ගොඩනැඟිලි ඉදිකිරීම ජාතික ප්‍රතිපත්තියකට සිදුකරන්න

නිරුෂි විමලවීර
ඡායාරූපය-ජනාධිපති මාධ්‍ය අංශය

* ඉන්දියාවේ හා මියන්මාරයේ අමාත්‍යාංශ ලේකම්වරු, අධ්‍යක්ෂ ජනරාල්වරු, කෝට් එක සහ ටයි පටිය දාන්නේ නැ
* කෘෂිකාර්මික රටක් ලෙස කාලගුණික අභියෝග ජය ගත යුතුයි
* තව අවුරුදු 25ක් 30 ක් යන විට අපේ රටේ වගා කිරීමට වැවිලි ක්ෂේත්‍රයට ඉඩම් නැතුව යනවා

ගොඩනැගිලි ඉදිකිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් ඇති කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවත් එය ඉදිරි දශක තුනක කාලයේ දී ඇතිවිය හැකි වගා බිම් හිඟ වීමේ ගැටලුවට විසඳුමක් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ ක‍ළේය.

ජනාධිපතිවරයා එසේ සඳහන් කළේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පෙරේදා(09) පැවැති හරිත ගොඩනැගිලි මාර්ගෝපදේශ සංග්‍රහය එළි දැක්වීමේ උළෙලට එක් වෙමිනි.

ජාතියට උපහාර දක්වමින් ජාතික ගීය වාදනය කිරීමෙන් අනතුරුව උත්සව සභාවේ කටයුතු ආරම්භ විය.

නීල හරිත ශ්‍රීලංකා ව්‍යාපෘති වාර්තාව ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රූපසිංහ මහතා සහ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, මහත්වරුන් විසින් සිදු කරන ලදි. නීල හරිත ශ්‍රීලංකාවක් බිහි කිරීමට අදාළ නිල වෙබ් අඩවිය ද ජනාධිපතිතුමා ගේ සුරතින් අන්තර්ජාලයට මුදා හරින ලදී.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද සඳහන් කළේය.

“ ජනවාරි 02 වෙනදා තිරසර සංවර්ධන ජාතික ප්‍රතිපත්තිය සහ ජාතික සැලැස්මට අදාළ පසුබිම් පිළිබඳව මා රටට හඳුන්වා දුන්නා. එසේම ඊයේ මේ වේදිකාවේ මේ ස්ථානයේ සිටම අපේ රට දූගීබවින් නිදහස් කිරීමේ ජාතික වැඩපිළිවෙළේ ප්‍රධාන ව්‍යාපෘතියක් වූ ශ්‍රම ශක්ති ජාතික වැඩපිළිවෙළ ප්‍රකාශයට පත්කළා. එසේම එම වැඩපිළිවෙළට අදාළව නව හරිත සංකල්පය තුළ රාජ්‍ය ගොඩනැගිලි ඉදිකිරීම් පිළිබඳවත් එහි මාර්ගෝපදේශකත්වය, මඟපෙන්වීම සමඟ ඇගයීමට ලක්වීම සම්බන්ධයෙන් මේ වැඩසටහන පවත්වනවා.

මුළු ලෝකයේම මිනිසා ප්‍රමුඛ සියලු සත්ත්වයාගේ ස්වාභාවික සම්පත්හි පැවැත්ම පිළිබඳව වගකීම සහ වගවීම පැවරී තිබෙන්නේ මිනිසාටයි. මිනිසා තුළ සිටින උගත්, බුද්ධිමත්, තාක්ෂණික මිනිසා නව ලෝකයේ අභියෝග තේරුම්ගෙන මුළු මහත් මානව ප්‍රජාවටත් ලෝකයේ සියලු රාජ්‍යයන්හි සංවර්ධනයටත්, ස්වභාවධර්මයේ පැවැත්මටත් අවශ්‍ය තම වගකීම් සහ යුතුකම් ඉටු කළ යුතු වෙනවා. පසුගිය වසරේ ඇති කරගත් පැරිස් සමුළුව පිළිබඳව මෙහි දී සදඟන් කළා. පැරිස් සමුළුවට රාජ්‍ය නායකයන් එකසිය ගණනක් සහභාගි වුණා. මාත් ඊට සහභාගී වුණා. රාජ්‍ය නායකයන්ගේ සමුළුවේ එළැඹි තීරණයන්ට අනුව ඇති කරගත් එකඟතා ගිවිසුම කාලගුණික, දේශගුණික විපර්යාස සහ ඊට අදාළව පසුබිම් වූ කරුණුත් ගෝලීය උෂ්ණත්වයත් පරිසර සංරක්ෂණය ආදිය ඊට ඇතුළත් වුණා. පැරිස් සමුළුව පවත්වා මාස තුනක් ඇතුළත රාජ්‍ය නායකයින් නැවතත් නිව්යෝර්ක් නුවරට එක්කොට එයට අත්සන් තැබුවා. අද ලෝකයේ සියලූ රාජ්‍යයන් මේ වගකීම පිළිබඳව ඉතා වුවමනාවෙන් කටයුතු කරන බව මෙහි සිටින විද්‍යාඥයන්, උගතුන්, බුද්ධිමතුන් සෑම කෙනෙක්ම පිළිගන්නවා. එසේම ඇතැම් පිරිස් එය මඟහරිමින් සිටිනවා.

