කුහක විරෝධතා

 දැන් තිබෙන්නේ හම්බන්තොට ගැටුම් ගැන පසුවිපරම් විවාදයකි. ආණ්ඩුව කියන්නේ සංවර්ධනය කඩාකප්පල් කිරීමට විපක්ෂය මැරකම් කළ බවයි. විපක්ෂය කියන්නේ ආණ්ඩුව මහජනයාට මැර ප්‍රහාර එල්ල කළ බවයි. කෙසේ වෙතත් ජනමාධ්‍ය මඟින් මහජනයා බොහෝ දේ දුටු නිසා මැරයන් කවුද? ගුටිකෑවේ කවුද? යන්න බොහෝ දෙනාට වැටහී ඇතුවාට සැකයක් නැත. එසේ වුවද මෙතන ක්‍රියාත්මක වන්නේ කරුණු විකෘති කිරීමේ දේශපාලනයකි. එම මුළු හැසිරීම තුළම එක්තරා කුහක දේශපාලනයක් ඇත. එය මතුපිටින් දැකීම පමණක් සෑහෙන්නේ නැත. මෙබඳු ක්‍රියාවල හරය තේරුම් ගත යුත්තේ එය රටේ අනාගතයට කරන බලපෑම හේතුවෙනි.

රටට කර්මාන්ත ගෙන්වාගෙන තරුණයන්ට රැකියා දීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ පොරොන්දුවකි. එය දැන් මහා පරිමාණයෙන් ආරම්භ කරන්නට උත්සාහ දරන්නේ හම්බන්තොට ප්‍රදේශයෙනි. දැන් සුදු අලින් වී ඇති හම්බන්තොට වරාය හා මත්තල ගුවන්තොට ගොඩගන්න හදන්නේද එම සංවර්ධනය තුලිනි. එය කරන්න පුළුවන් චීනයටය. අවශ්‍යතාව ඇත්තේද එරටටය. ඉතින් එයම යොදා ගනිමින් හම්බන්තොට සංවර්ධනය ආණ්ඩුවේ උපාය මාර්ගයයි.

කර්මාන්ත ඇරඹීමට ඉඩම් අවශ්‍යය. විශාල වශයෙන් කර්මාන්ත ඇරඹීමට ඉඩම් වැඩි ප්‍රමාණයක් අවශ්‍යය. ආණ්ඩුව උත්සාහ කළේ හම්බන්තොට, මාතර, මොනරාගල, ගාල්ල දිස්ත්‍රික්කවල මුඩු ඉඩම් එයට යොදා ගන්නටය. විපක්ෂය කීවේ මහජනයාගේ ඉඩම් ගන්න යනවාය කියාය. එසේ කියා තමන්ගේ අනුගාමිකයන් පිරිසක් උද්ඝෝෂණවලට යොමු කළේ ජනතා උද්ඝෝෂණ කියා පෙන්වන්නටය. එසේ වූවද ඇත්තටම ජනතාව සිටියේ මෙම පිරිස සමඟ නොවන බව ගැටුම්වලදී පෙනී ගියේය.

හම්බන්තොටට කර්මාන්ත එපා නම් පොළොන්නරුවට ගෙන යන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද කීවේ මෙම කර්මාන්ත වෙනත් ප්‍රදේශවලට ගෙන යා හැකි බවයි. තරුණ නාමල් රාජපක්ෂ අමුතුම කතාවක් කළ බවද වාර්තා විය. එය නම් හම්බන්තොටට කර්මාන්ත ගේන්න. ඉඩම් වෙනත් පළාත්වලින් දෙන්න කියාය. ඒ කියන්නේ හම්බන්තොට කර්මාන්ත ශාලා ඉදිකළ යුත්තේ අහසේය.

