ඡන්ද හිමියන් ලියාපදිංචි පනත සංශෝධනය කරන්නැයි පෙත්සමක් | දිනමිණ

ඡන්ද හිමියන් ලියාපදිංචි පනත සංශෝධනය කරන්නැයි පෙත්සමක්

සිතාරා සේනානි

ඡන්දයක් ප්‍රසිද්ධ කරන අවස්ථාව වන විට වයස අවුරුදු 18 සම්පූර්ණ කරන සියලු දෙනා ඡන්ද ලැයිස්තුවට ඇතුළත් කර ගත හැකි පරිදි ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනත සංශෝධනය කරන ලෙස ඉල්ලා තරුණ තරුණියන් දෙලක්ෂ හැත්තෑපන්දහසකගේ පමණ අත්සන් සහිත පෙත්සමක් මැතිවරණ කොමිසන් සභාව වෙත ලැබී ඇතැයි එම කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

මැතිවරණ කොමිසන් සභාවේ සිව් අවුරුදු උපාය මාර්ගික සැලැස්ම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනමාධ්‍යවල සහාය ලබාගැනීම පිළිබඳ හා විශේෂයෙන් ඡන්ද විමසීම්වල දී තරුණ හා කාන්තා සහභාගීත්වය ඉහළ නැංවීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ මාධ්‍යවේදීන්ගේ අදහස් ලබාගැනීමට මැතිවරණ කොමිසන් සභා ශ්‍රවණාගාරයේ පෙරේදා (9) පැවති හමුවේ දී සභාපතිවරයා මේ බව පැවැසීය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා මෙසේ ද කීය.

"අවුරුදු 18 සම්පූර්ණ කරන අයගේ ලැයිස්තුවක් සෑම අවුරුද්දක ම මාස හතරකට වරක් සාදන ලෙස මෙමඟින් ඉල්ලා තිබෙනවා. මෙරට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 4 වන ව්‍යවස්ථා අනුව වයස අවුරුදු 18ට වැඩි සියලු ශ්‍රී ලාංකික පුරවැසියන්ට සර්ව ජන ඡන්ද බලය හිමි වෙනවා. එසේ වුවත් 1980 අංක 44 දරන ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනතේ විධිවිධාන අනුව සෑම වසරකම ජූනි මස 01 වැනි දින වාර්ෂික ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධනය ආාරම්භ කරන දිනය ලෙස සැලකෙනවා. එදිනට වයස අවුරුදු 18 සම්පූර්ණ කරන පුරවැසියන්ට පමණක් ඡන්ද හිමියන් ලෙස ලියාපදිංචි විය හැකියි. ඒ අනුව 2015 ඡන්ද හිමි නාම ලේඛනයට අදාළ ප්‍රතිශෝධනය ආරම්භ කළ නියමිත දිනය 2015 ජූනි මස 01 වැනි දින වූ බැවින් 2015 ඡන්ද හිමි නාම ලේඛනයට නම් ඇතුළත්ව ඇත්තේ 1997 මැයි මස 31 හෝ එදිනට පෙර උපත ලැබූ ශ්‍රී ලාංකිකයන්ට පමණයි. එබැවින් 1997 ජූනි මස 01 වැනි දින ‍හා ඉන් පසුව උපත ලබූ මේ වන විට වයස අවුරුදු 19 ද ඉක්මවා ඇති කිසිවකුගේ නම් වලංගු නාම ලේඛනයේ ඇතුළත් වන්නේ නෑ. එහෙයින් 2016 නාම ලේඛනය සහතික කිරීමට නියමිත දිනට පෙර ඡන්ද විමසීමක් කැඳවුවහොත් ඡන්දය භාවිත කිරීමට හැකි වන්නේ වයස අවුරුදු 19යි මාස 6ක් වත් ඉක්ම වූ තරුණ තරුණියන්ට පමණක් වන නිසා එමඟින් අවුරුදු 18ට වැඩි යෞවන යෞවනියන්ගේ සංඛ්‍යාව හාරලක්ෂය ඉක්ම වන බව මේ තරුණ තරුණියන් පෙන්වා දී තිබෙනවා.

මේ පෙත්සම ජනාධිපති, අගමැති, අධිකරණ ඇමැති ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන, නියෝජනය කළ හා පාර්ලිමේන්තු මැතිවරණවලට තරග කළ සියලුම දේශපාලන පක්ෂ වෙත යැවීමට මැතිවරණ කොමිසම වෙත භාර දී තිබෙනවා.

මේ සඳහා සියලු පක්ෂවල කැමැත්ත පළ වී තිබෙනවා. ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනත සංශෝධනය කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නීති සම්පාදකවරුන් වන පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් වෙත දන්වා තිබෙනවා. මෙහි ඉදිරි කටයුතු සිදු කිරීම විෂය භාර අමාත්‍යාංශ වෙත පැවරී තිබෙනවා. මැතිවරණ කොමිසන් සභාව ඒ සඳහා මේ වසරේ දී එකී අමාත්‍යාංශ සමඟ ඉදිරි කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඡන්දය විමසීමේ දී සියල්ලට ප්‍රථමයෙන් සර්ව ජන ඡන්ද බලය හා පාර්ලිමේන්තු ක්‍රමය සම්බන්ධයෙන් තරුණ පරපුරේ උනන්දුව අල්ප වීම විශාල ගැටලුවක්. සියල්ලට පෙර ඒ පිළිබඳ ජනතාව තුළ උනන්දුව ඇති කළ යුතුයි. සර්ව ජන ඡන්ද බලය සම්බන්ධයෙන් තරුණ තරුණියන් දැනුම්වත් කිරීමට දැනට දිස්ත්‍රික් මට්ටමින් නියමු ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් තිබෙනවා. විශේෂයෙන් ම ජාතික තරුණ සේවා සභාවේ සහාය ඇතිව යෞවන සමාජ සම්මේලන හරහා අදාළ දැනුවත් කිරීම් සිදු කරනවා.' 

නව අදහස දක්වන්න