ළඟ එන නියඟයට මෙසේ සූදානම් වෙමු

අසේල කුරුළුවංශ

ඊශ්‍රායලය වැනි රටවලට අපට ලැබෙන වර්ෂාපතනයෙන් දහයෙන් පංගුවක් හෝ නොලැබෙයි. ඔවුන් එය අර්බුදයක් කර නොගෙන ප්‍රශ්නයට සාර්ථකව මුහුණ දීමට සමත්ව ඇත. ජල හිඟයක් ඇත්නම් ලැබෙන ජල ප්‍රමාණයෙන් උපරිම ප්‍රයෝජන ලබාගත යුතුය. ඊශ්‍රායලය වැසිකිළි සඳහා භාවිත කරන ජලය පවා පිරිසිදු කර වගාවන්ට ප්‍රයෝජනයට ගනියි.

මිනිසා තම පැවැත්ම උදෙසා ස්වභාවධර්මයේ නියමයන් ඉක්මවා යමින් සිදුකරන්නාවූ ක්‍රියාදාමයන්ගේ අහිතකර බලපෑම් මේවන විට උත්සන්න වෙමින් තිබේ. ස්භාවධර්මයේ නියමයන්ට අනුගතව පරිසරය හා බද්ධවෙමින් අතීත මිනිසා ගෙනගිය ජීවන ක්‍රියාවලිය වත්මන් මිනිසා විසින් බිඳ දමා ඇත්තේ තම අවශ්‍යතා සඳහා පමණක්ම මූලිකත්වය දී ක්‍රියා කරමිනි. මෙය දරාගත නොහැකි ස්වභාවධර්මය ඊට ප්‍රතිචාර දක්වන්නේ ප්‍රචණ්ඩ ස්වරූපයකිනි. සුළි සුළං, ගං වතුර, නියඟ, නායයෑම්, ගිනිකඳු පිපිරීම්, ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම ඇතුළු ප්‍රශ්න ගණනාවකින් මේ නිසා පීඩා විඳින්නට මිනිසාට සිදුව ති‍බේ. ශ්‍රී ලංකාවේ අප ද මේ වන විට මෙවැනි ප්‍රශ්න ගණනාවකට මුහුණදෙමින් සිටින අතර ආසන්නතම ගැටලුව වන්නේ ඉදිරි කාලය තුළ අපේක්ෂා කරන තරමට වර්ෂාව නොලැබී යාමේ අවධානමක් ඇතිව තිබීමයි. මේ නිසා ඉදිරියේදී සහල් හිඟයක් ඇති වෙතැයි දැඩි අවදානමක් මතුව ඇත. සහල් පිළිබඳ වැඩි‍යෙන් කතා කළත් නියඟය යනු බොහෝ ක්ෂේත්‍ර කරා ඍජුවම බලපාන්නා වූ ගැටලුවකි. ජල විදුලි නිෂ්පාදනය ඒ අතරින් ප්‍රධානය. රටේ විදුලි අවශ්‍යතාව වෙනත් ක්‍රම මගින් පියවා ගත හැකි වුවද එය බෙහෙවින් පරිසරයට හානිකර හා මුදල් වැයවන ක්‍රියාවලියකි.

වර්්ෂ 1973 මුහුණ දුන් නියඟයට පසු අප මුහුණ දෙන දරුණුම නියඟයට අපි දැන් මුහුණ දෙමින් සිටින්නෙමු. එහෙත් මෙයට වසර 43 කට පෙර ඇතිවූ නියඟයේදී රටක් ලෙස අප මුහුණ දුන් අභියෝගවලට වඩා අද පවතින අභියෝග, වෙනස්ය. පසුගිය වසරේ අපට අපේක්ෂා කළ වර්ෂාපතනය ලැබුණේ නැත. ජනවාරි හා පෙබරවාරී මාසවලද සැලකිය යුතු වර්ෂාපතනයක් අපේක්ෂා කළ නොහැකිය. රජයට වැව් ජල ධාරීතාව ශීඝ්‍රයෙන් අඩුවෙමින් තිබීම හෙතුවෙන් ආහාර හිඟයකට මුහුණ දීමට සිදුවන අනතුරක සේයා පැහැදිලිව මතුව තිබේ. ජලය යම් ප්‍රමාණයකට ලැබුණත් බීජ වී නොමැතිවීම අපට මුහුණ දීමට සිදුවන තවත් ප්‍රශ්නයකි. මෙම පසුබිම තුළ ආහාර හිඟයට මුහුණ දීම පිණිස දැන් සිටම සැලසුම් සකස් කිරීම බලධාරීන්ගේ වගකීමය. විශේෂයෙන් ජලය නොමැතිව වගා කළ හැකි උඳු, මුං, කව්පි වැනි බෝගවලට යොමුවීම මේ මොහොතේ ගතහැකි හොඳම විකල්පයකි.

