මර උගුල් ව්‍යවස්ථාව | දිනමිණ

මර උගුල් ව්‍යවස්ථාව

 විධායක ජනාධිපති ආණ්ඩුක්‍රමය හෙවත් 78 ව්‍යවස්ථාව ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ නිර්මාණයක් බව කවුරුත් දන්නා කරුණකි. කෘෂිකාර්මික භාණ්ඩ හා අමුද්‍රව්‍ය අපනයන කිරීම වෙනුවට, රට කාර්මීකරණය කිරීම අර කී ව්‍යවස්ථාවේ ආර්ථික දර්ශනය විය. ආර්ථිකයේ ව්‍යුහීය වෙනස්කම් ඇතිකරන විට මතුවන දේශපාලන අභියෝගයට මුහුණදිය හැකි වන්නේ ශක්තිමත් පාලකයෙකුට බව එයින් කියැවිණි. 78 ව්‍යවස්ථාව ජනමත විචාරණයකින් අනුමතකර නොගත් නමුත් එක්සත් ජාත්ක පක්ෂය ලද ඓතිහාසික ජයග්‍රහණය හේතු කොටගෙන පාර්ලිමේන්තුවේ 2/3 ඡන්දයෙන් එය අනුමතකර ගැනීමට ජයවර්ධන මහතාට අපහසු වූයේ නැත. ඒ අනුව එකී ව්‍යවස්ථාව නිර්මාණය කිරීමේ ක්‍රියාදාමය බැලූ බැල්මට ප්‍රජාතන්ත්‍රවාදි යැයි කිව හැක. එහෙත් ඔහු පාර්ලිමේන්තුවේ 2/3 අනුමැතිය ලබාගන්නේ කේවල ක්‍රමයට පත්වූ මහජන නියෝජිතයන්ගෙනි. සමානුපාතික මැතිවරණ ක්‍රමයට මාරුවීමත් සමඟ ම තනි පක්ෂයකට මැතිවරණයක දී ආසන 2/3ක් ලබාගැනීමට නොහැකි බව කවුරුත් දනිති. ඒ අනුව 78 ව්‍යවස්ථාව ගැලවීමට නොහැකි මර උගුලක ජයවර්ධන මහතා හිර කළේ ය.

මැතිවරණයකින් තනි පක්ෂයකට දිනාගත නොහැකි වන්නේ වී නමුත් පිල්මාරු කිරීමට හැකිවිම තුළ පාර්ලිමේන්තුවේ 2/3ක් හදාගැනීමේ පුළුවන් කමක් ජනාධිපතිවරයාට දැන් ලැබී ඇත. මෙතෙක් කලක් ජනාධිපතිවරයා මහජන නියෝජිතයින් බා ගත්ත ද එසේ කළේ වරද නිවැරදි කිරීමට නොව තමන්ට ඇති බලතල තවතවත් වැඩිකර ගැනීමට ය. හොඳම උදාහරණය ජනතාව විසින් බලයෙන් පහකෙරුණු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ය. අර කී කූප්‍රකට ආකාරයෙන් වත්මන් ආණ්ඩුව ද පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් හිමිකරගෙන සිටින්නේ වි නමුදු නව ව්‍යවස්ථාවක් අනුමත කිරීමට ඒ මැති ඇමතිවරු නොකැමති සේයකි. මෙයට හේතු වී ඇත්තේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ වරදක් නොව ශ්‍රි ලංකා නිදහස් පක්ෂය බලයට පත්වුවහොත් විධායක ජනාධිපති ධුරය තමන්ටත් ප්‍රතිලාභ ගෙනදෙන කප්පුරුකක් වන බව අර කී මැති ඇමතිවරු අත්දැකීමෙන් දන්නා හෙයිනි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වැඩපිළිවෙළ

