සෙනසුරා මාරුවෙන ජනවාරි 26 | දිනමිණ

සෙනසුරා මාරුවෙන ජනවාරි 26

මේෂ-දුක් පීඩා අවසන්
වෘෂභ-ධනය ඔබ අතට
මිථුන-බාධක මැද ජය
කටක-ධනය, බලය, සතුට
සිංහ-රැකියාවේ වෙනසක්
කන්‍යා-ආත්ම ශක්තිය ඉහළට

ලබන ජනවාරි 26 දා බ්‍රහස්පතින්දා රාත්‍රී 07.31 ට සෙනසුරු ග්‍රහයා ධනු රාශියට පිවිසෙයි. වසර දෙක හමාරකට පසුව සිදුවන මේ ග්‍රහමාරුව පිළිබඳව බොහෝ දෙනා උනන්දු වෙති. ඒ අතරින් ද වැඩි දෙනෙකු විමසමින් සිටිනුයේ තම තමාගේ ලග්නය අනුව සෙනසුරු මාරුව කෙසේ වන්නේ දැයි දැන ගැනීමට ය. ඒ පිළිබඳ පුරෝකතනයක් මතු දැක්වේ.

මේෂ ලග්නය

සෙනසුරු මාරුව ඔබට ඉතා සුබපලදායක ය. පසුගිය වසර දෙක හමාරක කාලයේ ඔබට ලග්න අෂ්ටම ඒරාෂ්ටකයක් ගෙන දෙමින් සෑම සියලු අංශයකින් ම පීඩාගෙන දුන් සෙනසුරු එකී ඒරාෂ්ටකය හමාර කරමින් ඔබට ඉතා මිතුරු ධනු රාශියට සහ ලග්නයෙන් 09 වැන්න වූ බලවත් ත්‍රිකෝණස්ථානයට පැමිණීම ඔබට සැමතින් ම සුබදායක වෙයි. රැකියාව ආශ්‍රිතව තිබු අසහනකාරී වාතාවරණය ඉවත්ව යනවා පමණක් නොව නව තනතුරු - උසස්වීම් - සේවා ස්ථානයේ වරප්‍රසාද මෙන් ම රැකියාව ආශ්‍රිත විදේශ ගමන් ද හිමිවෙයි. ඔබ දැනට රැකියා විරහිත අයෙකු නම් මේ කාලයේදී ඉතා හොඳ රැකියා අවස්ථා උදාවෙයි. ඔබේ රැකියාව සහ ආදායම් මාර්ග සම්බන්ධයෙන් වේගවත් වර්ධනයක් හට ගනී.

විවාහය හෝ සහකරු / සහකාරිය හෝ සම්බන්ධයෙන් පැවති බාධක ඉවත්ව යන අතර ඔහු හෝ ඇය කිසියම් පීඩනයකට ලක්ව සිටියේ නම් මෙතැන් සිට සහනශීලී වාතාවරණයක් ඇතිවේ. ඔබේ මානසික තත්ත්වය ආගමික / ආධ්‍යාත්මික අංශයෙන් උසස්වන අතර නිතර නිතර වන්දනා ගමන් ආදිය යෙදෙයි. විදේශ රටවලින් ප්‍රතිලාභ හිමිවෙයි. ජීවිතයේ අතරමග නතර වූ ව්‍යාපෘති නැවත පණ ගැන්වෙයි. ඒවායින් වාසි හිමිකර ගනී.

ඔබගේ සියලු සුබපල ප්‍රදානය කරන 10 සහ 11 වැන්න අධිපති සෙනසුරු අයස්ථානය සහ 03 වැන්න ද 07 වැන්න ද දකිමින් යන ගමන අභියෝගාත්මකය. එහෙත් 09 වැන්නේ තැන්පත් සෙනසුරු ඔබගේ කුසල් බලය ඉස්මතු කොට ඔබේ ජීවන ගමන විශාල පරිවර්තනයකට ලක් කරයි.