අතේ පැළවෙන බොරු

දැන් ඒකාබද්ධ විපක්ෂය තවත් කතා කියන්නට පටන්ගෙන ඇත. එකක් නම් මේ එන කර්මාන්තවලින් පරිසර විනාශයක් වන බවයි. හම්බන්තොටට එන තෙල් පිරිපහදුව හා වානේ කර්මාන්ත ශාලාව නිසා බණ්ඩාරවෙල වැනි ප්‍රදේශ වල දක්වා පරිසරය විනාශ වන බව කියා තිබුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාය. සපුගස්කන්ද පිරිපහදුවෙන් හා ඔරුවල වානේ කම්හලින් එම පරිසර විනාශය නොවන්නේ ඇයිද කියා ඒ මහතා කියා නැත. හම්බන්තොට කාර්මිකරණයට එරෙහිව විපක්ෂය මුලින් කී බොරු අතේ පත්තුවනවිට දැන් වෙන වෙන කතා කියන බව පෙනෙන්නට තිබේ. තිබෙන්නේ එකම පොදු දෙයකි. එනම් මෙම සංවර්ධනය නවතා ගැනීමේ වුවමනාවයි. තේරුම් ගත යුතු ප්‍රධාන කාරණය එයයි.

ජනතා විමුක්ති පෙරමුණ ද මෙයට විරුද්ධය. ඔවුනට තිබෙන්නේ වෙනත් ප්‍රශ්නයකි. එනම් මෙය ජාතියේ ස්වාධිපත්‍යයට ප්‍රශ්නයක් වේද යන කාරණයයි. ජනතා විමුක්ති පෙරමුණ සංවර්ධනය පිළිබඳව වෙනම දෘෂ්ටියකින් බලන පක්ෂයකි. සාම්ප්‍රදායිකව ඔවුන් සිටින්නේ සංවෘත්ත වූ ආර්ථිකයකට පක්ෂවය. විදේශ ආයෝජන අවශ්‍ය බව පිළිගන්නේ මෑතකදීය. ඔවුන්ගේ චින්තනයේ තියෙන්නේ විදේශීය සෑමදේටම විරුද්ධවීමේ ආකල්පයකි. අපගේ දේශීය වෙළෙඳ පොළ පදනම් කරගෙන ක්‍රියාත්මක කරන සංවර්ධනයක් මඟින් ලෝක වෙළෙඳ පොළට භාණ්ඩ නිපදවීම ගැන ඔවුහු කතා කරති. මේ වනවිට එම කතා තුළින් ඒකාග්‍ර දෘෂ්ටියක්ද හඳුනාගැනීම අපහසුය.

කෙසේ වෙතත් මේ සියලු විරෝධතා පිළිබඳව හෙළිදරව් වන කාරණයක් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු සාමාජිකයකු සතිඅන්ත පුවත්පතකට හා අන්තර්ජාලයට ලියූ ලිපියක සඳහන්ව තිබිණි. එහි සඳහන් වූයේ 2002 – 2004 කා‍ලයේ එම පක්ෂයේ අභ්‍යන්තරයේ සාකච්ඡා වූ කාරණයකි. එනම් එකල රනිල් ආරම්භ කර තිබූ ආර්ථික වැඩපිළිවෙළට ඉදිරියට යන්නට ඉඩ දුන්නොත් වමට යන එන මං නැතිවන බවට පක්ෂයේ නිල නොවන නායකයා ලෙස සිටි කුමාර් ගුණරත්නම් කියූ කතාවකි. එම ජවිපෙ සාමාජිකයා හෙළිදරව් කොට ඇත්තේ අගමැති රනිල්ගේ ආර්ථික වැඩපිළිවෙළ ක්‍රියාත්මක වීමට පෙර ආණ්ඩුව පෙරළා දැමීමට ජවිපෙ තීරණය කළ බවයි. 2004 ආණ්ඩු පෙරළියේ පසුපස තිබුණේ මෙම වුවමනාව බව එයින් තේරුම්ගත හැකිය.