හැත්තෑව දශකයේදී තෝර පරිප්පු වගා කිරීම කෙරෙහි රටේ විශාල අවධානයක් යොමුව තිබිණි. ජලය නොමැතිව වුව වගාකළ හැකි තෝර පරිප්පු වගාව දැන් අභාවයට ගොසිනි. සියයට සීයක්ම ආනයනය මගින් ජනතා අවශ්‍යතා සපුරන පරිප්පු වෙනුවට ආදේශකයක් ලෙස භාවිත කළ හැකි තෝර පරිප්පු වගාව සම්පූර්ණයෙන්ම අප අතහැර දැමුවේ ආනයනික පරිප්පු වෙත යොමු වෙමිනි. පවතින තත්ත්වය තුළ මෙරට සහල් අවශ්‍යතාව සම්පූර්ණ කිරීම පිණිස විදේශ රටවලින් සහල් ආනයනය කිරීමටද රජයට සිදුව තිබේ.

කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ දත්තවලට අනුව එළඹෙන මාර්තු දක්වා රටට අවශ්‍ය සහල් රටතුළ පවතී. එය සැනසුමකට කරුණක් වුවද ප්‍රශ්න මතුවීමට මූලික හේතුව නිසි සැලැසුම් නොමැතිව දියත් කරන ව්‍යාපෘති බව අපි අවංකව තේරුම්ගත යුතුව ඇත්තෙමු.

