පෝදා ධර්මානුශාසනාව

ශ්‍රී ලංකා පාලි හා ‍බෞද්ධ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උතුරාවල ධම්මරතන හිමි

සුපින්වත්නි,

දුරුතු පුර පසළොස්වක පොහොය අදයි. සෑම වසරකම එළැඹෙන පළමු පොහෝ දිනය නිසාම ආගමික ස්ථානවලට ගොස් දන්දීම්, සිල් රැකීම් ආදී ආගමික වතාවත්වල යෙදීම බොදු දනන්ගේ සිරිතකි. බුද්ධත්වයෙන් නව වැනි මස දුරුතු පුර පසළොස්වක පොහෝ දිනක බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවීම. බුදුන් වහන්සේ සමන් දෙවිඳුන්ට පූජා වස්තුවක් ලෙස කේශ ධාතු මිටක් පරිත්‍යාග කිරීම. බුදුන් වහන්සේ වැඩ සිටි ස්ථානයේ කේශ ධාතු නිදන් කොට මහියංගණය චෛත්‍යය ඉදි කිරීම බුදුන් වහන්සේ ජටිල රහතන් වහන්සේ සමඟ රජගහ නුවරට වැඩම කිරීම. බුදු සසුනේ පළමු ආරාම පූජාව වන වේළුවනාරාම පූජාව බිම්බිසාර රජු විසින් සිදු කිරීම. ජාතික, ආගමික, සංස්කෘතික වශයෙන් වැදගත් වන කැලණි රජමහා විහාරයේ වාර්ෂික දුරුතු පෙරහර පැවැත්වීම ආදි සිදුවීම් දුරුතු පෝදා සිදු වූ උතුම් ශාසනික සිදුවීම් ලෙස සැලකිය හැකිය.

මහවැලි ගං ඉවුරේ පිහිටි මහියංගණ පෙදෙස එදා මහානාග වනෝද්‍යානය නමින් හැඳින්විය. සියලු සත්ත්වයන් කෙරෙහි මහා කරුණාව පතුරුවමින් ලක්දිව පහළ වූ බුදු පියාණන් යක්ෂ නමින් එදා හැඳින්වූ ලක්දිව මුල් වැසියන්ගේ සිත් සනසා, සෘද්ධි ප්‍රාතිහාර්ය පාමින් දහම් දෙසා, ශ්‍රී ලංකාව මිනිස් වාසයට සුදුසු දහම් දිවයිනක් බවට පත් කළ සේක. එහි ඉදි වූ දාගැබ මහියංගණ චෛත්‍යයයි. බුදුන් වහන්සේ ජීවමාන කාලයේම ලොව බිහි වූ මුල් ම චෛත්‍යය එය බව ඉතිහාසයේ දැක්වෙයි. එය දෙවියන් විසින් සාදන ලද්දක් බව ද කියැවෙයි.

බුදුන් වහන්සේ පිරිනිවන් පෑ පසු සැරියුත් මහ රහතන් වහන්සේගේ ශිෂ්‍යයකු වූ මහා සරභූ රහතන් වහන්සේ බුදුන් වහන්සේගේ ආදාහන සෑයෙන් ගී‍්‍රවා ධාතුව රහසේ ලබාගෙන, ලංකාවට පැමිණි මහියංගණ සෑයේ තැන්පත් කොට හිමවතෙන් ගෙනා ‘මේඝවර්ණ’ පාෂාණයෙන් දොළොස් රියන් උස සෑයක් සැදවීය. වර්ෂ දෙදහස් පන්සියයකටත් පෙර මෙම චෛත්‍ය කර්මාන්තය කෙරී ඇත. ලොව රහතන්වහන්සේ නමක් නිම කළ එකම චෛත්‍යය ද මෙයයි. දෙවනපෑතිස් රජුගේ සොහොයුරු උද්ධචූලාභය, දුටුගැමුණු, ධාතුසේන, සිරිසඟබෝ, අග්බෝ, පරාක්‍රමබාහු ආදී රජවරු මෙම සෑය වරින් වර ප්‍රතිසංස්කරණය කොට අලංකාර කළහ.

බුදුරජාණන් වහන්සේ බුදු සසුන නිරුපද්‍රිතව ආරක්ෂා වන දේශය ලෙස ලක්දිව හැඳින්වූ බව වංසකථාකරුවෝ පවසති. මහ සඟරුවන ජීවිත පරිත්‍යාගයෙන් ධර්මය හා දහම් පොතපත රැකගැනීම, ත්‍රිපිටක ධර්මය පොත්පත්වල ලියා තැබීම, රාජ්‍ය නායකයන් හා ජනතාව උත්තරීතර සදහම් මගට යොමුකරවීම බුදුදහමේ චිරස්ථිතිය, ව්‍යාප්තිය, පෝෂණය සඳහා ඉවහල් විය. බුදු සසුනේ අනාගත පැවැත්ම දුරුතු මස දුරුතු පොහෝ දින බුදුරදුන්ගේ ප්‍රථම ලංකා ගමනින් එසේ තහවුරු විය.

එනිසා අතීතයේ සිට හෙළ දරුවන් දෙස, බස, රැස රැක ගනිමින් වෙහෙර විහාර ඉදි කරමින් කළ උදාර සේවාව, අපි දුරුතු පොහෝදින සිහිපත් කළ යුතුය.

වෛරයෙන්, ක්‍රෝධයෙන්, තණ්හාවෙන්, මුසපත් වී විනාශ මුඛයට යන ජීවිත මෛත්‍රියෙන් කරුණාවෙන් දයාවෙන් සනසා සදහම් ආලෝකයෙන් ඒකාලෝක කිරීමට මේ උදාර දුරුතු පොහෝ දින අදිටන් කර ගනිමු.

තිසරණ සරණයි
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
උතුරාවල ධම්මරතන හිමි 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...