විරෝධයට සැබෑ හේතුව

මෙයින් තේරුම් යන්නේ කුමක්ද? එදා ජවිපෙය අගමැති රනිල්ගේ ආණ්ඩුව පෙරළන්නේ එය රටට අහිතකර නිසා නොවේ. ඔවුන්ට අහිතකර නිසාය. රනිල්ගේ වැඩපිළිවෙළ ක්‍රියාවට නැගුණහොත් රට සංවර්ධනය වීමෙන් එම පාලනය තහවුරු වන නිසාය. දුප්පත්කම නැතිවන නිසාය. ජනතාවට තිබෙන පීඩා අවම වන නිසාය. එවිට වමට යන එන මං නැති වෙයි. ආණ්ඩුව පෙරළීමේ වුවමනාව එම විනාශයෙන් තමන්ගේ පක්ෂය බේරා ගැනීමයි.

මෙම කරුණ මෑතකදී හෙළිදරව් කළේ ජවිපෙ හිටපු සාමාජිකයකු වූවද බලය සඳහා පොර වදින බොහෝ දේශපාලන පක්ෂවලට මෙම චින්තනය පොදු බව පෙනෙන්නට ඇත. අප බොහෝදෙනකු ආභාෂය ලබා ඇති වාමාංශික දේශපාලනය තුළ මෙම චින්තනය ඇතැම් විට සලකන්නේ ප්‍රබල න්‍යායක් වශයෙනි.

ශ්‍රී ලංකාව කලක් ශක්තිමත් වාමාංශික ව්‍යාපාරයක් තිබූ රටකි. එමෙන්ම කැරලි ගණනාවක් ඇති වූ රටකි. එම වාමාංශික චින්තනයේ හා කැරලිකාරීන්ගේ මතවාද රටේ ඉදිරි ගමනට කළ හා කරන බලපෑම තවමත් අතිවිශාල බව පෙනෙන්නට තිබේ.

වාමාංශිකයන් ගු‍රුකොට ගන්නා මාක්ස්වාදී දර්ශනය අනුව ධනේශ්වර ක්‍රමය වරින්වර අර්බුදයට ලක්වෙයි. එයින් එක් අවස්ථාවක මෙම ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බවට පත්වෙයි. මාක්ස්ට අනුව නම් එය සිදුවන්නේ ධනේශ්වර සංවර්ධනයේ උපරිම අවස්ථාවේදීය. මහජන නැගිටීම් ඇතිවන්නේ, විප්ලව ඇතිවන්නේ සමාජ ක්‍රමය වෙනස් කරන්නට හැකිවන්නේ එවිටය.

එලෙස කාල් මාක්ස් එදා දුටු ධනේශ්වර ක්‍රමය අද බොහෝ සේ වෙනස්ව ඇතත් නිර්මාණාත්මකව නොසිතන මාක්ස්වාදීන් හා වාමාංශිකයන් අද හෙට එන අර්බුදයක් හා විප්ලවයක් ගැන බලා සිටිති. එවැනි අර්බුදයක් නොපැමිණි විට එය ඉදිරියේදී එන බව කියා සිත හදා ගනිති. ප්‍රශ්නය මතුවන්නේ කාලයක් තිස්සේ එලෙසම ක්‍රමය පවතින විටය.

පසුකාලීනව ඇතැම් විප්ලවවාදී කණ්ඩායම් අලුත් ක්‍රමවේද ගැන කතා කරන්නට වූහ. ධනපති ආර්ථික අර්බුදය බලෙන් ඇතිකිරීම එබඳු එක් ක්‍රමවේදයකි. එය කරන්නේ එක්කෝ වැඩ වර්ජන, හර්තාල් මගින් ආර්ථිකය වැට්ටවීමෙනි. එසේ නැතහොත් ආර්ථික මර්මස්ථානවලට ප්‍රහාර එල්ල කිරීමෙනි. ලෝකයේ බොහෝ රටවල වාමාංශික ව්‍යාපාර මෙබඳු ක්‍රියාමාර්ග ක්‍රියාවට නගා ඇත. එසේ වූවද එබඳු ව්‍යාපාරවලට අවසානයේ අත්වූ ඉරණම ගැන අමුතුවෙන් කිව යුතු නැත. ඔවුන්ට හැකිවූයේ එම රටවල සංවර්ධන ක්‍රියාවලිය යම් කලෙකට අඩාළ කිරීමට පමණකි. ඇතැම්විට සිදුවූයේ සංවර්ධනය අඩාළ කරන මෙම සංවිධානවලට එරෙහිව ජනමතය ගොඩනැගීමයි.