ජල අරපිරිමැස්ම

ජලය හැකි තරම් අරපිරිමැස්මෙන් පරිහරණය කිරීම වර්ෂාව නොමැති අවස්ථාවල පමණක් නොව වර්ෂාව පවතින අවස්ථාවලද පුරුද්දක් ලෙස ක්‍රියාත්මක විය යුතුය. ජනතාවගේ ආකල්ප වෙනස්වීම රටකට සාර්ථක ඉදිරි ගමනක් යෑම සඳහා අතිශයින් වැදගත්ය. අනාගත අර්බුද වර්තමානයේදී දැක දීර්ඝ කාලීන සැළසුම් සකස් කිරීම පාලකයන්ගේ වගකීමය. ඊශ්‍රායලය වැනි රටවලට අපට ලැබෙන වර්ෂාපතනයෙන් දහයෙන් පංගුවක් හෝ නොලැබෙයි. ඔවුන් එය අර්බුදයක් කර නොගෙන ප්‍රශ්නයට සාර්ථකව මුහුණ දීමට සමත්ව ඇත. ජල හිඟයක් ඇත්නම් ලැබෙන ජල ප්‍රමාණයෙන් උපරිම ප්‍රයෝජන ලබාගත යුතුය. ඊශ්‍රායලය වැසිකිළි සඳහා භාවිත කරන ජලය පවා පිරිසිදු කර වගාවන්ට ප්‍රයෝජනයට ගනියි. අප සැලසුමකින් තොරව කැලෑ එළිකරමින් කොන්ක්‍රීට් නගර ඉදි කරමින් පරිසරය විනාශ කරමු. අනෙක් පසින් පවතින සම්පත් නාස්ති කරමු. වාර්ෂිකව රටට ලැබෙන වර්ෂාව පසුගිය වසර ගණනාව තුළම අපට ලැබී ඇත. සිදුව තිබෙන්නේ වර්ෂාව ලැබෙන කාල සීමාව හා එහි වේගය වෙනස් වීමයි. සාමාන්‍ය වර්ෂාවක් වැඩි පැය ගාණක් ලැබෙනු වෙනුවට ඉතා කෙටි කාලයක් තුළ ඉහළ වර්ෂාපතනයක් ලැබුණු අවස්ථා බොහෝවිට වාර්තා වෙයි. වාර්ෂාව ප්‍රමාණාත්මකව සමාන වුවත් හිමි වූ ආකාරය අනුව ලැබෙන ප්‍රයෝජනය වෙනස් වෙයි. තද වර්ෂාවක් කෙටි කාලයක් තුළ ඇද වැටුණු විට වැඩි ජල ප්‍රමාණයක් පසට උරා ගැනීම වෙනුවට ඒවා ඇළ, දොළ, ගංගා පවා පිටාර ගැලීම් හරහා මුහුදට ගලා යයි. ගස් කොළන් ප්‍රමාණයද ශීඝ්‍රයෙන් අඩුවීම නිසා මෙම තත්ත්වය තවත් දරුණු වී තිබේ. වර්ෂාවක් දිගු වේලාවක් පුරා පවතින විට ජලය පොළොවට උරා ගැනීමේ ශීඝ්‍රතාව වැඩිය. පොළොවට උරාගන්නා ජලය පසුව ක්‍රමානුකූලව නිදහස් කෙරෙයි. අවශ්‍ය වූ විට ජලය නිදහස් කෙරෙන අතර එමඟින් පොළොවේ තෙතමනය ආරක්ෂා වෙයි. අද කැලෑ එළිකිරීම් මොන තරම් සිදු වේද ?. නීතී තිබුණත් ක්‍රියාත්මක වන්නේ උස් පහත් බේද ඇතුළු කරුණු මුල්කර ගෙනය. ප්‍රතිපත්ති නොමැතිකමේ ස්වභාවය අවබෝධ කර ගැනීමට කැලෑ එළි කිරීම් හා අවිධිමත් ඉදි කිරීම් ප්‍රමාණවත්ය.

‍ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම ලොවම මුහුණ‍ දෙන ප්‍රශ්නයකි. එහිදී බොහෝ විට අවධානය යොමු කෙරෙන්නේ මුහුදු ජල මට්ටම ඉහළ යෑම සම්බන්ධව පමණි. පරිසර උෂ්ණත්වය ඉහළ යෑම වගාවන් සඳහා ඍජුවම බලපායි. මෙයට දශක කිහිපයකට පෙර පැවැති සෙල්සියස් අංශක 25ක් වූ වාර්ෂික මධ්‍ය උෂ්ණත්වය අද ඉහළ ගොසිනි. එම උෂ්ණත්වයට ඔරොත්තු දුන් බීජ ප්‍රභේද අදට ගැලපෙන්නේ නැත. පළිබෝධ ප්‍රශ්නද උෂ්ණත්වයට සාපේක්ෂව ඉහළ යයි. තෝර පරිප්පු වගා කළ සමයේ අනුරාධපුර හා පොළොන්නරුව ප්‍රදේශවල පැවැති මෙම වගාවට මරුකා නමැති පළිබෝධ හානිය ඇතිවිය. උෂ්ණත්වය ඉහළ ප්‍රදේශවල මෙම මරුකා හානිය දක්නට ලැබුණු අතර මහනුවර වැනි ප්‍රදේශවල එය දක්නට නොලැබිණි.