වෘෂභ ලග්නය

සෙනසුරු ඔබගේ යෝගකාරක ග්‍රහයා ය. ලබන 26 දා සිට ඔහු ගමන් ගන්නේ ඔබේ ලග්නයෙන් 08 වැන්නේ ය. මෙතැන් සිට ලග්න අෂ්ටම ඒරාෂ්ටකය උදාවෙයි. එහෙත් ඔබ එයින් කලබල විය යුතු නැත. වෘෂභ ලග්න හිමියන්ට ලග්න අෂ්ටම ඒරාෂ්ටකය අන් අයට තරම් විසකුරු නොවේ. ඔබේ විවාහ ජීවිතය සම්බන්ධයෙන් පැවති පීඩාවන් දුරුවෙයි. රැකියාව ආශ්‍රිත හිඟ වැටුප් - රක්ෂණ වන්දි මෙන්ම කලත්‍රයා සතු වත්කම් - මියගිය ඥාතීන් සතු දේපළ යනාදියට උරුම හිමිකම් ලැබෙයි. අනපේක්ෂිත සිදුවීම් බහුල කාලයකි. එහෙත් ඔබ හදිසි අනතුරු සහ නිධන්ගත රෝග යනාදියෙන් පරෙස්සම් විය යුතුය.

සෙනසුරු ඔබේ ලග්නයෙන් 10 වැන්න දැකීම රැකියාවේ වෙනසක් සිදුවන බවට නිමිත්තකි. ඒ සමඟ ම 02 වැන්න සහ 05 වැන්න ද දකී. රැකියාව සහ අයමාර්ග කෙරෙහි අහිතකර පීඩනයක් ඉස්මතු විය හැකිය. එහෙත් නිසි පිළියම් යෙදීමෙන් එකී නපුර අවම කැරගත හැකිය. උදේ / සවස අභිසම්භිධාන පිරිත සජ්ජායනා කිරීම ඉතා ප්‍රශස්තය. මිය පරලොව ගිය අය සිහිකර පින් අනුමෝදන් කිරීම සහ අසරණ වැඩිහිටියන් උදෙසා සංග්‍රහ සත්කාර කිරීම ද ගුණදායක වෙයි. කෙසේ නමුත් මේ සෙනසුරු මාරුව නිසා ඔබ කලබලයට හෝ අසහනයට හෝ පත්විය යුතු නොවේ. මක් නිසාද යත් ධනු රාශියේ තැන්පත් සෙනසුරු ඔබට හොඳ නරක වටහා දෙන මුත් පළිගන්නේ නැති හෙයිනි.

මිථුන ලග්නය

ලබන 26 දා සිට සෙනසුරු ඔබේ ලග්නයෙන් 07 වැන්නේ ගමන් කරයි. මේ ඔබේ ලෞකික ජීවිතයේ හැරවුම් ලක්ෂයකි. වියත් ගුණවත් සත්පුරුෂ ඇසුර නොමඳව ඔබට පිහිට වෙයි. විවාහ ජීවිතය පිළිබඳව යම් අසහනකාරීබවක් මතුවෙයි. හුදෙකලාව සහ ආධ්‍යාත්මික ලෝකයක සැරිසැරීමට ප්‍රිය කරයි. ඔබේ ලග්නයෙන් 08 සහ 09 අධිපති සෙනසුරු ඔබේ ලග්නයේ බාධක ස්ථානයට පැමිණීම නිසා ඔබ හෙල්ලුම්කන සිදුවීම් හට ගන්නා නමුත් එයින් ඔබ විශිෂ්ට ප්‍රතිඵල අත්කර ගනී. මෙතෙක් නොදුටු ජීවිතයක් ඔබ හමුවේ නිර්මාණය වෙයි.

ලග්නයෙන් 07 වැන්නේ සෙනසුරු දිග් බලයෙන් යුතුව ඔබේ ලග්නය ද 04 වැන්න සහ 09 වැන්න ද දැකීම හේතුකොට ගෙන සියල්ල දෙස අසාරසාර දෘෂ්ටියක් ජනිතවන මුත් එයින් ඔබට අයහපතක් උදාවන්නේ නැත.

ජීවිතයට නවමු අත්දැකීම් එකතු කරන අතර ම ඇතැම් දේ අහිමිවන බවත් පෙන්නුම් කරයි. වෙනදාට වඩා තැන්පත් සහ පරිණත ස්වරූපයකින් කටයුතු කරන්නට ගනී. විදේශ සංචාර හෝ නිවසින් පිටත දුර බැහැර ගමන් බහුලවන කාලයකි. ඒවායින් සැලකිය යුතු වාසි හිමිවෙයි. රැකියාව සහ පදිංචි ස්ථානයේ වෙනසක් සිදුවෙයි. ඔබට ද මේ කාලයේදී සමථ භාවනාව සහ අභිසම්භිධාන පිරිත ඉතා ප්‍රතිඵලදායක වෙයි. කලබලවීමට හෝ අසහනයට පත්වීමට හේතුවක් නැත. විදේශ රැකියා අපේක්ෂා කරන අයට සුබදායකය. විදේශ රටවලින් සහ උසස් අයවෙතින් ප්‍රතිලාබ හිමිවෙයි.

