නිවෙසක නවතා තිබූ මෝටර් රථයකට ගිනි තැබූ සැකකරුවන් සොයා පරීක්ෂණ | දිනමිණ

නිවෙසක නවතා තිබූ මෝටර් රථයකට ගිනි තැබූ සැකකරුවන් සොයා පරීක්ෂණ

ඉංගිරිය විශේෂ කේ.ටී.ඩී දර්ශන

ඉංගිරියට නුදුරු මහ ඉංගිරිය ප්‍ර‍දේශයේ නිවෙසක තිබූ මෝටර් රථයකට පසුගිය දිනෙක රාත්‍රී කාලයේ කිසියම් පිරිසක් ගිනි තබා විනාශ කර තිබේ.

මෙලෙස ගිනි තබා විනාශ කර ඇත්තේ විශ්‍රාමික විදුහල්පතිවරයකුට අයත් මෝටර් රථයකි. නවීන අංගෝපාංග රැසකින් සමන්විතව සකස් කර තිබූ මෙම මෝටර් රථය රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනාකමින් යුතු බව මෝටර් රථයේ හිමිකරු පවසයි.

මධ්‍යම රාත්‍රී ගෙවී ගොස් අලුයම දෙක පමණ වන විට නලා ශබ්දයක් ඇසී තමාට අවදිවූ බව රථයේ හිමිකරු ඒ පිළිබඳ සොයා බලද්දී සිය මෝර් රථය ගිනි ගන්නා බව දැක තිබේ. පසුව ඔහු 119 පොලිස් හදිසි දුරකථන ඇමතුම් අංකයට දැනුම් දී තිබේ.ඒ වන විටත් මෝටර් රථය බොහෝ සේ දැවී ගොස් තිබූ අතර දැනුම් දීමෙන් පැය භාගයකට පමණ පසු පොලිසිය පැමිණෙද්දී රථය සම්පූර්ණයෙන්ම දැවී විනාශවී ගොස් තිබූ බව හිමිකරු පවසයි.

සැකකරුවන් මෝර් රථය ගරාජයෙන් එළියට තල්ලු කරගෙන විත් ගිනි තබා තිබේ. නිවෙසේ වහලයටද මින් හානි සිදුව තිබේ. පානදුර අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් මෙන්ම ඇඟිලි සටහන් නිලධාරීහූද අදාළ පරීක්ෂණ පැවැත්වූහ. ඉංගිරිය පොලිසිය සිද්ධය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි. 

නව අදහස දක්වන්න