විමල්ගේ පාරට්ටුව!

 විමල් වීරවංශ මහතා රටේ ජනප්‍රිය දේශපාලන නායකයෙකි. ඒ පිළිබඳ තර්කයක් නැත. එලෙසම ඔහු වටා ඒකරාශී වූ විශාල පිරිසක් ද සිටිති. ඒ ගැන ද තර්කයක් නැත. එහෙත් මේ කිසිදු සාධකයක් නීතිය ඉදිරියේ විශේෂත්වයට ලක්වන්නේ නැත. ඔහු අපරාධ ක්‍රියාවක් සිදු කර ඇත්නම්; ඊට දඬුවම් ලැබිය යුතුය. ඔහු අමාත්‍යවරයකු ව සිටි කාලය තුළ මහජන මුදල් අවභාවිතයෙහි යොදවා රජයට පාඩු කර ඇතැ’යි පැමිණිලි ගණනාවක් ලැබී තිබිණි. ඒවා විභාගයට ගත් එෆ්. සී. අයි. ඩී. ආයතනය සාක්ෂිද සහිතව අධිකරණය වෙත මේ සිද්ධිය යොමුකර ඇත. විමල් වීරවංශ මහතා රිමාන්ඩ් භාරයට පත් කළ යුතුය යන නියෝගය ලබාදෙන්නේ අධිකරණය මිස රජය නොවේ.

වීරවංශ මහතා අමාත්‍ය ධුරයක කටයුතු කරන්නේ නීතියේ ආධිපත්‍යය නො පැවැති යුගයක යැයි කියන්නට පුළුවන. එකල පැවැති ඒකාධිපති පාලන ක්‍රමයේ හවුල්කාරයකු ලෙස ද ඔහු හඳුන්වන්නට පුළුවන. වෙනත් අමාත්‍යවරුනට නො තිබු බලයක් හා හැකියාවක් ද ඔහුට එකල තිබිණි. මෙබඳු තත්ත්වයක් යටතේ ඔහුගේ නියෝග පිළිපදින්නට හා ඒවා විභාගයකින් තොරව ක්‍රියාත්මක කරන්නට ද නිලධාරීන් බැඳී සිටියේ යැයි කීම වඩා නිවැරදි ය.

වීරවංශ මහතා නිවාස සංවර්ධන හා ඉංජිනේරු සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ද ඔහුගේ ආඥාදායකත්වය හා බලපෑම රටේ වෙනත් ක්ෂේත්‍ර කරා ද පැතිර තිබිණි. කොටින් ම විමල් වීරවංශ මහතා සැලකුම් ලබා තිබුණේ හිටපු ජනාධිපතිවරයාගේම දරුවකු හැටියට යැයි කිව හැකි ය.

ඔහුට එ‍රෙහිව නැඟී ඇති ඍජු චෝදනාව වන්නේ රජයේ වාහන විශාල ප්‍රමාණයක් අවභාවිතයෙහි යෙදවීම සඳහා ක්‍රියා කිරීමය. මේ මඟින් රජයට සිදු වී ඇති පාඩුව රුපියල් කෝටි නමය ඉක්මවා ඇත. නීතිය ඉදිරියේ රජයේ මුදල් රුපියලකින් හෝ අවභාවිත කිරීම බරපතළ වරදකි. ඇතැම් වාහන කුලියට ගත් ඒවා ය. ඒවාට ලක්ෂ ගණනින් මුදල් ගෙවා ඇත. ඒ රජයේ මුදල් ය. ඇතැම් වාහන රාජ්‍ය ආයතන සතු වාහනය. ඒවා රාජකාරි නොවන කටයුතු සඳහා භාවිත කර ඇත. ආයතනවල නිලතල දරන්නේ නැති ඥාතීනට ද රජයේ වාහන ලබාදී තිබේ. ඒවාට රජයේ මුදලින් ම ඉන්ධන සපයා තිබේ‍. තම දේශපාලන පක්ෂයේ හිතවතුනට හා ක්‍රියාකාරිකයන්ට ද වාහන හා ඉන්ධන ලබාදී ඇත. මහජනයාගේ බදු මුදල් මේ අයුරින් හිතුවක්කාරී ලෙස පාවිච්චි කළ හැක්කේ කාටද? එලෙස මහජන මුදල් අවභාවිතයට ඉඩ දෙන්නේ නම්; මේ රටේ නීතිය පවතින්නේ කොතැනක ද?

කරන ලද විමර්ශනවලට අනුව රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව කුලී පදනම මත වාහන 47 ක් ලබාගෙන ඇත. ඒවා භාවිතයෙහි යොදවා ඇත්තේ විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදේශන මත ය. වාහන හතක් අමාත්‍යවරයාගේ පාවිච්චියට ගෙන තිබේ. තව වාහන පහක් විමල් වීරවංශ මහතාගේ ඥාතීන්ගේ පාවිච්චියට ලබා දී ඇත. ඉතිරි වාහන සියල්ල භාවිත වී ඇත්තේ ජාතික නිදහස් පෙරමුණේ කටයුතු සඳහා ය . මේ වාහන ‘ජනසෙත’ නම් සංවර්ධන ව්‍යාපෘතියට අනුයුක්තව ලබාගෙන ඇතත්; ව්‍යාපෘතියේ කිසිදු රාජකාරි කටයුත්තක් සඳහා අදාළ වාහන යොදාගෙන නැති බවද විමර්ශනවලින් පෙනී ගොස් තිබේ. මේ සිද්ධියෙන් වරදවල් කිහිපයක් මතුවෙයි. එක සංවර්ධන ව්‍යාපෘතියක නම භාවිත කරමින් විශාල වංචාවක් සිදුකිරීම ය. දෙක රාජ්‍ය සම්පත් අයථා ලෙස භාවිත කිරීම ය. තුන දේශපාලන කටයුතු සඳහා රාජ්‍ය සම්ත් යොදා ගැනීමය. හතර ඥාති සංග්‍රහ පැවැත්වීම ය. හරි නම් මේ එක එක වරදට වෙන - වෙන ම නඩු දැමිය යුතු ය.

