ඇල්. ඇම්. ගේ සොඳුරු හදවත නිහඬ විය

හිරු අවරදිග සිතිජ ඉම සිපගන්නට පෙර අපි ඔහුට සමු දුන්නෙමු. හිරුගේ රත් පැහැය කෙමෙන් කළු අහසෙහි තුනි වී යන මොහොතෙහි සොහොන් කොත දෙපස තිබූ නෙකවිධ පුෂ්පවල සුදු පැහැති ලප අඳුරෙහි දිලිසෙන්නට ඇත. නැසෙමින් තිබූ රූපකාය අතහැර නොනැසෙන නාමකාය හදවතෙහි කැටපත් කරගෙන අවුලේගම පලාපත්වල සිට කොළඹ පැමිණියෙමි.

දිනය පසුගිය බ්‍රහස්පතින්දා ය. පූර්ව සටහනට නිමිත්ත වූයේ කීර්තිමත් නීතිවේදියකු හා සාහිත්‍යධරයකු වූ ඇල්. ඇම්. ඒ. සිල්වා විද්වතාණන්ගේ සමු ගැනීම ය. ඔහුගේ අභාවය සැල වූ විගස ඒ පිළිබඳ පුවත දිනමිණ ඇතුළු පුවත්පත් කිහිපයකට යැව්වෙමි. දිනමිණ ඇල්. ඇම්. ඒ. සිල්වා නම ඒ අයුරින් ම පළ කළේ ය. අනෙක් පුවත්පත්වල පළවූයේ එල්. එම්. ඒ. සිල්වා නමිනි. එහෙත් ඇල්. ඇම්. කියූ විට සිහිපත් වන නාමකාය එල්. එම්. කියූ විට සිහිපත් නොවේ.

ඇල්. ඇම්. පිළිබඳ මුලින් ම ශ්‍රී ලාංකීය සාහිත්‍ය පාඨකයන් හඳුනාගත්තේ 1959 දී ඔහු ලියා පළකළ 'විචාර විවරණය' කෘතියෙනි. හේමපාල මුනිදාසයන්ගේ සාහිත්‍ය දෘෂ්ටිය අනුව හැඩගැසුණු විචාර ඥානයක් ද ස්වාධීන පරිකල්පනයක් ද තිබූ ඔහු එම කෘතියෙන් ආචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර හා මාර්ටින් වික්‍රමසිංහගේ සාහිත්‍ය දෘෂ්ටිය ද නිදහස් කවිය ද සැර විවේචනයකට ලක් කළේය. පේරාදෙණි සාහිත්‍ය හා කොළඹ කවිය අතර පැන නැ‍ඟෙමින් තිබූ ගැටුම ඊට බලපාන්නට ඇත. ඒ වන විට සරච්චන්ද්‍රයන්ගේ සිංහල නවකතා ඉතිහාසය හා විචාරය කෘතිය සාහිත්‍ය ක්ෂේත්‍රයෙහි ඉමහත් විවාදාපන්න මාතෘකාවක් ව ද පැවතිණ.

ඇල්. ඇම්. ඒ. සිල්වා උපන්නේ 1930 දීය. මොරටුව ඔහුගේ උපන් ගමයි. ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් බී. ඒ. උපාධිය ලද ඔහු ඉන්පසුව නීති විද්‍යාලයට බැඳී නීති උපාධිය සම්පූර්ණ කළේය. කලක් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයෙහි ප්‍රවෘත්ති නිලධාරියා ලෙස කටයුතු කළේය. ඉන්පසුව නීතිඥයකු ලෙස වෘත්තීය ජීවිතය ඇරඹීය. නීති විද්‍යාලයෙහි විභාග පරීක්ෂකවරයකු ලෙස උසස්වීම් ලද ඔහු විවාහයෙන් පසුව වාරියපොළ අවුලේගම පදිංචි විය. ඔහුගේ දෙටු පුත් ප්‍රසාද් සිල්වා ද වෘත්තියෙන් නීතිවේදියෙකි. කනිටු පුත් ප්‍රදීප් ගුරුවරයෙකි. ඔහු එකල සිට ම ශාස්ත්‍රීය සඟරාවලට හා පුවත්පත්වලට ලිපි ලිවීය. එමෙන්ම ඇතැම් විද්වතුන්ගේ කෘති සිංහලට පරිවර්තනය කළේය. අමෙරිකාවේ විශ්වවිද්‍යාලයක සේවය කළ සිංහල මහාචාර්යවරයකුගේ කෘතියක් ‘චිත්‍ර වධය’ මැයෙන් සිංහලට පරිවර්තනය කළේ ඇල්. ඇම්. විසිනි. නීති වෘත්තිකයන් අතර කීර්ති නාමයක් දිනාගැනීමට ඔහු සමත් විය.

1980 ගණන්වල මගේ පොතක් මුද්‍රණයට බාරගත් මුද්‍රණ හිමියකු අත්තිකාරම් මුදලක් ද ලබාගෙන පොත මුද්‍රණය කිරීම මඟහැරියේය. එකල වාරියපොළ ප්‍රදේශයෙහි පදිංචිකරුවකු වශයෙන් නීතිමය උපදෙස් ලබාගැනීම සඳහා මා ගියේ ‘සිල්වා මහත්තයා’ ළඟට ය. ප්‍රදේශවාසීන් ඔහු හැඳින්වූයේ එසේ ය. ඔහු ගැටලුව නිරාකරණය කර දුන්නේය. නැවත ඔහු හා මා අතර සබඳතාවක් ගොඩනැ‍ඟෙන්නේ 2005 දී පමණය. ඒ අනුව නූතන හා පැරණි සාහිත්‍ය පිළිබඳව දුරකථනයෙන් කතාබහක් ඇතිවිය. ඔහු ලියූ ඇතැම් පොත් මට ගෙනැත් දුන්නේය. මෑත අවධියෙහි ‘සිය මනස විමසීම’ මැයෙන් අගනා මනෝ විද්‍යාත්මක පොතක් ඔහු අතින් ලියැවිණ.

