සීගිරිය අභයභූමියේ ඉඩමකට හොර ඔප්පු හදලා | දිනමිණ

සීගිරිය අභයභූමියේ ඉඩමකට හොර ඔප්පු හදලා

සීගිරිය අභයභූමියේ ඉඩමකට ව්‍යාජ ඔප්පු සකසා සංචාරක හෝටලයක් ඉදිකළ බවට සැකපිට සීගිරිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව සීගිරිය වනජීවී නිලධාරීහු කියති. සීගිරිපව්ව ඉදිරිපිට පිහිටි රජයේ ඉඩමකට මෙසේ ව්‍යාජ විකුණුම්කරයක් සකසා ඉදිකිරීම් බලපත්‍ර ලබාගෙන සංචාරක හෝටලයක් ඉදිකරන බවට සීගිරිය වනජීවී කාර්යාලයට ප්‍රදේශවාසියකුගෙන් ලද තොරතුරක් අනුව වනජීවී නිලධාරීහු කණ්ඩායමක් එම හෝටලය ඉදිකරන ස්ථානයකට ගොස් පරීක්ෂා කැර බැලීමේදී අක්කරයක පමණ විශාල වූ අභයභූමියට අයත් ඉඩමකට මෙසේ විකුණුම්කර සකසා ඇතිබව අනාවරණය වූ බව සීගිරිය වනජීවී කාර්යාලයේ වනසත්ව අඩවි ආරක්ෂක ආර්.එම්. ඩී. බණ්ඩාර මහතා කියයි.

සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයාට එම ඉඩම ආසන්නයේ වාර්ෂික බලපත්‍ර මත කුඩා ඉඩම් කැබැල්ලක් තිබෙන බවත් එහි සිට අභයභූමියට අයත් විශාල ඉඩම මෙසේ අත්පත් කැර ගෙන තිබීම ව්‍යාජ බලපත්‍ර සැකසීම යන චෝදනා මත එම ව්‍යාපාරිකයා දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව අඩවි ආරක්ෂක ඩබ්ලිව්. ඒ.කේ. වාසල මහතා වැඩිදුරටත් පැවැසීය.

දිගින් දිගටම පසුගිය දිනවල සීගිරිය අභය භූමියේ අනවසර ඉඩම් අත්පත්කැර ගැනීම් බොරලු හා පස් කැපීම ආදී සිද්ධීන් රැසක් වාර්තාවී තිබිණි.

මේ පිළිබඳ සීගිරිය වන ජීවී කාර්යාලයේ වනසත්ව අඩවි ආරක්ෂක ආර්.එම්.ඩී. බණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි වනසත්ව අඩවි ආරක්ෂක සහායක ඩබ්ලිව්.ඒ. කේ. වාසල ඇතුළු පිරිස පරීක්ෂණ පවත්වති. 

සීගිරිය විශේෂ

නව අදහස දක්වන්න