චම්පික රණවක ඇමතිතුමා සඳහන් කළ ආකාරයට අප මුහුණ දෙන පාරසරික තත්ත්වයන්, පරිසර සංරක්ෂණය, ගෝලීය උෂ්ණත්වය සමඟ ඇතිවන මිනිසාගේ සහ සත්ත්වයාගේ පැවැත්ම පිළිබඳව ඇති වන බාධාවන්හි අනිසි විපාක අප අද අත්විඳිමින් සිටිනවා.

මේ වන විට අපේ රටට දැඩි නියඟයකට මුහුණ දීමට සිදුවී තිබෙනවා. මේ නියඟය හේතුවෙන් දුප්පත්කම වැඩි වී ආර්ථික අසීරුතා ඇතිවේද? දරිද්‍රතාවය වැඩි වෙයිද? ආර්ථික සංවර්ධන වේගය අවම වෙයිද? යන කාරණා ඔබට පැහැදිලි කිරීමට අවශ්‍ය නැහැ. අප කෘෂි ආර්ථිකයක් තිබෙන රටක්. ඉතිහාසය පුරා ජාතික ආර්ථිකය කෘෂිකාර්මික පදනමින් ගොඩනැගුණු රාජ්‍යයක් ලෙසින් මේ අවස්ථාවටහි දී අප මුහුණ දෙන අභියෝග අප විසින් ජයගත යුතු වෙනවා. එවැනි සියලූ ක්ෂේත්‍ර පිළිබඳව අවධානය යොමු කරමින් රජයේ ගොඩනැගිලි ඉදිකිරීමේ දී හරිත සංකල්පය මුල් කරගත් වැඩසටහන අද සිට අරඹනවා. පසුගිය අවුරුදු ගණනාව තුළ අපට මේ පිළිබඳව අත්දැකීම් තිබෙනවා.

මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය අතුල මහතාගේ කතාවේ දී සඳහන් කළ ආකාරයට, මෙහි තිබෙන බාධාවන් අප විසින් තේරුම් ගැනීම අවශ්‍ය වෙනවා. එතුමා කරුණු තුනක් පිළිබඳ සඳහන් කළා. එම කරුණු තුන පිළිබඳ ජනතාව සහ විවිධ අංශවල වැරදි මතයන් ගොඩනැ‍ඟී තිබෙන බව ද ඒ පැහැදිලි කළා. “හරිත සංකල්පය මත ගොඩනැගිලි ඉදිකිරීමේ දී වැඩි වියදමක් යන බවට මතයක් තිබෙන බව ඒ මහතා කියා සිටියා. එම මතය බොහෝ අවස්ථාවල මා වෙත ඉදිරිපත් වු බව කිව යුතුයි. මීට අවුරුදු හතකට පෙර සිංගප්පුරුවේ තිබෙන හරිත සංකල්පය මත ඉදිවූ රෝහලක් බලන්න මාද එක් වුණා. ඒ තුළින් ලබා ගත් අත්දැකීම් සහ අවබෝධය සමඟ අපේ රටේ ගොඩනැගිලි ඉදිකිරීම් සම්බන්ධයෙන් මඟපෙන්වීමේ අවශ්‍යතාවය ඇති වුණා. මෙය ප්‍රමාද වුණා නමුත් අප නැවතත් අවශ්‍ය තැනට පැමිණ තිබෙනවා.