පළිබෝධ හානිය

පරිසර උෂ්ණත්වය ඉහළ යනවිට පළිබෝධ හානියද ඉහළ යන බව පර්යේෂණ මගින් තහවුරු කර තිබේ. මේ රට 100 % ක්ම ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොවන රටක් ලෙස විග්‍රහ කිරීම අසාධාරණ වුවත් දේශපාලන පක්ෂ මාරුවන විට ප්‍රතිපත්ති වෙනස් කරන තත්ත්වයෙන් අප බැහැර විය යුතුව ඇත. ප්‍රශ්නවලට මුහුණ දීමට අප සැළසුම් කරන්නාවූ වේගය දුබල වීම නිසා ප්‍රශ්න වේගයෙන් අප කරා ඇදී එන තත්ත්වයක් නිර්මාණය වී තිබෙන්නේ මෙම පසුබිම තුළය. අශ්වයා ගිය පසු ඉස්තාලය වසා දැමීමෙන් පලක් නොමැති බව රටේ අනාගතය පිළිබඳ සැලසුම් හදන පිරිස් තේරුම් ගත යුතුව තිබෙන සත්‍යයකි.

මෙම ගැටලුව මෙරට සෑම ක්ෂේත්‍රයකම දකින්ට ලැබෙයි. ආහාර ක්ෂේත්‍රයේද මෙම තත්ත්වය පැහැදිලව දක්නට ලැබෙයි. කලක් අප තිරිඟු වෙනුවට සහල් පරිභෝජනයට නැඹුරු වීම පිණිස බලවත් සාකච්ඡාවක නිරත විය. සහල් අනුසාරයෙන් පාන් නිෂ්පාදනය කිරීමට වැඩපිළිවෙළ දියත් කෙරිණි. පෝෂණීය ගුණයෙන් තිරිඟුවලට වඩා සහල් ඉහළ බව මතු කරලීමට මෙහිදී පිරිසක් උත්සාහ කළත් අපිට සහල්වලින් පාන් සකස් කළ නොහැක. පාන් ඇත්නම් එම පාන් කනු වෙනුවට සහල්වලින් පාන් සාදා කෑමේ තේරුමක් නැත. තිරිඟුවල ඇති ග්ලූටන් ප්‍රෝටීනය සහල්වල නොමැත. පාන් පිපීමේදී උපකාරිවන මෙම ප්‍රෝටීනය නොමැති බව දැන සහල්වලින් පාන් නිෂ්පාදනය කිරීමට යෑම ප්‍රායෝගිකය කළ නොහැක. තිරිඟු වැවීමට අවශ්‍ය කාලගුණික තත්ත්වයක් අමෙරිකාව, රුසියාව, කැනඩාව වැනි රටවල තිබේ. ඒ අනුව ඔවුන් තිරිඟු වවද්දී අපි වී වගාව කිරීම වරදක් නැත. බටහිර විරෝධී සංකල්පවල පිහිටා තිරිඟු නිෂ්පාදන ප්‍රතික්ෂේප කිරීම අනුවණ ක්‍රියාවකි.

උතුරේ සිට දකුණ දක්වාම හොඳ වර්ෂාපතනයක් පවතින නවසීලන්තය හා ඔස්ට්‍රේලියාව වැනි රටවල් දියර කිරි නිෂ්පානදයෙන් ඉහළට පැමිණියේ රටේ පවතින පරිසර තත්ත්වයන් නිවැරැදිව හඳුනාගෙන ව්‍යාපෘති දියත් කිරීම නිසාය. එම පරිසර තත්ත්වයන්ට ගැලපෙන එළදෙනුන් මගින් කිරි ලබා ගෙන ඉන් ස්වයංපෝෂිත වූ පසු ඔවුන් කිරි අපනයනයට පෙළඹිණි. අප කොතරම් උත්සාහ කළත් එවැනි තත්ත්වයකට පැමිණිය නොහැකිය. මේ යථාර්ථය අපි තේරුම් නොගැනීම අවාසනාවකි. පර්සියානු එළහරක් මෙරටට ආනයනය කර නුවරඑළියේ තෘණ භූමි ආශ්‍රිතව ගොවිපොළවල් ඇති කළත් තණකොළ ප්‍රමාණවත් නොවීමෙන් දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් තණකොළ නුවරඑළියට ප්‍රවාහනය කරන්නට සිදුවිය. එම වියදමත් සමඟ කිරි ලීටරයක නිෂ්පාදන වියදම ඉහළ යෑමෙන් ව්‍යාපෘතිය අසාර්ථක විය. අපි මුලින්ම කළ හැකි දේ සහ කළ නොහැකි දේ නිවැරදිව තේරුම් ගත යුතුය. වෙනත් රටක් කිරිවලින් ස්වයංපෝෂිත වූ පමණින් අපටද ස්වයංපෝෂිත විය නොහැක. ඒ සඳහා වෙහෙස වී නිකරුණේ ධනය නාස්ති කරනවාට වඩා පිටරටින් ආනයනය කර එම අවශ්‍යතා සපුරා ගැනීම වඩා ප්‍රතිඵලදායකය.