මේ අතර දැන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම උදෙසා ව්‍යවස්ථා සභාවක් පත්කර ඇත. ඒ සඳහා මහජන අදහස් ද ලබාගෙන, එම වාර්තාව මෙහෙයුම් මණ්ඩලයට මෙන්ම රටේ පුරවැසියන්ට දිරිපත්කර තිබේ. අර කී මහජන අදහස් ද සැලකිල්ලට ගෙන මෙහෙයුම් මණ්ඩලය විසින් පත්කෙරුණු අනුකමිටු 6 තමන්ට පැවරුණු විෂයන් 6යේ වාර්තා ද මේ වනවිට එළිදක්වා ඇත. මේ තතු යටතේ ඉදිරි දින කිහිපය තුළ දී නව ව්‍යවස්ථාව පිළිබඳ මූලික විවාදයක් පාර්ලිමේන්තුවේ ආරම්භ කරන බව ද ප්‍රකාශයට පත්විය. කෙසේ නමුත් විශේෂයෙන් රාජ්‍යයේ ස්වභාවය වැනි මූලික කරුණු පිළිබඳ පක්ෂ අතර මූලික එකගතාවයක් නැතිව අනුකමිටු වාර්තා පිළිබඳ විවාදයක් පැවැත්වීම තේරුමක් නැති ක්‍රියාවකි. ඒ අනුව පැවැත්වෙනවා යැයි කියූ අර කී විවාදය මේවන විට ඇනහිට ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද නව ව්‍යවස්ථාව පිළිබඳ පක්ෂය තුළ සාකච්ඡා අවසන් නැති හෙයින් යෝජිත පාර්ලිමේන්තු විවාදය කල්දැමිමට අවශ්‍ය බව පවසා තිබේ. ඒ අනුව මේ කියන පාර්ලිමේන්තු විවාදය සඳහා නව ව්‍යවස්ථාවේ මූලික කරුණු පිළිබඳව දේශපාලන පක්ෂ එකගතාවයකට පැමිණෙන්නේ කවදා ද යන්න අපි නොදනිමු.

ඉහතින් පැහැදිළි කළ ලෙසට දෙපැත්ත හිරවෙන මර උගුලක් වි ඇති ජයවර්ධන මහතාගේ ව්‍යවස්ථාවට දශක 4ක් පිරීමට ඇත්තේ තව වසරක කාලයක් පමණි. ආචාර්ය ඇන්. ඇම් පෙරේරා ගිලන්ව සිටිය දී, ජේ. ආර්. ජයවර්ධනගේ මේ ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ හෙළා ඇති ආකාරය තම විවේචනාත්මක විශ්ලේෂණයෙන් මොනවට පැහැදිළිකර ඇත. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නායිකාව වූ සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට මේ ජනාධිපති ක්‍රමයේ බලය කොතරම් ඉවහල් වී ද? පේ‍්‍රමදාස ජනාධිපතිවරයා මේ ධූරය පදවිය අභ්‍යාස කළ ආකාරයට එරෙහිව එක්සත් ජාත්ක පක්ෂය තුළින්ම ඔහුට එරෙහිව කැරැුල්ලක් මතුවිය. එය ප්‍රයෝජනයටගත් චන්ද්‍රිකා මැතිනිය විධායක ජනාධිපති ක්‍රමය ඉවත්කරන බවට සපතකර විශාල බලයක් ලබාගත් නමුත් පොරොන්දුව ඉටු නොකළා පමණක් නොව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ආණ්ඩුව අයුතු ලෙස බිඳ දැම්මේ ය. මහින්ද රාජපක්ෂ, ජනාධිපගතිවරයා බවට පත්වන්නේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ජාතික සංහිඳියා ප්‍රවේශයට එරෙහිව චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරිය ජාතිවාදින් සමඟ ඇතිකරගත් පරිවාස ආණ්ඩුවේ දිගුවක් ලෙසිනි.