ඒ නිසා අප රාජ්‍ය අංශයේ ඉදිකිරිමේ කාර්යයේ දී ඉංජිනේරුවරුන්, සැලසුම් ශිල්පීන් සහ මේ පිළිබඳව විශේෂඥයින් සියල්ලන්ගේම තිබෙන දැනුවත්භාවය මෙන්ම මේ ගොඩනැගිලි භාවිතාකරන්නන් මූලික වශයෙන් දැනුවත් කිරීම ද අවශ්‍යය වෙනවා. අනබෝධය නිසා මෙම වැඩසටහන් ප්‍රතික්ෂේප කරනවා. රාජ්‍ය ගොඩනැගිලි මේ වැඩසටහනට එක්කිරීම මෙන්ම පෞද්ගලික අංශයටත් මේ වැඩසටහන හඳුන්වාදීම අවශ්‍යයි. දැනටමත් අපේ රටේ පෞද්ගලික ගොඩනැගිලි රාශියක් හරිත සංකල්පය මත ඉදිකොට තිබෙනවා. ඒ නිසා පාසල් දරුවාගේ සිට සමස්ත ජනතාව මේ වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීම අත්‍යාවහ්‍ය වෙනවා. ඒ දැනුවත් කිරීම තුළයි සාර්ථකත්වය ලබා ගත හැකි වෙනවා. මේ වැඩසටහන සාර්ථක කර ගැනීමට ඔබ සියලූ දෙනාගේ තිබෙන කැපවීම මා අගයනවා. මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී ගැටලූ මතුවෙනවා නම්, ඒ සියල්ල විසඳා ගැනීම අත්‍යාවශ්‍ය වෙනවා. ආයතන මට්ටමින්, අමාත්‍යාංශ මට්ටමින් සාකච්ඡා කරන්න කියා මා කියා සිටිනවා. එහිදීත් යම් යම් ගැටලූ මතුවුවහොත්, එම ගැටලූ සාකච්ඡා කර අවශ්‍ය තීන්දු ගෙන බලාපොරොත්තු වන ඉලක්කය කරා යෑමට එක්වන ලෙස ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

මේ සඳහා අදාළ නොවුණත් ටයි පටිය පැළඳිම පිළිබඳව මහාචාර්යතුමාගේ කතාවෙහි සඳහන් වුණා. එතුමා චක්‍ර ලේඛය කියා පැවසුවේ නැහැ. එය පවතින නීතියක් බව කියා සිටියා. එය චක්‍ර ලේඛයක් අනුව නිකුත් වූවක් බව මම දන්නවා. ඔබ විසින් තෝරාපත් කරගත් හයවන ජනාධිපතිවරයා මමයි. මේ රටේ ජනාධිපතිවරයෙක් එම චක්‍රලේඛණය නිකුත් කළා. ඉන්දියාවේ අමාත්‍යාංශ ලේකම්වරු, අධ්‍යක්ෂ ජනරාල්වරු, කොමසාරිස්වරු කෝට් එක සහ ටයි පටිය දාන්නේ නැති බව මා ඇමතිවරයෙක්ව සිටි කාලයේත් අදත් දුටු දෙයක්.නමුත් අවශ්‍ය තැන දී දානවා. මීට අවුරුදු හතකට කළින් මම මියන්මාරයේ ගිය අවස්ථාව මියන්මාරයේ අමාත්‍යාංශ ලේකම්වරු, කොමසාරිස්වරු ඉහළ තනතුර දරන අය අදින්නේ සරම බව මා නෙත් ගැටුණා. එය ඔවුන්ගේ සංස්කෘතිය සමඟින් තිබෙන කාරණයක්. දෙසැම්බර් 31දා පොළොන්නරුවේ වාර්ෂිකව පවත්වන පිරිත් පිංකමට මා රාත්‍රී 11 ට පමණ එක් වුණා. අපේ ප්‍රාදේශීය ලේකම්තුමා ටයිපටියක් පැළද පිරිත් අහනවා මා නෙත ගැටුණා. දැන් වෙලාව රාත්‍රී එකොළහයි නේද? පිරිත් අහන්නත් ටයි පටිය ඕනෑ දැයි මා අසා සිටියා. පිරිත් ශ්‍රවණය කරන්නත් එතුමාටත් චක්‍ර ලේඛනය බලපාන්න ඇති කියා මා විශ්වාස කරනවා. රටේ පාරසරික, කාලගුණික, දේශගුණික සංස්කෘතික තත්ත්වයන් සමගින් අප අපේ ඇදුම් සකස් කර ගත යුතුයි. ජනාධිපතිවරයෙක් නිකුත් කළ චක්‍ර ලේඛනයක් වෙනස් කළ හැක්කේ ද ජනාධිපතිවරයකුට නිසා මම අද බොහෝම පැහැදිලි ප්‍රකාශයක් කරනවා. සුදුසු අත්‍යාවශ්‍ය වේලාවට අපේ රාජ්‍ය නිලධාරීන් ටයි පටිය, කෝට් පැළදුවාට ප්‍රශ්නයක් නැහැ. නමුත් කාලගුණික, දේශගුණික තත්ත්වයන් තිබෙන පාරසරික පසුබිම සැලකිල්ලට ගෙන ටයි කෝට් පැළඳ නොසිටීම වරදක් නැහැ. මා එය බොහෝම පැහැදිලිව ප්‍රකාශ කරනවා. ඒ නිසා අපිට ගැලපෙන සුදුසු දේ අපි භාවිත කරමු.

