සාමසර නාය යෑමෙන් අවතැන් වූ පවුල්වල දුක් අඳෝනාව | දිනමිණ

සාමසර නාය යෑමෙන් අවතැන් වූ පවුල්වල දුක් අඳෝනාව

"දැන් මාස 8ක් වෙනවා. කඳවුරුවල ඉන්න අපේ සමහර අය ඉඩම් ගත්තා. ඒත් මේ අවුරුද්දෙවත් සිංහල අලූත් අවුරුද්දට කලින් ගෙවල් හදා ගන්න පුළුවන් වෙයිද මන්දා. මොකද රජයෙන් කියලා දැන් අපිට කිසිම සහනාධායක් දෙන්නේ නෑ. රජයෙන් කියන්නේ අපිට පරණ කළ රස්සා කරලා හොයාගෙන කන්න කියලා. මේ හැම කෙනකුටම ඒ දේවල් කරන්න අමාරුයි. කුඩාරම්වල ඉන්නවා කියන්නෙත් මහා දුකක්. ඊට වඩා හොඳයි නාය යන කොට යට වුණා නම්. දවල්ට රස්නේ. වැස්සට මේක ඇතුලේ ඉන්න බෑ තෙමෙනවා. වැසිකිළි උතුරනවා. ඉස්සර වාගේ ගෙදර හිටපු නිදහස මෙතැන නෑ." යැයි උස්සාපිටිය සාමසර කන්දේ අවතැන් වු කුඩාරම්වල දිවි ගෙවන ජනතාව එහි ගිය අප සමඟ පැවැසීය.

මේ වන විට උස්සාපිටිය ක්‍රීඩාංගණයේ අවතැන් වු ජනතාව පදිංචි කළ කුඩාරම් 50ක් පමණ වන අතර එහි 200කට ආසන්න පිරිසක් ජීවත් වෙති. දැනට මාස 8කටත් වැඩි කාලයක් මොවුන් මෙහි දිවි ගෙවන අතර අරණායක ප්‍රදේශයේ මේ හැරුණු විට කුඩාරම් ගත කර ඇති ස්ථාන රැසක් පවතිනවා. ඒ අතර දිප්පිටිය විල්පොල ක්‍රීඩාංගණ දෙක, හත්ගම්පොල, මොරාගම්මන, රහල, දෙයියන්වල, නාරංගල, එළගිපිටිය, උස්සාපිටිය, ගොඩිගමුව, පල්ලේපමුණුව, වසන්තගම, කළුගල, හබලක්කාව වැනි ප්‍රදේශවලත් මේ කුඩාරම් නිවාස සකස් කර පවුල් පදිංචි කර ඇත. මේ වන විට පවුල් 571ක් මේ කුඩාරම් ආශ්‍රිතව ජීවත් වෙන අතර ඥාතීන්ගේ නිවාසවල පවුල් 136ක් ජිවත් වෙන බව අරණායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබා ගත් නවතම දත්තවලින් අපට අනාවරණය විය.

නමුත් අද වන විට පෞද්ගලික ආයතන කිහිපයකින් පමණක් නිවාස ව්‍යාපෘතියක් අරණායක වසන්තගම, කළුගල, හබලක්කාව ප්‍රදේශවල ක්‍රියාත්මක වන අතර එහි ද සීමිත පවුල් ප්‍රමාණයකට පමණක් නිවාස සකස් කර දී ඇත. රජයෙන් අවතැන් වුවන් වෙනුවෙන් ලක්ෂ 4ක මුදලක් ඉඩමක් ලබාගැනීමට ලබා දෙන අතර එම මුදල් රැගෙන සමහර අය ඉඩම් මිලට ගෙන ඇත. එම ස්ථානවල නිවාස සකස් කරන්නට ද අවශ්‍ය මුදල් ලබාදෙන බව පසුගිය දිනවල රජයෙන් ජනතාව දැනුවත් කර ඇති බව ද ඔවුහු කියති.

නමුත් අවතැන්වුවන් තාමත් ගැටලූ රැසක මිරිකී සිටින අතර සමහර අය පවසන්නේ රජය විසින් තට්ටු නිවාසයක් උස්සාපිටියේ සකස් කරන බවත්, එය සකස් කළ පසු එම නිවසකට පදිංචියට යන බවත්ය. නමුත් සමහර දෙනා එම තට්ටු නිවාසවල පදිංචියට යෑමට මැළිකමක් දක්වන්නේ ඒ මඟින් පවුල් ප්‍රශ්න ඇති වේ යැයි යන සැකයෙනි.

එවගේම මේ ජනතාවට තවත් ප්‍රධාන ගැටලූවක් වී ඇත්තේ දරුවන් පාසල් යැවීමයි. උස්සාපිටිය වැනි කඳවුරක් ගතහොත් දරුවන් හත්ගම්පොල සාමසර කන්ද පෙන මානයේ ඇති පාසලට යැවීමට කිලෝ මීටර් 8ක පමණ දුරක් ගමන් කර යුතුයි.

මේ දුක් අදෝනාව ගැන එහි වෙසෙන කිහිප දෙනෙක් දැක්වූයේ මෙවැනි අදහසකි.

