මලල ක්‍රීඩා සුපිරි සංචිතයට පුහුණුකරුවන්ට රු.75,000 - 30,000 මාසික දීමනා | දිනමිණ

මලල ක්‍රීඩා සුපිරි සංචිතයට පුහුණුකරුවන්ට රු.75,000 - 30,000 මාසික දීමනා

 ප්‍රින්ස් ගුණසේකර

 

මලල ක්‍රීඩා සුපිරි සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 14කට 2018 ආසියානු ක්‍රීඩා උළෙල දක්වා රුපියල් 75,000 සිට රුපියල් 30,000 අතර මාසික දීමනාවක් ගෙවීමට යයි. එයට අමතරව ක්‍රීඩක ක්‍රීඩිකාවන් 14කගේ පුහුණුකරුවන්ට රුපියල් 30,000ත් – 20,000ත් අතර ගෙවීම් සිදු කෙරේ. මෙම ගෙවීම් මේ මාසයේ සිට සිදු කිරීමට ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ අනුමැතිය හිමිව ඇති අතර එයට අමතරව පෝෂ්‍යදායී ආහාර, විටමින් වර්ග හා බෙහෙත් සියල්ල සැපැයේ.

එහෙත් ජාතික සංචිතයේ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් 101කට රුපියල් 10,000ක මාසික දීමනාවක් ගෙවීමට කළ යෝජනාව තවමත් අනුමතවී නොමැති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් ඔලිම්පික් සංචිතය, සුපිරි සංචිතය හා ජාතික සංචිතය ලෙස කාණ්ඩ 3ක් යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණු කටයුතු ආරම්භ කොට ඇති අතර ඒ සදහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මුදල් හා පහසුකම් සපයනු ලබයි. මෙයට අමතරව දෙවැනි පෙළ මලල ක්‍රීඩක ක්‍රිඩිකාවන් ඉදිරියට ගැනීම උදෙසා ජාතික සංචිතය නම් කොට ඇති අතර එයට දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ රිදී හා ලෝකඩ පදක්කම් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුලත් කොට ඇත.

මේ වසරේ පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය හා ලබන වසරේ පැවැත්වෙන ආසියානු හා පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙළ ඉලක්ක කොට සැලසුම් සහගතව පුහුණු සංචිත පවත්වාගෙන යෑම ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සම්මේලනයේ අරමුණවී තිබේ.

මේ අතර ජැමෙයිකා, පෝලන්ත හා රුමේනියා පුහුණුකරුවන් තිදෙනාගෙන් එක් අයෙකු මේ මස අගදී ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන සුපිරි සංචිතය භාරදීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සූදානමින් සිටී. එම විදෙස් පුහුණුකරුවන්ගේ මාසික ගෙවීම් පිළිබඳ තවමත් අවසන් තීරණයකට එළැඹ නොමැති හෙයින් පුහුණුකරු ගෙන්වා ගැනීම ප්‍රමාදවී ඇත.

තෝරා ගන්නා විදෙස් පුහුණුකරු යටතට ඔලිම්පික් සංචිතය හා සුපිරි සංචිතය භාරවෙන අතර පුහුණුකරුවන්ගේ දැනුම යාවත්කාලීන කිරීම උදෙසා මෙරට පුහුණුකරුවන් පුහුණු කිරීම ද විදෙස් පුහුණුකරුට පැවැරෙන තවත් වගකීමක් වේ.

ඔලිම්පික් සංචිතය : අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ 

සුපිරි සංචිතය: අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ, මංජුල කුමාර, හිමාෂ ඒෂාන්, සුරංජය ද සිල්වා, ඉදුනිල් හේරත්, එම්. අයි. එච්. සඳරුවන්, ඩී. එම්. ලියනපතිරණ, වරුණ ලක්ෂාන්, සුමේධ රණසිංහ, අමිල ජයසිරි, රුමේෂිකා රත්නායක, නිමාලී ලියනාරච්චි, නිලානී රත්නායක, ගයන්තිකා අබේරත්න

නව අදහස දක්වන්න