තම ඒකාධිපති ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදයේ දුහුල් සළුවකින් ජේ. ආර්. ජයවර්ධන වසා තිබුණේ නම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එම සළුවද මහ දහවල් උනාදැම්මේ ය. වාරදෙකේ ධූරකාල සීමාව ඉවත් කළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා, ජේ. ආර්. ජයවර්ධනගේ ව්‍යවස්ථාවට පිංසිද්ධ වෙන්නට රාජ්‍යය මංකොල්ල කෑවේ ය. වෙනත් ආකාරයට කියන්නේ නම් රාජ්‍ය යනු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හා ඔහුගේ පවුලේ උදවිය වූ අතර රාජපක්ෂ පවුලේ සමීපතමයින් මුක්තිය හිමි විශේෂිත පුද්ගලයින් බවට පත්වූහ. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් රාජපක්ෂලාගේ වහලූන් බවට අවසානයේ පත්වූයේ ජේ. ආර්. ජයවර්ධනගේ මේ ව්‍යවස්ථාවේ ඇති අනුහස නිසාවෙනි. ඒබ‍්‍රහම් ලින්කන් ජනාධිපතිවරයා වහලූන්ට නිදහස ලබාදෙනවිට වහලූන් නිදහස ප්‍රතික්ෂේප කළ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති පදවියට පත්වී ජාතිය අමතා කළ කථාවේ දී මතක්කර දුන්නේ ඒ නිසා ය. නිමල් සිරිපාල සිල්වා අමාත්‍යවරයා නව ව්‍යවස්ථාවක් පිළිබඳව පක්ෂ අභ්‍යන්තරයේ තව දුරටත් සාකච්ඡා කිරීමට කල් අවශ්‍ය බව කියන්නේ ජේ. ආර්. ජයවර්ධනගේ එහෙව් ව්‍යවස්ථාව මර උගුලක් බව ඔහුට නොතේරෙන නිසාදැයි අපි නොදනිමු.

ඒකාබද්ධ විපක්ෂය හා ජේ. ආර්ගේ ව්‍යවස්ථාව

නව ව්‍යවස්ථාවකට විමල් වීරවංශ ඇතුළු ඒකාබද්ධ විපක්ෂය පමණක් නොව ගුණදාස අමරසේකර ද විරුද්ධ ය. ඔවුන් කියන්නේ ජේ. ආර් ජයවර්ධන ගේ මර උගුල් ව්‍යවස්ථාව එසේම තබාගතයුතු බව ය. 1978 සිට ම ඉවත්කළයුතු බවට මහජනතාව හඬනැගූ අරකී මරඋගුල් ව්‍යවස්ථාව තවදුරටත් ඔවුන් තබාගත යුතු යැයි කියන්නේ ජාතික ආරක්ෂාව සඳහා ය. ජාතික ආරක්ෂාව යනු දෙමළ මිනිසාගෙන් තර්ජනයට ලක්වී ඇති දෙයක් බවට වූ යම් ඉගියක් සාමාන්‍ය පොදු ජනතාවට මේ මගින් ප්‍රක්ෂේපනය කෙරේ. යුද්ධයක් අවසන්කර තිබීම තුළ එවන් තර්ජනයක් නැවත ඇතිවෙනවා දකින්නට කාටවත් උවමනාවක් නැත. එහෙයින් යූද්ධයට පාදක වූ ප්‍රශ්නවලට විසඳූම් දෙන ඕනෑම දෙයක් ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව හුවාදක්වා ජනතාව නොමග යැවීම ඒකාබද්ධ විපක්ෂය ඇතුළු ජාතිවාදීන්ට පහසු ය. මෙමගින් ඔවුන් උත්සහා දරන්නේ ජේ ආර්ගේ ව්‍යවස්ථා මර උගුලේ ජනතාව සිරකර තබාගැනීමට ය.