සුනීතා මාලනී

"අපි ඉන්නේ කුඩාරම්වල. දැන් තියෙන ප්‍රධාන ගැටලූවක් තමයි කුඩාරම්වල ඉන්න බැරිකම. මොකද කුඩාරම්වල ඉන්නකොට නිතරම ලෙඩ වෙනවා. මම වුණත් ඉස්සර හොඳට ගේ දොර වැඩ කරගෙන හිටියා. කුඩාරම්වලට වැටුණාට පස්සේ මගේ මුණ, අත පය, ඇගේපතේ අමාරුකම් වගේම වෙනත් රෝගී තත්ත්ව ඉස්මතු වෙන්න පටන් අරගෙන තියෙනවා. මේවගේ ජීවත් වෙලා ඉන්නවා කියන්නේ ප්‍රශ්න ගොඩක්. බෙහෙතක් ගන්න වුණත් සල්ලි තියෙන්න ඕනෑ. ඒ සල්ලි හොයා ගන්නත් අපි මොනවා හරි කරන්න ඕනෑ. රජයෙන් කියලා දැන් නම් අපිට කිසිම සහනාධාරයක් ලැබෙන්නේ නෑ. වියළි සහනාධාර නෑ. ඔන්න ඕකයි අද අපේ ජීවිතවල තත්ත්වය."

ඒ සුගතපාල

"දැන් මේ කුඩාරම් දිරලා තියෙන්නේ. වැස්සට මේ ඇතුල සේරම තෙමෙනවා. ඉඩම් නම් අපි අරන් තියෙන්නේ. ඒවාගේ ගෙවල් එක පාරම හදන්න බෑ. රජයෙන් මුදල් දෙනවා කියනවා. ඒත් එයාලාගේ ප්ලෑන් එක අනුව අපි ගේ හදන්න ඕනෑ. ඒත් කමක් නෑ කියමුකෝ. ඒත් මේකේ ඉන්න සේරම එහෙම ඉඩම් අරන් නෑ. සමහර අයට ඉඩම් ලක්ෂ 4කට හොයා ගන්නත් බෑ. ඒ වාගේ ගැටලූ තියෙනවා. රජයෙන් කියලා සහනාධාර අපිට ලැබෙන්නේ නෑ."

ඩබ්ලිව්. එම්. ප්‍රේමරත්න

"මම හිටියේ නාය ගිය කන්ද පල්ලමේ. ඒ කියන්නේ පල්ලේබාගේ කියන කොටසේ. නාය ගියාට පස්සේ අපේ තිබුණු ගෙවල් දොරවල් වාගේම ඉඩම් කුඹුරු සියලූ දේවල් යට වෙලා ගියා. අපි ඒ ඉඩම්වල ආදායම අරන් කුඹුරු කරලා තමයි ජීවත් වුණේ. ඒත් මේ බලධාරීන් අපිට එහෙම වුණා කියලා හිතන්නේ නෑ. අද වෙනකොට පල්ලේබාගේ මිනිසුන්ට ලැබෙන දෙයක් නෑ. හැම දේම එළගිපිටිය අයට විතරයි ලැබෙන්නේ. ඒ පවුල්වල අයට සතියකට කෑමට මුදලක් දෙනවා. අපිට දුන්නේ සති තුනයි. දැන් ඒ කිසි දෙයක් නෑ. දැන් මේ මුදල් දෙන්නෙත් නාය ගිය දෙපැත්තේ ඉන්න අයට. ඒත් මැද කොටසේ හිටපු අපිට මොනවත් නෑ. මමත් ලෙඩෙක්. මාගේ බිරියත් ලෙඩෙක්. පුතා කොළඹ දිහා රස්සාවක් කරලා තමයි එයාගේ පවුලයි අපි දෙන්නයි ජීවත් කරවන්නේ. ලෙඩ දුක් හැදුණාම ඒ කටයුතු හොයලා බලන්නේ පුතා. මේ ගැන හැම තිස්සේම කල්පනා කරලා හරි වේදනාවකින් තමයි ඉන්නේ"

මේ ජනතාවගේ ගැටලූ වෙනුවෙන් රජය උස්සාපිටිය ප්‍රදේශයේ තට්ටු නිවාස ක්‍රමයක් හා ඉඩම් ලබා ඇති ජනතාවට නිවාස ඉදි කරගැනීමට අවශ්‍ය මුල්‍ය දායකත්වය සැපයීමට සුදානමින් සිටින බව අරණායක පැවති සම්බන්ධිකරණ කමිටු රැස්වීමේ දී හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම්වල දී පොරොන්දු ලබා දී ඇත. නමුත් ඔවුන් තවමත් ඒ වෙනුවෙන් ප්‍රමාද වන්නේ කුමන හේතුවක් නිසා දැයි ගැටලූවක් පවතී. එම නිසා මේවා කඩිනම් කොට ජනතාව වෙනුවෙන් ඔවුන් අනාගය ඉදිරියට ගෙන යෑමට ශක්තියක් වීම මේ හැම කෙනකුගේම එකම බලාපොරොත්තුව හා වගකීම වනු ඇත.

මාවනැල්ල සමන් විජය බංඩාර 

නව අදහස දක්වන්න