තමා අලුතින් ලියන්නට සැලසුම් කරමින් තිබෙන පොත් ගැන ඔහු මට කීවේය. දෙමසකට පමණ වරක් අගනුවරට පැමිණෙන ඔහු තම සමකාලීන සාහිත මිතුරකු වන සෝමසිරි කස්තුරිආරච්චි හමුවන්නට යයි. ඒ ගමනේදී දිවා කිස මොහොතක දී මා සමඟ ‍හෝරාවක් දෙකක් ගතකිරීම ඔහුගේ සිරිත ය. මා මාස දෙකකට පමණ පෙර ලේක්හවුස් පඩිපෙළ නැඟ ඔහු මා හමුවීමට පැමිණියේ දෙමළ විද්වතකු හා නීතිවේදියකු සමඟ ය. ඔහු මට වඩා වසර 30 ක් වයසින් වැඩිමල් ය. මසිතෙහි ඔහු පිළිබඳ මෝදුවෙමින් පැවතුණේ අසීමිත ගෞරවයකි. වයස් පරතරය ඉක්මවා ගිය මිත්‍රත්වයක් අපතර ගොඩනැඟී තිබිණ. දැනුමෙන් හා කීර්ති නාම‍ෙයන් කුරුවල් නොවූ හදවතක් ඔහුට විය. එනිසා ඔහු මා මෙන් ම මට වඩා වයසින් අඩු සාහිත්‍යකාමීන් සමඟ ද සම වයස් මිතුරකු මෙන් සුහද ආකල්පයකින් ඇසුරු කළේය. ඔහුගේ මළගමට පැමිණි ඇතැම් තරුණ කලාකරුවෝ ඒ බව මට පසක් කළහ. එහෙත් ඔහුගේ සමකාලීන සාහිත්‍ය මිතුරන් කිසිවකු මම නොදැක්කෙමි. ඊට එක් හේතුවක් වනුයේ එයින් වැඩි පිරිසක් ජීවතුන් අතර නොසිටීමය. අනෙක් හේතුව ඔවුන් අතර සබඳතා දුරස්ව තිබීම ය. මේ නිසා ඇල්. ඇම්. ඒ. සිල්වා ජීවත්වූයේ බුද්ධිමය කාන්තාරයකය. අප වැන්නන්ගේ සමාගමයෙන් ඔහු මඳක් හෝ සතුටු වන්නට ඇත. ඔහු හොඳ රසවතෙකි. සංගීත ලෝලියෙකි. මධුවිත පමණ දැන ළඟට ගත් රසිකයෙකි. පොඩිරත්න අඟමලේ කවියාගේ හැටපස් වසරක ජීවිතයෙහි සාහිත්‍ය මෙහෙවර ඇගයීමේ වැඩසටහනක් ශක්තික සත්කුමාර ප්‍රමුඛ තරුණ සාහිත්‍යවේදීන්ගේ සංවිධායකත්වයෙන් මහව දී පැවැත්වූයේ නොබෝදාය. එදින ඊට සහභාගි වූ ඇල්. ඇම්. ගී ගයමින් මිතුරු පිරිවර රසවත් කළ බව පොඩිරත්න අඟමලේ කවියා මා සමඟ පැවසීය. ඇල්. ඇම්. කීර්තිය පසුපස හඹා නොගියේය. ඔහු පසුපස එය හඹා ආ බැවිනි. ඔහු මහේශාක්‍ය දිවියක් වෙනුවට අල්පේච්ඡ දිවියක් ගත කළේය. ජාතික මට්ටමේ ඇතැම් දේශපාලකයන් නීතිමය ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා ඇල්. ඇම්. ට කතා කළ බව මම දනිමි. මහ ඇමැති සී. විග්නේශ්වරන් සිංහල උගත්තේ ඇල්. ඇම්. ගෙනි. දිවංගත ඇන්ටන් බාලසිංහම් ද, ඇල්. ඇම්. ගේ පැරණි මිතුරෙකි. මෑතදී ඇල්. ඇම්. හමුවූ අවස්ථාවල ඔහුගේ ගමන් පහසුව සඳහා බෑගය අතට ගන්නට මා සූදානම් වූ විට ඔහු එය ප්‍රතික්ෂේප කළේ තනිව වැඩ කර ගැනීමේ අභිලාෂය ගිලිහී නොගිය බැවිනි. ඇල්. ඇම්. ගේ මරණය ආචාර්ය අදිකාරම්ගේ මරණයට සමානය. ඇල්. ඇම්. පසුගිය සඳුදා රාත්‍රියෙහි තම කනිටු පුතණුවන්ගේ නීති විභාගයට අවශ්‍ය පාඩමක් කියා දී සුපුරුදු පරිදි සැහැල්ලුවෙන් නින්දට ගියේය. පසුදා වන විට දකින්නට ලැබුණේ ඔහුගේ ප්‍රාණය නිරුද්ධ වූ සිරුර ය. බ්‍රහස්පතින්දා සැන්ඳෑවෙහි සුපුරුදු ලෝගුවෙන් හා සැහැල්ලු වතින් පෙට්ටියෙහි වැතිරී සිටි ඇල්. ඇම්. ඒ. සිල්වා දුටුවෙමි. උණුසුම්, දයාබර හදවතක් තිබූ මිතුරකුගේ වියෝව මහදට තදින් දැනිණ.

තිඹිරියාගම බණ්ඩාර

  

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...