ආචාර්ය ගුණදාස අමරසේකරට අනුව ලංකාවට ප්‍රජාතන්ත්‍රවාදය හරියන්නේ නැත. රට ගොඩනගන්නට නම් එය නැති භංගකර රාජාණ්ඩු ක්‍රමයක් ස්ථාපිත කළ යුතු ය. ඔහුට අනුව මහින්ද රාජපක්ෂට ඒ රජකම ලබාදීමට මේ රටේ ජනතාව ක්‍රියාකළ හ. එය අවසානයේ අනාගැනීම පිළිබඳ මහින්ද රාජපක්ෂ කෙරෙහි අමරසේකරට ඇත්තේ විවේචනයකි. ඔහු දැන් පවසන්නේ අලූත් රජකමට ගැලපෙන මිනිසා ගෝඨාභය රාජපක්ෂ බවය. මේ අපූරු තර්කයට අනුව ගෝඨාභය වැන්නෙකුට රජවීම හැකිව පවතින ව්‍යවස්ථාව වෙනස් නොකළ යුතු ය. ගුණදාස අමරසේකර මේ ව්‍යවස්ථාව වෙනස් කිරීමට එරෙහි වන්නේ රාජාණ්ඩුවකට පාරකපාගත හැකි ජේ. ආර්. ගේ මේ ව්‍යවස්ථාව වෙනස් කරනවාට ය. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ප්‍රාථමික දැනුමක් ඇති ඕනෑම අයෙක් ජේ. ආර්. ගේ මේ ව්‍යවස්ථා මරඋගුලට එරෙහි විය යුත්තේ රජෙක් තනන්නට වූවත් හැකියාව ඇති මේ ව්‍යවස්ථාව, රට ඉදිරියට නොව ආ පස්සට ගෙනයෑමට අනුබලයක් දෙන නිසා ය.

ජේ. ආර්. ගේ ව්‍යවස්ථාවට බොහෝ මැති ඇමතිවරුන් ලොල් බඳින්නේ ඒ මගින් හරිහම්බ කරගැනීමට ඇති හැකියාව නිසා වියහැක. නමුත් එය එකම කාරණය නොවන්නේ මැති ඇමතිවරුන්ගේ වැඩවසම් චින්තනයට එම ව්‍යවස්ථාව අනුබලයක් සපයන නිසා ය. එහෙයින් ජේ ආර් ජයවර්ධනගේ ව්‍යවස්ථා මර උගුලෙන ගැලවීමට නම් පුරවැසි මානසිකත්වයෙන් හෙබි පළල් ජනතා ව්‍යවාපාරයක් අවශ්‍ය වන්නේ ය. රජ සිරිගත් ජනාධිපතිවරයකු පලවා හැරීමට ජනතාව ගොනුවූයේ දේශපාලන පක්ෂ වටා නොව එවැනි ජනතා ව්‍යපාරයක් වටා ය. දේශපාලන පක්ෂ වටා ගොනුවී සිටි ප්‍රජාතන්ත්‍රවාදි බලවේගයන්ට ද එම ජනතා ව්‍යාපාරයේ අරමුණුවලට එකග වන්නට අවසානයේ සිදුවිය. කෙසේ නමුත් දේශපාලන තීන්දුවක් වන ව්‍යවස්ථාව වෙනස් කිරීමේ කටයුත්ත දැන් පාර්ලිමේන්තුව තුළ සිරවි තිබේ. මෙය සැබවින්ම ජනවාරි 08 ජයග්‍රහණයට පිටුපෑමකි. එම ජනතා ව්‍යාපාරයේ නියෝජිතයා වූ මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව රාජපක්ෂ දිනවීමට වැඩ කළ බොහෝදෙනෙක් මේ ආණ්ඩුවේ ද බලවතුන් වන හෙයින් එසේ වීම අරුමයක් නොවේ. ජේ. ආර්ගේ ව්‍යවස්ථා මර උගුලෙන් ගැලවීමට ද ජනවාරි 08 අත්දැකීම ප්‍රයෝජනයට ගන්නවා හැර දැන් වෙනත් මාවතක් ඉතිරි වි නැත. මේ වසර ද අවසන් වුවහොත් නව ව්‍යවස්ථාවක් පිළිබඳ අපේක්ෂාව බොඳවන්නට බොහෝ සේ ඉඩතිබේ. එහෙත් නැවත මැතිවරණයක් පැමිණිම කිසිවෙකුටත් වැළැක්විය නොහැක. මැතිවරණවලට තරග කිරමට සිවිල් සංවිධාන සුදානම් නැති නමුත් ජනවාරි 08 අභිලාෂයන්ට පිටුපාන දේශපාලන බලවේග පරාජය කරන්නට ඒ ව්‍යාපාරයට ශක්තියක් ඇත. නව ව්‍යවස්ථාවකට එරෙහි වන්නන් ඒ ගැන ද කල්පනා කළ යුතු ය.

මහින්ද රත්නායක

නව අදහස දක්වන්න