විමල් වීරවංශ මහතා රිමාන්ඩ් භාරයට ගැනීම සම්බන්ධයෙන් විරෝධතා ද පවතී. එය දේශපාලන පළිගැනීමක් ලෙස සලකන අය ද සිටිති. ඒ අයගේ තර්කය සලකා බැලුවහොත් ගිය ආණ්ඩුවේ දූෂිතයන් කිසිවකුට දඬුවම් කිරීමට ලැබෙන්නේ නැත. එපමණක් නොව; නීතිය ක්‍රියාත්මක කිරීමට ද එමඟින් බාධාවක් එල්ල වෙයි. සාමාන්‍ය දේශපාලකයන්ට පමණක් නොව; රටවල් පාලනය කළ සුපිරි නායකයන්ට ද නීතිය ඉදිරියේ දෙකට නැමී දඬුවම් විඳීමට සිදුවූ බව දේශපාලන ඉතිහාසය විමර්ශනය කරන විට පැහැදිලි වේ. මෑත කාලීන අත්දැකීම් ගතහොත් ඊජිප්තුව, පිලිපීනය හා අප්‍රිකානු රටවල් ගණනාවක් ඊට නිදසුන් ලෙස දැක්විය හැකි ය. නීතිය හමුවේදී මේ සුපිරි නායකයන් තමන්ගේ දේශපාලන වැරැදි පාපෝච්චාරණය කර තිබේ. එම අත්දැකීම්වලින් පෙනී යන්නේ බලය ඇති වකවානුව තුළ බොහෝ නායකයන් යුක්තිය හා නීතිය ගැන කිසිදු සැලැකිල්ලක් නොදක්වා ක්‍රියාකර ඇති බවය. එබඳු නායකයන් දේශපාලන පක්ෂයකට පමණක් නොව සමස්ත රාජ්‍යයටම බලවත් අයුක්තියක් සිදු කර ඇති බව පැහැදිලිය.

විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගැනීම හා රිමාන්ඩ් භාරයේ රඳවා ගැනීම සම්බන්ධයෙන් තවත් විවේචන ද පවතී. එක් විවේචනයකින් කියැවෙන්නේ සිද්ධියට අදාළ ආයතනයේ ඒ වනවිට සභාපතිවරයා වශයෙන් ක්‍රියා කළ පුද්ගලයාද රිමාන්ඩ් භාරයට ගත යුතු බවය. වාහන සිද්ධියට අදාළ ප්‍රධාන නිලධරයා රිමාන්ඩ් භාරයට ගෙන ඇත. ඔහු ගැන කතා කරන කෙනකු ද නැත. සභාප තිවරයකු ආයතනයක සේවය කරනුයේ රජයේ නියෝජිතයා හැටියටය. ආයතනවල කටයුතු භාර විධායක නිලධාරීහු වෙන ම සිටිති. ඒ අනුව හිටපු සභාපතිවරයා රිමාන්ඩ් භාරයට ගත යුතු ද යන්න තීරණය කළ යුත්තේ නීතිය මිස මහජනයා නොවේ. දේශපාලන පක්ෂද නොවේ. තවත් විවේචනයකින් කියැවෙන්නේ පාඩු ලබමින් පැවැති ඉංජිනේරු සංස්ථාව විමල් වීරවංශ අමාත්‍යවරයා යටතේ ලාභ ලබන තත්ත්වයට පත් වූ බවය. එය හොඳ ප්‍රයත්නයකි. එතුමා වාහන අවභාවිත නොකළේ නම් මේ ලාභය තවදුරටත් ඉහළ යනු ඇත.

ලෝකයේ බොහෝ රටවල් දුර්වල කරන ප්‍රධාන සාධක ලෙස දූෂණ හා වංචා පවතී. එලෙසම ඊට සමාන වටිනාකමකින් යුතුව නාස්තිය ද පවතී. මේවා නිවැරැදි කරනතාක් අපට ඉදිරියට යෑම දුෂ්කරය. අවම ලෙස රටේ ඉහළ ම පදවි දරන දේශපාලකයන් හෝ හොරකමෙන් හා වංචාවෙන් දුරස් විය යුතුය. දේශප්‍රේමය ගැන කතා කරන හා රටේ උරුමය ගැන බෙරිහන් දෙන විමල් වීරවංශ වැනි තැනැත්තකු මෙලෙස ජාතික ධනය නාස්ති කිරීම කිසිසේත් ම අනුමත කළ නොහැකිය. මේ සිද්ධියෙන් පෙනී යන්නේ කියන තරම් ශුද්ධවන්තයකු වීමට විමල් වීරවංශ මහතාට බැරි බව ය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...