බෝපත්තලාවේ ගොවිපොළක තණකොළ වවන්න මැණික්පාලම විදුහලේ ක්‍රීඩාපිටිය හාලා

නුවරඑළිය සමූහ සී. මහගම

බෝපත්තලාව රජයේ සත්ත්ව ගොවිපොළේ ගවයන්ට කෑමට තණකොළ වගාකිරීම සඳහා බෝපත්තලාව මැණික්පාලම සිංහල විදුහලේ සිසුන් භාවිතා කළ ක්‍රීඩාපිටිය මේ වන විට ගොවිපොළේ නිලධාරීන් විසින් ට්‍රැක්ටර් යොදා සම්පූර්ණයෙන්ම සකස් කර ඇතැයි එම ප්‍රදේශවාසීහු පවසති.

වසර 45ක පමණ දීර්ඝ කාලයක් තිස්සේ පාසලේ ක්‍රීඩාපිටිය ලෙස භාවිතා කොට ඇති මෙම අක්කර තුන්කාලක බිම හිටි අඩියේම ඒ ආසන්නයේ තිබෙන සත්ත්ව ගොවිපොළට අයත් බිමක් යැයි පවසමින් මෙසේ හා දැමීම නිසා සිසු දරුවන් මහත් අපහසුතාවයට පත්ව ඇතැයි ඔවුහු පෙන්වා දෙති.

ට්‍රැක්ටර් යොදා ක්‍රීඩාපිටිය හාන විට මවුපියන් කීප දෙනකු ට්‍රැක්ටර් ඉදිරිපිට නිදාගෙන විරෝධය පා තිබෙන අතර එම සිදුවීමෙන් පසු රාජකාරියට බාධා කළේ යැයි පවසමින් ගොවිපොළ නිලධාරීන් විසින් ආගරපතන පොලිසියට පැමිණිලි කොට ඇත.

මේ සම්බන්ධයෙන් අපි බෝපත්තලාව රජයේ සත්ත්ව ගොවිපොළේ සහකාර සාමාන්‍යාධිකාරී අයි.ඩි.ඩබ්ලිව්.එල්. ගුණවර්ධන මහතාගෙන් විමසූ විට ඒ මහතා කියා සිටියේ 1972 වසරේදී අන්‍යෝන්‍ය සුහදතාව මත මෙම ඉඩම පාසලට ක්‍රීඩා පිටියක් ලෙස භාවිතා කිරීමට ලබාදී ඇතැත් එහි නීත්‍යානුකූල පවරා දීමක් ‍සිදු කොට නැති නිසා එය තාමත් සත්ත්ව ගොවිපොළට අයිති බවයි. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...