ආසියානු කනිෂ්ඨ නෙට්බෝල් තරගාවලියට ක්‍රීඩිකාවන් 30ක සංචිතයක් කැඳවයි | දිනමිණ

ආසියානු කනිෂ්ඨ නෙට්බෝල් තරගාවලියට ක්‍රීඩිකාවන් 30ක සංචිතයක් කැඳවයි

ෆවුස් මොහොමඩ්

ලබන මැයි මස දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ නෙට්බෝල් තරගාවලිය සහ ජූලි මාසයේ බොස්වානා හී පැවැත්වීමට නියමිත ලෝක කනිෂ්ඨ නෙට්බෝල් තරගාවලිය ඉලක්ක කරමින් ක්‍රීඩිකාවන් 30කගෙන් යුතු සංචිතයක් පිහිටුවා තිබේ.

ශ්‍රී ලංකා නෙට්බෝල් සංගමය මගින් පසුගිය සති අන්තයේ මේ සඳහා ක්‍රීඩිකාවන් කැඳවනු ලැබූ අතර ක්‍රීඩා අමාත්‍යාංශ නෙට්බෝල් ක්‍රීඩාගාරයේදී මේ සංචිතයට ක්‍රීඩිකාවන් බඳවා ගත් බව නෙට්බෝල් සංගමයේ සභාපතිනිය යසා රාමචන්ද්‍ර මහත්මිය ‘දිනමිණ‘ට ප්‍රකාශ කළාය. තෝරාගත් සංචිතයට නවක ක්‍රීඩිකාවන් මෙන්ම පසුගිය වසරේ ආසියානු නෙට්බෝල් ශූරතාවලියට ක්‍රීඩාකළ ක්‍රීඩිකාවන් කිහිපදෙනකු ද ඇතුළත් වෙති.

නව සංචිතයේ පුහුණුවීම් ලබන සතියේදී ආරම්භ කිරීමට නියමිත අතර ඊට පෙර ඒ සඳහා පුහුණුකාරිනිය තෝරා ගැනීමට අදහස් කරන බව රාමචන්ද්‍ර මහත්මිය කීවාය.

මේ වනවිට කනිෂ්ඨ නෙට්බෝල් පුහුණුකාරිනිය තනතුරට අපේක්ෂිකාවන් සිවුදෙනකු ඉදිරිපත්වී ඇති අතර පස් දෙනකුගෙන් යුතු කමිටුවක් මගින් එම තෝරාගැනිම සිදුකරනු ඇත. කෙසේවෙතත් ඉදිරියේදී පත්වන කනිෂ්ඨ නව පුහුණුකාරිනියට පළමුව ආසියානු කනිෂ්ඨ නෙට්බෝල් තරගාවලිය සඳහා කණ්ඩායම පුහුණුකිරීමේ වගකීම බාර දීමටත් එහි සාර්ථකත්වය මත ලෝක කනිෂ්ඨ නෙට්බෝල් තරගාවලියට එක් කර ගැනීමටත් මීට පෙර නෙට්බෝල් සංගමය තීරණය කොට තිබිණි. 

නව අදහස දක්වන්න