ඉදිකිරීම් ක්ෂේත්‍රය පිළිබඳව කතා කිරීමේ දී නිවසක් හදාගන්න ගියත් ඉතා යහපත් ලෙස ඒ ගැන ප්‍රතිචාර දක්වන සැලසුම් ශිල්පීන් වගේම හැම කෙනක්වම අමාරුවේ දමන සැලසුම් ශිල්පීන් ද ඉන්නවා. මා පොළොන්නරුවේ නිවසක් හදනවා. නමුත් හත් වසරක් සිට එහි කටයුතු නිමා කරන්න තවමත් බැරි වුණා. මට පුංචි නිවසක් සැලසුම් කර දෙන්නැයි මම ශිල්පියාට පැවසුවා. ඔහු නිවස හදමින් සිටිඅතර මඟ දී දමා ගියා. රෝහල්වල ගොඩනැගිලි ඉදිකිරීමේ දී සැලසුම් ශිල්පීන්ට, ඉංජිනේරු මහත්වරුන් සහ දොස්තර මහත්වරුන් එක්ව ගොඩනැගිල්ල සැලසුම් කිරීම බරපතළම ප්‍රශ්නයයි. රජයේ හෝ පෞද්ගලික අංශයේ ගෙයක් සාදා ගැනීමට යන විට මේ සංකල්පයත්, ඉදිකිරීම් රාජ්‍ය ප්‍රතිපත්තිය පිළිබඳව අප සිතිය යුතුයි. රජයේ ගොඩනැගි හරිත සංකල්පයෙන් ඉදිකරනවා වගේම පොදුවේ රාජ්‍ය සහ පෞද්ගලික ගොඩනැගිලි ඉදිකිරීමේ රාජ්‍ය ප්‍රතිපත්තියක අවශ්‍යතාවය ඉතා අත්‍යාවශයි.

අපට තිබෙන්නේ කුඩා භූමියක්. වේගයෙන් ජනගහණය වර්ධනය වෙනවා. නිවාස ඉදිකිරීම් පිළිබඳව කිසිම ජාතික ප්‍රතිපත්තියක් නැහැ. තමන්ට පුළුවන් තැනක ගෙවල් දොරවල් හදනවා. වැරදිකාරයා ගෙවල්, ගොඩනැගිලි හදන අය නොවෙයි. මේ පිළිබඳව පැහැදිලි රාජ්‍ය ප්‍රතිපත්තියක් ප්‍රකාශයට පත්කර නොකිරීම බව කිව යුතුයි. ප්‍රතිපත්තියක් සකස් කර විධිමත් ක්‍රියාමාර්ගයක් නොමැතිව තව අවුරුදු 25ක් 30 ක් යන විට අපේ රටේ වගා කිරීමට වැවිලි ක්ෂේත්‍රයට ඉඩම් නැතුව, කුඹුරු නැති තත්ත්වයට පත් වෙනවා. අපේ රටේ ගොඩනැගිලි ඉදිකිරීම් පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක වහා වහා අවශ්‍යයි කියා මා විශ්වාස කරනවා. ඒ පිළිබඳ ඇමැතිතුමා ඇතුළු සියලු දෙනාගේ අවධානය යොමු කළ යුතුයි. ඒ අනුව අපට බොහෝ ගැටලූ විසඳගැනීමේ හැකියාව ඇති වෙනවා.

මෙහි දී අදහස් දැක්වූ මහා නගර සහ බස්නාහිර සංවර්ධන

ඇමැති පාඨලී චම්පික රණවක මහතා :

වසරක් තුළ දැවැන්ත ගංවතුරකට සහ නියඟයකට අපේ රටට මුහුණ දුන්නා. ඉදිරියේ දී අපට මුහුණ දීමට සිදුවන මහා නියඟයක් පිළිබඳව මේ දිනවල අවධානය යොමු වී තිබෙනවා. නියඟයක දී ජලය, ආහාර, ජලවිදුලිය ආදී අතවශ්‍ය දේ සපයා ගන්නේ කෙසේද යන්න අප හමුවේ තිබෙන ප්‍රශ්නයක්. මහවැලි ජලය සමස්ත ගොවිතැනින් සියයට විස්සකට සීමා වී තිබෙනවා.

