ඉහළ රාජ්‍ය නිලධාරීන්ට යුරෝපීය ඇඳුම අනිවාර්ය නෑ | දිනමිණ

ඉහළ රාජ්‍ය නිලධාරීන්ට යුරෝපීය ඇඳුම අනිවාර්ය නෑ

නිරුෂි විමලවීර

ඉහළ රාජ්‍ය නිලධාරීන් සම්පූර්ණ යුරෝපීය ඇඳුම ඇඳීම අනිවාර්ය කරමින් හිටපු ජනාධිපතිවරයකු විසින් නිකුත් කර තිබූ චක්‍රලේඛය තමා අහෝසි කර බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ ක‍ළේය.

රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරීන් මින් ඉදිරියට අත්‍යවශ්‍ය අවස්ථාවක දී හැර ටයි පටිය හා කබාය සහිත නිල ඇඳුම ඇඳීම අනිවාර්ය නොවන බව ද ජනාධිපතිවරයා අනාවරණය කළේය.

ජනාධිපතිවරයා එසේ සඳහන් කළේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ(9) පැවැති රාජ්‍ය අංශයේ ඉදිකෙරෙන නව ගොඩනැගිලි සඳහා හරිත මාර්ගෝප දේශ සංග්‍රහය එළි දැක්වීමේ උළෙලට එක් වෙමිනි.

දෙසැම්බර් 31දා රාත්‍රී පොළොන්නරුවේ වාර්ෂික පිරිත් දේශනය පැවැති අවස්ථාවේ රාත්‍රී 11ට පමණ මාත් ඊට එක්වුණා. ප්‍රාදේශීය ලේකම්තුමා රාත්‍රී 11ට ටයි පටිය පැළඳ පිරිත් අසනවා. පිරිත් නේද? ටයි පටිය ඕනෑදැයි මා ප්‍රශ්න කර සිටියා. මා විශ්වාස කරන්නේ එතුමාටත් චක්‍රලේඛය බලපාන්න ඇති යැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා“

“ රටට පාරිසරික තත්ත්වයන්, කාලගුණික දේශගුණික තත්ත්වයන්ට අනුව ඇදුම්, පැළඳුම් සකස් කර ගත යුතුයි. මීට පෙරාතුව ජනාධිපතිවරයකු විසින් නිකුත් කර ඇති චක්‍රලේඛයක් වෙනස් කළ හැක්කේ ජනාධිපතිවරයකුටයි. ඒ අනුව රාජ්‍ය නිලධාරීන්ගේ ඇඳුම් පැළදුම් පිළිබඳ දැනට තිබෙන චක්‍ර ලේඛය මා වෙනස් කරනවා. ඒ අනුව කාලගුණික දේශගුණික, පාරිසරික තත්ත්වයන් සලකා රාජ්‍ය නිලධාරීන් ටයි පටි, කෝට් පැළඳ ‍නොසිටීම වරදක් නොවන බව කිව යුතු යැයිද “ජනාධිපතිවරයා පැවැසීය.

ඉදිරි විසිපස් වසරක් ඇතුළත දී වැවිලි ක්ෂේත්‍රයට භූමි ප්‍රශ්න ඇති වීමේ අවකාශය තිබෙන බැවින් ගොඩනැගිලි සහ නිවාස ඉදිකිරීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් කඩිනමින් ඇති කළ යුතු බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් අනාවරණය කළේය.

නව අදහස දක්වන්න