කටක ලග්නය

සෙනසුරු මාරුව ඔබට ඉතා සුබදායකය. සැමතින් ම විශිෂ්ට ජයග්‍රහණ හිමිවන කාලයකි. උසස්වීම් තනතුරු සහ සමාජ බලය නිතැතින්ම හිමිවෙයි. සතුරන් පරාජයට පත්වන අතර දේශපාලන සහ සමාජ සේවා ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට ජයග්‍රහණයන් ලැබේ. තම පෞරුෂය සහ වාසනාව ඔප් නැංවෙයි. සුව නොවී තිබූ රෝග සහ පීඩාදායක සතුරු පීඩන ඉවත්ව යයි. නව ආදායම් මාර්ග සහ නව රැකියා අවස්ථා උදාවෙයි. ඔබේ ලග්නයෙන් 07 සහ 08 අධිපති 06 වැන්නේ බලවත්වීම නිසා ප්‍රමාද වූ මංගල කටයුතු නිසි ලෙස යහපත් ආකාරයෙන් සිදුවෙයි. හවුල් ව්‍යාපාර ආදියෙන් වාසි ලැබේ. ඔබේ සැමියාගේ හෝ බිරියගේ පාර්ශ්වයෙන් ද ඔබේ ජ්‍යෙෂ්ඨ ඥාතීන්ගෙන් ද දේපළ වත්කම් හිමිවන කාලයකි.

06 වැන්නේ සිටින සෙනසුරු ඔබේ ලග්නයෙන් 09 ද 12 ද 03 වැන්න ද දකී. මේ නිසා ඔබ අතිධාවනකාරී නොවිය යුතුය. දුර බැහැර ගමන් සහ විදේශ සංචාර ආදියෙහිදී අනපේක්ෂිතව පාඩු විය හැකිය.

එමෙන් ම රැකියා ස්ථානයේ මාරුවීම් සිදුවීමට ද බෙහෙවින්ම ඉඩ තිබේ. එහෙත් මේ කාලයේදී ඔබට අදෘශ්‍යමාන බලවේගයන් ගෙන් රැකවරණය සැලසෙයි.

ඉතා ඉවසීමෙන් සහ දූරදර්ශීව කටයුතු කළොත් මේ වසර දෙක හමාරක කාලයේදී ඔබට විපුලඵල ලැබිය හැකිය. සත්පුරුෂ ඇසුර සහ පූජක පක්ෂය වෙත කරනු ලබන සංග්‍රහ සත්කාර මෙන් ම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් කෙරෙහි දන් පින් කටයුතු කිරීම ද ඉතා යහපත් ය.