දක්ෂිණ ද්‍රවයේ ඇන්ටාර්ක්ටිකාවේ දැවැන්ත අයිස් කඳු දියවීමේ අවධානමකට ලක්වෙලා. උත්තර ධ්‍රැවයේ යුරෝපයේ රටවල වසර 120ක කාලයකට පසුව අධික හිම පතනයන් සිදු වෙනවා. මේ අනුව ගෝලීය වශයෙන් කාලගුණය දේශගුණය ද්‍රවීකරණයට ලක්වී තිබෙන බව පැහැදිලියි.

ජනග්‍රහණය ඉතා වේගයෙන් ගුණාකාර ලෙස වැඩිවෙන බවත් එහෙත් ආහාර අවශ්‍යතාව වැඩිවෙන්නේ රේඛීය ආකාරයට බවත් දහ අටවැනි සියවසේ වැදගත් ආර්ථික විශේෂඥයකු වන මැල්කූස් ප්‍රකාශ කළා. නමුත් කාර්මික විප්ලවය සිදු වූ රටවල ආහාර ප්‍රශ්නය පහසුවෙන් සපයාගත හැකි බවටත් මැල්කූස්ගේ ප්‍රකාශ සාවද්‍ය ප්‍රකාශයක් බව 19 වන ශත වර්ෂයේ විද්‍යඥායන් කියා සිටියා. නමුත් නැවත වරක් ඉතාම වැදගත් සොයා ගැනීමකින් රෝම සමුළුවේ දී ලෝකයේ සීමිත සම්පත් හිඟයක් පිළිබඳ නැවත සඳහන් වුණා. එසේම 2050 දී ආහාර හිඟයක් සහ පරිසර දූෂණයන් පිළිබඳව එහි සඳහන් වුණා.

ලෝකයේ විශාලම දූෂිතයා ඇමෙරිකාවයි. ඇමෙරිකානු සෙනෙට් මන්ත්‍රි මණ්ඩලය පියෝපට් ගිවිසුම අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළා. ඒ හා සමඟින් පියෝපට් ගිවිසුම පියවරෙන් පියවර බිද වැටුණා. පරිසර සංරක්ෂණයේ අවසන් උත්සාහය රෝම ගිවිසුමයි. නමුත් පසුගිය ජනාධිපතිරණයේ දී ඇමෙරිකානු ජනතාව රෝම සම්මුතිය ප්‍රතික්ෂේප කිරීමට ඩොනල්ට් ට්‍රම්ප් ජනාධිපතිවරයා ලෙස පත් කර ගත්තා. මෙතෙක් කාලයක් ගල් අඟුරු ප්‍රතික්ෂේප කර සිටි ඇමෙරිකාව මේ වසරේ සිට ගල් අඟුරු භාවිතයට නියමිතයි. පැරිස් සම්මුතිය ක්‍රියාත්මක කළ හැකිදැයි ගැටලු සහගතයි.

මෙහි දී ආරාධිත දේශනය සිදු කළ මොරටුව විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රාහුල අතුලගේ මහතා මෙසේ පැවසීය.

ගොඩනැගිල්ලක ඇතුළත අපද්‍රව්‍යවලින් තොර බවට වැරදි අදහසක් තිබෙනවා. නමුත් ගොඩනැගිල්ලක් තුළ බාහිර පරිසරයට වඩා අපද්‍රව්‍ය වැඩි බව කිව යුතුයි. හරිත ගොඩනැගිල්ල කොළ වර්ණයෙන් වරණවත් විය යුතු බවට මතයක් තිබෙනවා. එය සාවද්‍ය මතයක්. එසේම හරිත ගොඩනැගිල්ලක් සාමාන්‍ය ගොඩනැගිල්ලක කාලයක් නොපවතින බවටත් හරිත ගොඩනැගිල්ලක් සඳහා වැය වන වියදම වැඩි බවටත් මතයක් තිබෙනවා. ඒවා සාවද්‍ය මත බව කිව යුතුයි.

මෙහි දී පිළිගැනීමේ කතාව මහවැලි සහ පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා විසින් සිදු කරන ලදි.

මහා සංඝරත්නය, සෙසු ආගමික නායකයන්, වරයා සහ නාවික කටයුතු ඇමැති අජ්ජුන රණතුංග, මහතා ඇතුළු මැති ඇමැතිවරුන්, ආණ්ඩුකාරවරුන්, රාජ්‍ය නිලධාරීන්, ආරාධිතයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වී සිටියහ.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...