සංවර්ධනයට අඩ තැබීම

ශ්‍රී ලංකාවේදී එල්.ටී.ටී.ඊ.ය ද මෙම ක්‍රමය අත්හදා බැලූ බව පෙනෙන්නට තිබිණි. මහ බැංකුව පිටකොටුව වැනි ස්ථානවලට ප්‍රහාර එල්ල කළේ ආර්ථිකය වට්ටන්නටය. එයින් මහජන කැළඹීම් ඇතිවීමද ඔවුන් බලාපොරොත්තු වූවා විය හැකිය.

රුසියාවේ ඔක්තෝබර් විප්ලවයෙන් පසුවද ධනපති ක්‍රමය විනාශ කිරීමේ සටන් පාඨය යටතේ මෙබඳු ක්‍රියා සිදුවූ බවට චෝදනා ඇත. ජර්මනියේ මාක්ස්වාදී න්‍යායාචාර්ය කාල් කෞට්ස්කි කීවේ එයින් නිෂ්පාදනය විනාශ වනවා මිස ධනපති ක්‍රමය විනාශ නොවන බවයි. මෙම වාමාංශික මතවාදය තුළ තවත් ලක්ෂණයක්ද ඇත. එනම් සංවර්ධන විරෝධී ආකල්පයයි. විශේෂයෙන්ම පෞද්ගලික අංශය යොදාගෙන කරන සංවර්ධනය ගැන ‍මොවුන්ගේ ඇත්තේ විරෝධයකි. එයට කියන්නේ සූරාකෑම කියාය.

ඔවුන්ට අනුව එය මහා අපරාධයකි. නැවැත්විය යුත්තකි. වාමාංශිකයන් එලෙස සූරාකෑම නවත්වන්නට හදනවිට අපේ තරුණයෝ තම ශ්‍රමයට හොඳ සූරාකන්නන් සොයා කොරියාවට හා මැදපෙරදිගට යති. ඉතාලියට හෝ ඕස්ට්‍රේලියාවට පැනගන්න හදන්නේ ජීවිතද අවදානමට ලක්කර ගනිමිනි. මෙම තරුණයන් අත්දැකීමෙන් දන්නා කාරණය නම් තමන්ට හොඳ ජීවිතයක් ලැබෙන්නේ විදේශීය ධනපතියන් තම ශ්‍රමය සූරා කා එයට හොඳ වැටුපක් ගෙවූ විට බවයි. වාමාංශිකයන්ගේ ධනපති විරෝධය මෙබඳු තරුණයන්ට දැනෙන්නේ විකාරයක් වශයෙන් බවට සැක නැත.

ධනපති විරෝධය ලෙස ප්‍රකාශයට පත්කරන සංවර්ධන විරෝධයට ප්‍රතිචාර නැති විට ඇතැම් වාමාංශිකයන් ඊළඟට යොදාගත් ආයුධයක් වූයේ පරිසරවාදයයි. හිටපු වාමාංශිකයන් පරිසරවාදීන් ලෙස පෙනී සිටිමින් අන්තවාදී ලෙස හැසිරෙමින් සංවර්ධන ක්‍රියාවලියට විරුද්ධ වන ආකාරයක් දැකිය හැකිය. එයද මෙම මතවාදයේ තවත් පැත්තකි.

කණ්ඩලමට කී කතා

පසුගිය කාලයේ අපට මෙවැනි විරෝධතා බොහෝමයක් දකින්නට ලැබිණි. මහවැලි ව්‍යාපාරය හදද්දී කීවේ කඳුරට මහා පරිමාණයෙන් නාය යන්නට ඉඩ ඇති බවයි. ගල්අඟුරු බලාගාර විරෝධී ව්‍යාපාරය නිසා නොරොච්චෝලේ ඉදිකිරීම් දශක දෙකක පමණ කාලයක් ප්‍රමාද විය. අන්තිමට අපට පිහිටවූයේ එම බලාගාරයයි. කණ්ඩලම හෝටලය හැදීමටද විශාල විරෝධයක් ක්‍රියාත්මක විය. දැන් අපට පරිසරයේ සුන්දරත්වය විඳ ගැනීමට යන්න තිබෙන එක ස්ථානයත් වන්නේ කණ්ඩලමයි.