සිංහ ලග්නය

මෙතෙක් ඔබේ ලග්නයෙන් 04 වැන්නේ පීඩාදායකව ගමන් කළ සෙනසුරු ලබන 26 දා සිට 05 වැන්නේ ගමන් ඇරැඹිම මිශ්‍රපලදායක ය. චිත්ත පීඩාවන් තරමක් දුරට සමහන් වෙයි. ගෘහස්ත පරිසරයේ සැලකිය යුතු වෙනසක් හටගනී. එසේම රැකියාව සහ රැකියා ස්ථානයේ කැපී පෙනෙන මාරුවකට ඉඩ තිබේ. ඔබේ කේන්දරයේ 06 සහ 07 අධිපති 05 වැන්නේ බලවත්වීම නිසා විශේෂ ප්‍රතිලාභ රැසක් ද හිමිවෙයි. ඒ සමඟ ම සෙනසුරුගේ දෘෂ්ටියට හසුවන 07 වැන්න නිසා ඔබේ විවාහ ජීවිතය ආශ්‍රිතව කළකිරීම් හට ගැනීමට ඉඩ තිබේ. සමාජ සබඳතාවන් ද ගැටලුකාරී විය හැකියි. ඉවසිලිමත්වීම වැදගත් ය. ඔබට එරෙහි සතුරු බලවේග නොසිතූ විරූ ලෙස බලවත්වන අතර මුහුණට මුහුණ ගැටෙන්නට ගියහොත් නිසැකයෙන් ම නින්දා සහගත පරාජයකට ගොදුරු වෙයි. එහෙයින් හැකිතාක් ගැටුම් මග හරින්න. ඔබේ අතිජාත මිතුරා පවා ඔබ හැරයන තත්ත්වයක් පෙන්නුම් කරයි. ඔබේ ලග්නයෙන් 11 සහ 02 වැන්න සෙනසුරුගේ දෘෂ්ටියට ලක්වීම නිසා අයමාර්ග මෙන්ම තැන්පත් ධනය කෙරෙහි එය අහිතකරය. අභිසම්භිධාන පිරිත සජ්ජායනා කිරීම සහ විදර්ශනා භාවනාව ඔබට ඉතා ගුණදායකය. වැඩිහිටියන් සහ පූජ්‍ය පක්ෂය කෙරෙහි සංග්‍රහ සත්කාර කිරීම ද යහපත් වෙයි. විදේශ ගතවීමට සිතන්නේ නම් ඒ සඳහා හොඳ අවස්ථාවන් උදාවෙයි.

කන්‍යා ලග්නය

ජනවාරි 26 දා සිට සෙනසුරු ගමන් කරන්නේ ඔබේ ලග්නයෙන් 04 වැන්නේ ය. එයින් කළකිරීම් සහ චිත්ත පීඩා ජනිත කරවයි. එහෙත් ආධ්‍යාත්මික තත්ත්වය ඉහළ නැගීමටත් සියල්ල දෙස උපේක්ෂාවෙන් බැලීමටත් වුවමනා දැඩි ආත්ම ශක්තිය එයින් ජනිත කරවයි. ඔබේ ලග්නයෙන් 05 සහ 06 අධිපති සෙනසුරු 04 වැන්නේ ගමන් කිරීම ගෘහස්ත පරිසරයට මෙන්ම රැකියාවට ද තරමක් අහිතකරය. එහෙත් සෙනසුරු ඔබව සොලවනවා මිස වට්ටන්නේ නැත. අලුත් රැකියා සෙවීමට හෝ අලුත් නිවාස ඉදිකිරීමට හෝ උචිත කාලයක් නොවේ. රැකියාව සහ ගෘහස්තය යන දෙක කෙතරම් පීඩාදායක වූවත් ඒවා රැක ගැනීමට උත්සාහ කළ යුතුය. සෙනසුරු ඔබේ ලග්නය 06 සහ 10 යන ස්ථාන දකී. කෙතරම් පීඩාකාරී වූවත් අභියෝග මැද අනපේක්ෂිත ජයග්‍රහණයන් භුක්ති විඳීමේ අවස්ථාව ද උදාවෙයි. කෙසේ නමුත් මේ වසර දෙක හමාරක කාලය ඔබට ජීවිතයේ ඉතා දුෂ්කර තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවෙයි. එහෙත් අනපේක්ෂිත ධනය පාරම්පරික දේපළ සහ වන්දි පාරිතෝෂික මුදල් යනාදිය ලැබීමේ භාග්‍ය පවතී. ඔබගේ සැමියා හෝ බිරිඳ හෝ යම් රැකියාවක හෝ හවුල් ව්‍යාපාරයක යෙදී සිටින්නේ නම් ඒ ඇසුරෙන් ඔබට මෙතෙක් ලැබුණු ප්‍රතිලාභයන් ද ගැටලුකාරී තත්ත්වයකට පත්විය හැකිය. මේ කාලයේදී හවුල් ව්‍යාපාර යනාදිය ඔබගේ අවාසියට හේතුවිය හැකිය. මේ තත්ත්වය 2017 වසරාවසානය වනවිට යම් පමණකින් සහනශීලී ලෙස පරිවර්තනය වෙයි. අභිසම්භිධාන පිරිත සජ්ජායනා කිරීම සහ වයෝවෘද්ධ අය සඳහා සංග්‍රහ සත්කාර කිරීම උචිතය.

(ඉතිරි ලග්න පලාපල ලබන සතියේ )

කේ. සී. ජේ. රත්නායක

නව අදහස දක්වන්න