දියර කිරි

කලක් දියර කිරි පානයට අපි පෙළඹුණෙමු. ඒ සඳහා නොයෙක් ප්‍රචාරක කටයුතුද සිදුවිය. කිරිවල 87 % ක් ඇත්තේ ජලයයි. නවසීලන්ත හා ඔස්ට්‍රේලියානු ජාතිකයන් දියර කිරි පානය කර අපට පිටිකිරි එවනවා යැයි සටන් පාඨයක්ද කියවිණි. දියර කිරි ටොන් එකක් මෙරටට ආනයනය කරන විට එහි කිලෝ ග්රෑම් 870 ක් ඇත්තේ ජලයයි. නවසීලන්තයෙන් හෝ ඔස්ට්‍රේලියාවෙන් ජලය ගෙනඒමේ අවශ්‍යතාවක් අපට නැත. කිරිවල අඩංගු කොටස වාෂ්පකර පෝෂණීය කොටස වියළා පිටිකර මෙරටට ආනනයනය කරන අතර මෙය ප්‍රායෝගිකව කළ හැකි හොඳම දෙය බව අප තේරුම් ගත යුතුය. අපට පරිප්පු වැවිය නොහැක. ඉන් අප ස්වංයපෝෂිතවන්නට උත්සහ කිරීම පලක් නැත. පලක් නැති දේට විශාල ධනස්කන්දයක් වියදම් කර පලරහිතව අත් පිසදා ගැනීමට සිදුවූ අවස්ථා මෙරට ජනතාව කොතෙකුත් දැක ඇත. මේ නිසා පාරිසරික තත්ත්වයන්ට ගැලපෙන බෝග වැවීමට රටක් ලෙස අප යොමුවීමෙන් වඩා වැඩි ප්‍රතිලාභ අත්කර ගත හැකිය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානට දෛනිකව ලැබෙන එළවළු අස්වැන්නෙන් 40 % ක් විනාශ වෙයි. රටේ ජනතාවගේ ආහාර අවශ්‍යතාව සපිරීමට නිෂ්පාදනය කළ ආහාර ද්‍රව්‍ය මෙලෙස විනාශ වීම බරපතළ ලෙස අවධානය යොමුකළ යුතු කරුණකි. වර්තමාන වෙළෙඳ පොළ රටාව තුළ නිෂ්පාදකයා හා පාරිභෝගිකයා යන දෙදෙනාම තළා පෙළමින් අතර මැදියෝ අසීමිත ලෙස මුදල් හම්බ කරති. අස්වැන්න විකුණා ගත නොහැකිව ගොවියා පාඩු ලබත්දී පාරිභෝගිකයා මැසිවිලි නගන්නේ බඩු මිල වැඩිවීම සම්බන්ධවයි. නිෂ්පාදකයා හා පාරිභෝගිකයා අතර පවත්නා පරාසය අඩු කිරීම රජයේ වගකීමයි. මෙම පරාසය වැඩි වූ විට අතරමැදියා ඒ තුළට රිංගා අසීමිත ගසා කෑමක් තුළින් මුදල් හම්බ කරයි. සියල්ල රජයට පමණක් තනිව කළ නොහැකිය. ජනතාවද තම සිතුම්, පැතුම් හා ආකල්ප වෙනස් කළ යුතුය. සාම්ප්‍රදායික ආකල්පවල ඔවුන් ගැලී සිටින තුරු රජයටද සංවර්ධන ක්‍රියාවලියක් හෝ නව සංකල්පයක් හඳුන්වා දීම අසීරු වෙයි.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...