රවිරාජ් නඩුව යළි විභාගයට ගන්න නීතිපතිවරයාගෙන් අභියාචනයක් | දිනමිණ

රවිරාජ් නඩුව යළි විභාගයට ගන්න නීතිපතිවරයාගෙන් අභියාචනයක්

කුමුදු හෙට්ටිආරච්චි

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා හා ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ඝාතනය කිරීම සම්බන්ධ නඩුව යළි විභාගයට ගන්නා ලෙස ඉල්ලා නීතිපතිවරයා ඊයේ (11) අභියාචනයක් ගොනු කෙළේය.

නඩුව විභාගයට ගත් අවසන් දින විශේෂ ජූරි සභාව මධ්‍යම රාත්‍රියද ඉක්මවා ලබාදුන් තීන්දුවෙන් සාධාරණයක් හා යුක්තියක් බලාපොරොත්තු විය නොහැකි බව හා විනිසුරුවරයාගේ සම්පිණ්ඩන දේශනයෙන් නෛතික සංකල්ප පිළිබඳ ජුරි සභිකයන් දැනුවත් කිරීම නිසි ආකාරයට සිදු නොකිරීම ඇතුළු විශේෂිත කරුණු රැසක් පාදක කර ගනිමින් නීතිපතිවරයා මේ අභියාචනය ගොනු කර ඇත.

අභියාචනාධිකරණය වෙත යොමු කිරිම සඳහා මේ අභියාචනය නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණ රෙජිස්ටාර්වරිය හමුවේ ගොනු කරන ලදී.

නඩුව විභාගයට ගත් අවසන් දින අවසාන අදියරේදී ජූරිය සිය පළමු තීන්දුව අධිකරණය හමුවේ පෙනී නොසිටි විත්තිකරුවන් දෙදෙනා නොසලකා අධිකරණය හමුවේ පෙනී සිටි විත්තිකරුවන් වෙනුවෙන් පමණක් ප්‍රකාශයට පත් කිරීම තුළින් විශේෂ ජූරි සභිකයන් මෙම නඩුව පිළිබඳ නීත්‍යානුකූල අපැහැදිලිතාවකින් සිටි බවට පැහැදිලි වන්නේ යැයි නීතිපතිවරයා සිය අභියාචනයෙන් සඳහන් කර ඇත.

විනිසුරුවරයා විශේෂ ජූරි සභිකයන් හමුවේ සිදු කළ සම්පිණ්ඩන දේශනයේ අඩුපාඩු රැසක් පැවැති බවත් විත්තිකරුවනට එරෙහිව වූ කුමන්ත්‍රණය නමැති වරද පිළිබඳ ඇති නෛතික තත්ත්වය ගැන එම සාක්කි සම්පිණ්ඩනය මඟින් නිසි දැනුවත් කිරීමක් සිදු නොකළ බවද නීතිපතිවරයා සිය අභියාචනයේ සඳහන් කර ඇත.

සාක්කිකරුවන්ගේ සාක්කි ඇගයීමට ලක් කළ යුත්තේ කෙසේද? සාක්කිකරු යම් වැරැදිවලට සම්බන්ධ වූයෙක් නම් ඔහුගේ සාක්කි වල විශ්වාසනීයත්වය මනින ආකාරය පිළිබඳ විනිසුරුවරයා විසින් විශේෂ ජූරි සභිකයන් හට නිසි පැහැදිලි කිරීමක් සිදු කර නොමැති බවද නීතිපතිවරයා ගොනු කර අභියාචනයේ සඳහන් කර ඇත.

එවැනි දෝෂ සහිත තත්ත්වයන් මත විශේෂ ජූරිය විසින් විත්තිකරුවන් සියලු චෝදනාවලින් නිවැරැදිකරුවන් කරමින් ලබාදුන් තීන්දුවේ සාධාරණීයත්වය හා යුක්තිසහගත බව පිළිබඳ ගැටලු පවතින බැවින් මේ නඩුව නැවත විභාගයට ගැනීමට නියෝගයක් කරන ලෙස නීතිපතිවරයා සිය අභියාචනය මඟින් ඉල්ලා ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා හා ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් සැරයන් ලක්ෂ්මන් ලොකුවැල්ල මහතා වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු අධිචෝදනා පහක් යටතේ විත්තිකරුවන් 06 දෙනකුට එරෙහිව මේ නඩුව පවරා තිබුණි.

මිය ගිය විත්තිකරු හැර සෙසු විත්තිකරුවන් පස් දෙනා අදාළ සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරමින් නඩුව විභාගයට ගත් විශේෂ ජූරි සභාව පසුගිය දෙසැම්බර් 24 වැනිදා සිය තීන්දුව ප්‍රකාශයට පත්කරන ලදී.

නඩුවේ පළමු විත්තිකරු වූ පහළසාමි සුරේෂ් නොහොත් සාමි මිය ගිය බවට කරුණු තහවුරු කර ගැනීමෙන් පසු ඔහු නොමැතිව සෙසු විත්තිකරුවනට එරෙහිව මේ නඩුව විභාගයට ගැනුණි.

අධිකරණය හමුවේ පෙනී නොසිටි සිවකාන්තන් විවේකානන්දන් හා ‍සේවියන් රොයිස්ටන් මුසේන් හා නාවික හමුදා බුද්ධි අංශයේ හිටපු නිලධාරීන් වන අධිකරණය හමුවේ නඩු විභාගයට පෙනී සිටි ප්‍රසාද් චන්දන කුමාර, ගාමිණී සෙනෙවිරත්න හා ප්‍රදීප් චාමින්ද යන විත්තිකරුවන් පස් දෙනා සියලු චෝදනාවන්ට නිවැරැදිකරුවන් බවට නඩුව විභාගයට ගත් විශේෂ ජූරි සභාව විසින් තීරණය කරන ලදී.

ඒ අනුව එම විත්තිකරුවන් පස් දෙනා නිදොස් කොට නිදහස් කරන බව නඩු විභාගය සිදු කළ කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා පසුගිය දෙසැම්බර් 24 වැනිදා නියෝග කළේය.

නව අදහස දක්වන්න