සුරියවැව රෝහලේ ළමා වාට්ටු සංකීර්ණය විවෘත වූ දා | දිනමිණ

සුරියවැව රෝහලේ ළමා වාට්ටු සංකීර්ණය විවෘත වූ දා

නවිකරණය කෙරුණු ළමා වාට්ටු ගොඩනැඟිල්ල

සුරියවැව ප්‍රාදේශිය රෝහලේ රුපියල් ලක්ෂ 30ක මුදලක් වියදම් කරමින් ප්‍රතිසංස්කරණය කෙරුණු ළමා වාට්ටුව විවෘත කිරිම සිදු කෙරුණේ මහා සංඝ රත්නයේ ආශිර්වාද ඇතිවය.

ළමා වාට්ටුව විවෘත කිරිම වෙනුවෙන් මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලයට හා නව වසරට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් රෝහලේදී පසු ගියදා සර්ව රාත්‍රික පිරිත් දේශනයක් හා භික්ෂූන් වහන්සේ 25 නමක් විෂයෙහි උදෑසන දානය පිළිගැන්විම සිදු කෙරුණේ වෛද්‍ය අධිකාරී සී.වීරසිංහ මහතා හා රෝහල් කාර්ය මණ්ඩලය ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙනි.දකුණු පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් මේ සඳහා මුදල් ප්‍රතිපාදන ලබා දී තිබුණි.

මෙහිදී පැමිණ සිටි පිරිස අමතමින් සුරියවැව බෝධිරාජාරාම විහාරාධිපති සුරියවැව ශාසනාරක්ෂක බළ මණ්ඩලයේ හිටපු ලේඛකාධිකාරී බටුවිට මහින්දවංශ හිමියෝ මෙසේ පැවසිය. සුරියවැව රෝහල් ඉතිහාසයේ පිරිත් පින්කමක් පවත්වපු ප්‍රථම අවස්ථාව තමයි මේක.ඒ නිසා මේක ඓතිහාසික අවස්ථාවක් කිව්වොත් හරි.අරාජික තත්ත්වයේ තිබුණු සුරියවැව රෝහල අද වන විට විශාල දියුණුවක් කරා ගමන් කර තිබෙන බව අපි කාටත් දකින්න පුළුවන්.වත්මන් වෛද්‍ය අධිකාරී වෛද්‍ය සී.වීරසිංහ මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ කැපවිම හා උත්සාහය තමයි මේකට ප්‍රධාන හේතුව.විශේෂයෙන්ම කියන්න ඕනේ මේ ආයතන දියුණු කරගෙන යනකොටත් විවිධ බාධක එනවා.කළ යුත්තේ සියලු දෙනා එකට එක්ව කටයුතු කිරිමයි.බුදුන් වහන්සේ පවා දේශනා කරලා තියෙන්නේ වැඩ නොකර විවාද කර කර සිටීමෙන් සිදුවන්නේ විනාශයක් පමණක් බවත්,මෙනිසා විවාද කර කර සිටීමේ අනිටු පළ විපාක පිළිබඳව මැනවින් අවබෝධ කරගෙන සියලු දෙනා එක්ව සමගියෙන් කටයුතු කිරීම හැම අතකටම හොද බවත්ය.වැඩ කරන එක පස්සට දමලා වාද විවාද කර කර සිටිය කිසිම ආයතනයක් ලෝකේ කොහේවත් දියුණු වෙලා නෑ.මේ අවස්ථාව සඳහා දකුණු පළාත් සභාවේ ධීවර අමාත්‍ය එච්.ඩබ්ලිව්.ගුණසේන , සුරියවැව ප්‍රාදේශීය ලේකම් නාමල් ලියනගේ,සුරියවැව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජනක එරන්ද,සුරියවැව පොලිසියේ වැඩ බලන ස්ථානාධිපතිතුමන්,රෝහල් කාර්ය මණ්ඩලය,සුරියවැව ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු විශාල පිරිසක් සහභාගී වි සිටියහ.

සුරියවැව නුවන් ජයසේකර

නව අදහස දක්වන්න