මෙලෙස සංවර්ධනයට එරෙහිව පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ ව්‍යාපාර නිමක් නැත. එම හැම විරෝධතාවකින්ම සිදුවූයේ රටේ සංවර්ධනය ප්‍රමාද වීමයි. ඇතැම්විට දශක ගණනක් නැතහොත් වසර ගණනක් ආපස්සට යාමයි. මෙබඳු ව්‍යාපෘති ගැන තීරණ ගැනීම සතියකින් හෝ දවසකින් ප්‍රමාද වූවද එය රටට අහිමි වන සම්පතක් වන බව තේරුම්ගත යුතුව ඇත.

හම්බන්තොට විරෝධය ද ක්‍රියාත්මක වන්නේ මෙබඳු විවිධ මතවාද හා යටි අරමුණු හරහාය. මෙලෙස විරුද්ධ වන්නේ මහජනයා නොව සංවිධානාත්මක දේශපාලන කණ්ඩායමකි. මේවාට මහජන උද්ඝෝෂණ යැයි කිව නොහැකිය. මහජනයා යන්නට දේශපාලන අරුතක් ඇත. මහජන අරගල සිදුවන්නේ රටේ ඉදිරිගමන වෙනුවෙනි. සංවර්ධනය වෙනුවෙනි. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙනි. දූෂණ පිටුදැකීම වෙනුවෙනි. එසේ නොමැතිව රටේ සංවර්ධනයට එරෙහිව කරන කැරලි ගැසීම් හැඳින්විය හැක්කේ කඩාකප්පල්කාරී ක්‍රියා වශයෙනි. හම්බන්තොට සංවර්ධනයට මෙම පිරිස විරුද්ධ වන්නේ එයින් රටට අයහපතක් වන නිසා නොවේ. එයින් රටත් ආර්ථිකයත් එමගින් ආණ්ඩුවත් ගොඩ යන බව දන්නා නිසාය. එයින් ප්‍රතිලාභ ලබන ජනයා තමන්ගෙන් ඉවත්ව ආණ්ඩුවේ සංවර්ධන ක්‍රියාවලියට ආධාර කරන්න පෙළඹෙන බව දන්නා නිසාය. මොවුන් රටේ යහපතට විරුද්ධ වන්නේ එයින් තමන්ට විනාශය අත්වන නිසාය.

මෙම සංවර්ධන ක්‍රියාවලිය ක්‍රියාවට නැගුණු විට රාජපක්ෂ කල්ලිය හම්බන්තොටදීම නන්නත්තාරවීම වළකන්නට බැරිය. මෙතරම් වියරුවෙන් දඟලන්නේ එම විනාශයෙන් බේරෙන්නටය. ආණ්ඩු පෙරළීමේ සිහිනය පසෙක තබා මන්ත්‍රීකම් රැකගන්න බලන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රාජපක්ෂලාට අභියෝග කළේ ඒ නිසාය. හම්බන්තොටට ඇත්ත විනාශය සිදුකරන්නේ රාජපක්ෂලාගේ මෙම කඩාකප්පල්කාරී වැඩවලිනි. තවත් දුර යන්නට පෙර ඒවා නවතා දැමීමට මහජනයා පෙරට ආ යුතුය. මහජනයා එලෙස පෙළගැසෙන ලකුණු දැනටමත් පෙනෙන්නට ඇත. පසුගියදා හම්බන්තොට දකින්නට ලැබුණේ එම මහජන නැගිටීමේ පෙර ලකුණු පමණකි.

සී. ජේ. අමරතුංග
ඡායාරූප - රුක්මාල් ගමගේ


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...