ම පැවැති අතර ඉදිරියේදී අවසන් තීන්දුව ගන්නා බව ශ්‍රී ලංකා රගර් ආයතනයේ ලේකම් නසීම් මොහොමඩ් මහතා ‘දිනමිණ‘ට ප්‍රකාශ කළේය.

පීටර් වුඩ්ස් මහතා ශ්‍රී ලංකා රගර් පිලේ පුහුණුකාර තනතුර සඳහා එකඟවී ඇති අතර මේ දිනවල ඔහුගේ දීමනා සහ වෙනත් අවශ්‍යතා සඳහා අවසන් සාකච්ඡා පැවැත්වෙමින් තිබේ.

මීට පෙර ශ්‍රී ලංකා පිලේ රගර් පුහුණුකරු ලෙස කටයුතු කළ එංගලන්ත ජාතික මැට් ටර්නර්ගේ ගිවිසුම් කාලය මේ වනවිට අවසන් වී ඇති අතර ඉදිරියේදී එළැඹෙන විදෙස් සත් සාමාජික රගර් තරගාවලි ඉලක්ක කරමින් පීටර් වුඩ්ස් වසර දෙකක ගිවිසුමකට බඳවා ගැනීමට රගර් ආයතනය අදහස් කරයි.

ශ්‍රී ලංකා රගර් ආයතනයේ ක්‍රීඩකයන්ගේ ඉහළ දස්කම් පිළිබඳ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන ඉම්ති මරික්කාර් මහතාගේ අධීක්ෂණය යටතේ ඉදිරියේදී ජ්‍යෙෂ්ඨ මෙන්ම කනිෂ්ඨ රගර් සංචිත පුහුණුකිරීමේ කාර්යය භාරයත් පීටර් වුඩ්ස්ට පැවැරිමට නියමිතව ඇතැයි රගර් ආයතනයේ ලේකම්වරයා කීවේය.

හොංකොං හී පැවැත්වීමට නියමිත ලෝක ශූරතා සත් සාමාජික රගර් තරගමාලාවට සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් පසුව අවුරුදු 18න් පහළ සහ 20න් පහළ ආසියානු තරගාවලි පැවැත්වෙන අතර වසර අවසන් භාගයේදී ආසියානු සත් සාමාජික රගර් තරගමාලාව පැවැත්වීමට නියමිතය.

මේ දිනවල පැවැත්වෙන අන්තර් සමාජ ලීග් රගර් තරගමාලාවේ අවසන් අදියර ලෙස පැවැත්වෙන ක්ලිෆර්ඩ් කුසලාන තරගාවලියෙන් පසුව හොංකොං තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුවීම් ආරම්භ කිරීමට අදහස් කරන බවත් රගර් ලේකම් නසිම් මොහොමඩ් මහතා සඳහන් කළේය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...