යහපාලන බරපතළ ගැටලුවලට විසඳුම් දීමයි | දිනමිණ

යහපාලන බරපතළ ගැටලුවලට විසඳුම් දීමයි

ඉමදුව සමුහ ලංකින්ද නානායක්කාර
ඇමැති පාඨලී චම්පික රණවක මහතා පාලමක් ජනතා අයිතියට පත් කරමින්.

ජනතාවට මුදල් ලැබෙන නව නගර නිර්මාණ කරන්න, ගංවතුර වාගේ ව්‍යවසනයන් දුරලා ඒවට විසඳුම් දීම, කැළිකසළ පාලනය, ප්‍රවාහන ප්‍රශ්න විසඳීම වැනි ප්‍රශ්න ජනතාවට වැදගත් වුණත් ජනප්‍රිය දේවල් නොවෙයි. මේවා විසඳලා ජනතාවට සහන ඇති කරන්න යහපාලන රජය පියවර ගන්නවා යැයි. මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

ඇමතිවරයා එසේ කීවේ ගාල්ලේ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතියෙන් ඉදි කළ බෙලිගහ, සමඟිවත්ත, සහ කනම්පිය පාලම් තුන ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක් වු ඇමැතිවරයා මෙසේද කීය.

මීට පෙර කළේ කාටත් පෙනෙන නගර ලස්සන කරපු එකයි. තීන්ත ගෑවා. නගරය ලස්සන කළා. එය නොවෙයි කළ යුත්තේ. නගරයේ තිබෙන බරපතළ ප්‍රශ්නවලට විසඳුම් දී නගරය සංවර්ධනය කරන්නයි. නගරයක ගංවතුර ඇතිවෙනවා නම් කසළ ප්‍රශ්නය විසඳලා නැති නම්, වාහන තදබදය ඇත්නම් නගරයේ ජනතාවට පොදු පහසුකම් නැතිනම් නගර ලස්සන කළාට පාරවල් හැදුවට පදික වේදිකා ලස්සනට තිබුණට ජනතාවට වැඩක් නෑ. නගරයේ ඇති ප්‍රශ්න විසඳා නගරය තිරසරව ‍ගොඩනඟන වැඩපිළිවළක් ඇතිකළ යුතුයි මෙයයි අප සිදුකරන්නේ. සිදුවිය යුත්තේත්මෙයයි. ජනප්‍රිය වැඩසටහන් නොවෙයි තිරසර වු ජනතාවට යහපතක් ලැබෙන සංවර්ධන කටයුතුයි අපි කරන්නේ.

මේ ආණ්ඩුව පක්ෂ භේදයෙන් තොර ගමනක් යන ආණ්ඩුවක්. විවේචන ඉවසන, විවේචනවලට ඇහුම්කම් දී වැරැදි තැන් හදාගනමින් යන ආණ්ඩුවක්. විරෝධතාවලට ඉඩ දෙන ආණ්ඩුවක් විවේචනවලට ඇහුම්කම් දී වෙනස් වෙන්න කැමැති ආණ්ඩුවක්. එය මේ යහපාලන ආණ්ඩුවේ දුර්වල කමක් නොවෙයි. එය මේ ආණ්ඩුවේ ප්‍රබලකමක්. සමහරු හිතන් ඉන්නවා හෙට අනිද්දා ආණ්ඩුව වැටෙයි කියලා. එහෙම වෙන්නේ නෑ. අපි ජනතාවගේ හඬට ඇහුම්කම් දෙනවා. ජනතාවටයි නැවෙන්නේ. ඒ නිසා එවැනි ආණ්ඩුවක් වෙනත් ආණ්ඩුවලට වඩා අතිශයින්ම ප්‍රබලයි. වැටෙන්නේ නෑ. අපට ජනතාව ලබාදුන් ජන බලය 2020 වන තෙක් අරගෙන යනවා. ඊට පස්සේ ආණ්ඩු කළ ප්‍රධාන පක්ෂවලට ඡන්ද කරගෙන තමන්ට කැමැති අය පත්කර ගන්න හැකියි. මේ අලුත් අත්දෑකීම සුරක්ෂිත කර ගන්න සියලුම දෙනා සහතික වෙමු

රට සංවර්ධනය කිරීමෙන් පමණක් අපට සෑහිමකට පත්වෙන්න බෑ කියා ජනතාව කියනවා. පාරවල් ගුවන් තොටුපළ, වරාය ආදි වශයෙන් මේ වා හැදුවත් ඉන් සෑහිමකට පත්වෙන්න බෑ. පිරිසුදු පාලනයක් යහපාලනයක් සංවර්ධනයේ ප්‍රතිඵල ජනතාවට ලැබෙන ආණ්ඩුවක් පාලන ක්‍රමයක් අවශ්‍යයි.

දුෂණ හා අක්‍රමික තා සම්බන්ධයෙන් තීන්දු තිරණ ගැනීමේ දී විශාල කාලයක් ගත වෙනවා. ඒ නිසා විශේෂ අධිකරණ ක්‍රියාවලියක් ගෙනවිත් මේ සම්බන්ධයෙන් කටයුතු කරවා.

පසුගිය වසරේ මේ රටේ ඉදිකිරීම් අංශයෙන් ඉදිරියට ගියා. මහනගර ව්‍යාපෘති 77ක් අප ක්‍රියාත්මක කර තිබෙනවා. අපි වැඩි ශබ්ද නැතව වැඩ දමන්නේ නැතව පුවත්පත් දැන්වීම් දමන්නේ නැතුව දැවැන්තම වැඩසටහන් ව්‍යාපෘති ඉදිකරමින් සිටිනවා. මේ වසරේ මහා නාගරික සංවර්ධන ව්‍යාපෘති 50ක් ක්‍රියාත්මක කරනවා.

ඩොලර් මිලියන 1400ක වියදමින් කොළඹ වරාය නගර නිර්මාණ ව්‍යපෘතියත්, ඩොලර් මිලියන 7000ක වියදමින් සැහැල්ලු දුම්රිය ව්‍යපෘතියත් සකස් කරනවා මෙය ලංකා ඉතිහාසයේ දැවැන්තම ව්‍යාපෘති දෙකක්. මෙයට අමතරව රට පුරා දැවැන්ත ව්‍යාපෘති 50ක් සංවර්ධනය කරනවා.

නව අදහස දක්වන්න