කොළඹ වරායේ දැවැන්ත සංවර්ධනයක් | දිනමිණ

කොළඹ වරායේ දැවැන්ත සංවර්ධනයක්

 2015 වසර සමඟ සැසඳීමේදී 28%ක බහාලූම් හැසිරවීමේ වර්ධනයක් ලබාගනිමින් කොළඹ ජාත්‍යන්තර බහාලූම් පර්යන්තය (CICT ) 2016 වසරේ දෙසැම්බර් 31 වනදායින් අවසන් වන වසර තුළදී බහාලූම් මිලියන 02 ක් හැසිරවීමට සමත්ව තිබේ.

සිය බහාලුම් හැසිරවීමේ ධාරිතාව වැඩ් කරගැනීම මඟින් මෙම තත්වය උදාකරගෙන ඇති බව වරාය කළමණාකාරීත්වය සඳහන් කරයි.

මෙම දායකත්වය හේතුවෙන් කොළඹ ජාත්‍යන්තර බහාලූම් පර්යන්තය මෙහෙයුම් කටයුතු ආරම්භ කළ අවස්ථාවේ සිට පසුගිය වසර තුන තුළදී කොළඹ වරාය පිට පිටම වර්ධනයක් ලබාගැනීමට සමත්වූ බව සමාගම පවසයි.

මෙම සංධිස්ථානාත්මක වර්ධනය පිළිබඳව අදහස් දක්වමින් සමාගම පවසන්නේ කොළඹ දකුණු බහාලූම් පර්යන්තයට පමණක් හැසිරවීමේ හැකියාව තිබෙන බහාලූම් ප‍්‍රවාහනයේ අති විශාල නෞකා (ULCC) සහ සුවිශාල නෞකා (VLCC) 2016 වසරේ පර්යන්තය හැසිරවූ මුළු පරිමාවෙන් 70%ක් නියෝජනය කළ බවයි.

2016 වසරේදී සමස්ත කොළඹ වරාය ලබා ඇතැයි ඇස්තමේන්තු කරන 11%ක වර්ධනය සඳහා කොළඹ ජාත්‍යන්තර බහාලූම් පර්යන්තය මගින් සැලකිය යුතු දායකත්වයක් ලබාදී තිබෙන බව සමාගම පවසයි. දැවැන්ත පරිමාණයේ නෞකා වලින් ප්‍රවාහනය කරන බහාලූම් හැසිරවීමේ හැකියාව තිබෙන දකුණු ආසියාවේ පළමු සහ එකම ගැඹුරු මුහුදු පර්යන්තය වන්නේ CICT පර්යන්තයයි.

‘‘කොළඹ වරාය විසින් ලබාගෙන තිබෙන සමස්ත වර්ධනයට කොළඹ ජාත්‍යන්තර බහාලූම් පර්යන්තයේ සාර්ථකත්වය ප්‍රධාන සාධකයක් වී තිබෙනවා’’ යනුවෙන් CICT සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී, රේ රෙන් මහතා පැවසීය. ‘‘2016 වසරේදී CICT පර්යන්තය විසින් කොළඹ වරායට කැඳවාගත් අලූත් නෞකා පිළිබඳව අප අතිශය සතුටු වෙනවා. ඒ වගේම කොළඹ වරායේ සමස්ත වර්ධනය වෙනුවෙන් අප විසින් ලබාදුන් දායකත්වය පිළිබඳව ආඩම්බර වෙනවා.’’

කොළඹ ජාත්‍යන්තර බහාලූම් පර්යන්තයේ සාමාන්‍යාධිකාරී, වාණිජ සහ අලෙවිකරණ තිස්ස වික්‍රමසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය. ‘‘බහාලූම් මිලියන 02 ක මෙම ඓතිහාසික සංධිස්ථානයට පැමිණීමට අපගේ මව් සමාගම වන චයිනා මර්චන්ට්ස් පෝර්ට් හෝල්ඩින්ග්ස් සමාගමෙන් අතිවිශාල සහයෝගයක් ලැබුණු බව අනිවාර්යෙන්ම සඳහන් කළ යුතුයි. කොළඹ වරායට නව ප්‍රතිඅපනයන ව්‍යාපාරික කටයුතු කැඳවා ගැනීමට ප්‍රධානතම හේතුව වී තිබෙන්නේ චයිනා මර්චන්ට්ස් පෝර්ට් හෝල්ඩින්ග්ස් සමාගමේ ගෝලීය ජාලයට ප්‍රවේශවීමේ හැකියාව ලැබී තිබීමයි. නව සේවාවන් සහ නව නාවික සමාගම් හඳුන්වා දෙමින් ඉතාමත් සංවේදී සහ අවිනිශ්චිත ප්‍රතිඅපනයන භාණ්ඩ වෙළඳපොළ තුළ ජාත්‍යන්තරව තරග කිරීමට අවස්ථාව කොළඹ වරායට CICT පර්යන්තය විසින් උදාකර දී තිබෙනවා.’’

කොළඹ ජාත්‍යන්තර බහාලූම් පර්යන්තය (CICT) බහාලූම් ප්‍රවාහනයේ අති විශාල නෞකා (ULCC) සහ සුවිශාල නෞකා (VLCC) සමග කටයුතු කරමින් මෙහෙයුම් කටයුතු ආරම්භ කළ පළමු සම්පූර්ණ වර්ෂය වූ 2015 වසරේදී බහාලූම් මිලියන 1.561 හැසිරවූ අතර එහිදී පර්යන්තය හැසිරවූ සමස්ත බහාලූම් වලින් 67% ක්ම මෙම නෞකා කාණ්ඩයට අයත්වීම කැපී පෙනේ. මෙවැනි සුවිශාල නෞකා කොළඹ වරායට පැමිණීම වැඩිවීම හමුවේ අනිකුත් බහාලූම් පර්යන්ත වලට එය ධනාත්මකව බලපාන අතර දිනෙන් දිනම කොළඹ ප්‍රධාන ප්‍රති අපනයන මධ්‍යස්ථානයක් බවට පත්වීමට මෙමගින් සහයෝගය හිමිවේ.

පසුගිය වසර දෙක තුළදී කොළඹ ජාත්‍යන්තර බහාලූම් පර්යන්තය විසින් ආසියානු-යුරෝපීය නාවික මාර්ගයන්හි ගමන් කරන සුවිශාල නෞකා වලින් සමහරක් කොළඹ වරායට ගෙන්වා ගැනීමට සමත්විය. මේවා අතර බහාලූම් 19,224 ක් රැගෙන යා හැකි ලෝකයේ දැවැන්තම බහාලූම් නෞකාව ලෙසින් සැලකෙන MSC Maya, බහාලූම් 18,300 ක් රැගෙන යා හැකි MV Mogens Maersk, බහාලූම් 16,652 ක් රැගෙන යා හැකි MSC New York, බහාලූම් 16,020 ක් රැගෙන යා හැකි CMA CGM Marco Polo, බහාලූම් 14,000 කට වැඩි ප්‍රමාණයක් රැගෙන යා හැකි YML YM Wondrous, Edith Maersk සහ EMC Thalassa Hellas යන නෞකා ඇත. මීට අමතරව, මෙම නෞකාවල සහෝදර නෞකාවන් මේ වනවිට කොළඹ ජාත්‍යන්තර බහාලූම් පර්යන්තය (CICT) වෙත නිරන්තරයෙන් පැමිණෙමින් තිබේ.

 

නව අදහස දක්වන්න