යක්ෂ පත්‍ර තෛලය | දිනමිණ

යක්ෂ පත්‍ර තෛලය

කපුවන් යැයි කියාගන්නා විශාල පිරිසක් රටේ සිටිති. මොවුන් සඳහා වූ සහතික නැත. වෘත්තීය සුදුසුකම් නැත. විභාග නැත. ලෝකයේ සිටින බොහෝ බොරුකාරයෝ කපුවන් ලෙස පෙනී සිටිති. ඔව්හු මෝඩ ජනයාගේ ඉහ-මොළ සූරාකමින් ධනවතුන් බවට පත්ව සිටිති. සෑම ප්‍රසිද්ධ කපුවෙක් ම මසකට රුපියල් ලක්ෂ ගණනක් හරි හම්බකර ගනිති. කට්ටඩියෝද ආවතේවකරුවෝද, පලතුරු හා තැඹිලි අලෙවි කරන ව්‍යාපාරිකයෝ ද ඔවුනට සහයෝගය දක්වති. ඒ හැරෙන්නට ආවතේවකාරයෝද විශාල පිරිසක් ඔවුහු පසුපස සිටිති.

හලාවත පොලිස් වසමට අයත් වැලිපැන්න උඩවෙල ගම්මානයේ දේවාලයක් පවත්වාගෙන යන කපුවෙක් මේ අයුරින් ස්ත්‍රියකට යාතුකර්මයක් සිදුකර ඇය මරණයට පත්කර ඇත. කපුවා මේ රෝගී ස්ත්‍රියට කිසියම් පානයක් ලබා දී ඇති බවත් එම පානය ශරීරගත වීමෙන් පසු සිහි විසඥ වී ඇති බවත් පසුව රෝහලට ගෙන යන විට ඇය මිය ගොස් සිටි බවත් ප්‍රවෘත්තියේ සඳහන් වේ. තිදරු මවක වන එම කාන්තාව මිථ්‍යා විශ්වාස පසුපස ගොස් අකාලයේ තම ජීවිතය නැති කරගෙන තිබේ.

කපුවන්ගේ යාතුකර්ම නිසා මිය පරලොව ගිය පළමු කාන්තාව ඇය නොවේ. මීට පෙර එක්තරා කාන්තාවක් කපුවකු විසින් මතුරා දෙන ලද දෙහි ගෙඩි ගිලීම නිසා හුස්ම හිර වී මිය ගියාය. ඊටත් පෙර තවත් කාන්තාවක පුලුස්සා මරා දමනු ලැබිණි. විවිධ පාන වර්ග, විවිධ ආහාර වර්ග ලබාදී ඒවා විෂ වීමෙන් මියගිය පිරිසද සුළු පටු නොවේ. කපුවන් වෛද්‍ය විද්‍යාව දන්නේ නැත. ඔවුන් ජීවත්වන්නේ ජනතාව මුළාකොට ප්‍රෝඩාවක් ඔස්සේ ය. ඇතැම්විට මිථ්‍යා විශ්වාස ගැන විවේචන කරන අය පවා හොර රහසේ කපුවන් ළඟට යති. එසේ ගොස් අමාරුවේ වැටෙති.

අපේ සමාජය මිථ්‍යාවට කෙතරම් බරපතළ ලෙස මුළා වීඇති ද යන වග මෙයින් පැහැදිලි වේ. වෛද්‍ය ක්ෂේත්‍රයේ ගුරුවරයකු ද වන මහාචාර්ය කාලෝ ෆෝන්සේකා මහතා වරක් ප්‍රසිද්ධ සභාවක දී කියා සිටියේ ඔබට කිසියම් රෝගයක් තිබේ නම්; පළමුව විශේෂඥ වෛද්‍යවරයකු හමුවන්න සුව නොවේ නම් සාමාන්‍ය වෛද්‍යවරයකු හමුවන්න. එහෙත් සුව නොවේ නම් ඇපෝතකරි වෛද්‍යවරයකු හමුවන්න. එහෙත් රෝගය සුව වී නැත්නම් වහාම කට්ටඩියකු හමුවන්න යන්නය. කට්ටඩියන් හා කපුවාගේ වෙනසක් නැත. දෙදෙනාම බොරුවෙන් ජීවත් වෙති.

මේ උපදේශනයෙන් පැහැදිලි වන කරුණු කිහිපයක් තිබේ. එක කරුණක් වන්නේ ඇතැමුන්ගේ රෝගය ඇත්තේ ශරීරයෙහි නොව, සිත අභ්‍යන්තරයේ බවය. තවත් කරුණක් වන්නේ රෝගයකට ප්‍රතිකාර ලබාගැනීමේ දී වෛද්‍යවරයා පිළිබඳ විශ්වාසය හා ප්‍රතිකාර ක්‍රම පිළිබඳ අවබෝධය පැවැතිය යුතු බවය. එසේ නොමැතිව රෝගයක් සුව කිරීමේ හැකියාවක් නැත. කපුවන් කට්ටඩියන් පසුපස යන අය ද ඔවුන්ගේ යන්ත්‍ර-මන්ත්‍ර හා ගුරුකම් කෙරෙහි බලවත් විශ්වාසයකින් පසුවෙති. එහෙත් එහි විද්‍යාවක් නැති බැවින් අසරණ රෝගීහු අකාලයේ මරණයට පත් වෙති. නැතහොත් නිරපරාදේ මුදල් නාස්ති කරති. මෙය බලවත් ජාවාරමක් බව බොහෝ දෙනකු දන්නේ නැත.

ඇතැම් කට්ටඩියන්ගේ හා කපුවන්ගේ දැන්වීම් පුවත්පත්වල පමණක් නොව විද්‍යුත් මාධ්‍යවලද පළවේ. ඒවායින් කියැවෙන්නේ කපුවන් හා කට්ටඩියන් විස්මිත බලයකින් යුතුව රෝග සුවකරන බවය. විස්මිත බලයකින් යුතුව දුකට පිහිට වන බවය. මුදල් ගෙවන විට දැන්වීම් පළ කෙරේ. ඒවා පිළිබඳ වගකීම අදාළ ජනමාධ්‍ය ආයතන භාරගන්නේ නැත. එහෙත් මේවාට වහ වැටෙන මිනිස්සු පොරකමින් කපුවන් ළඟ පෝළිමේ සිටිති. එක්තරා කපුවෙක් බිඳ වැටුණු විවාහයක් යළි යාකර දෙන බව කියමින් බිරිය තමා ළඟට ගෙන්වා ගත්තේය. පසුව එම බිරියට සිදුවූයේ කපුවාගේ හොර අඹුව වීමටය. මෙබඳු කතා සිය දහස් ගණනක් ලියා තැබිය හැකිය.

මිථ්‍යාව මේ තරමින් පැතිර ඇති සමාජයක් ඉදිරියට යන්නේ කෙසේද යනු ගැටලුවෙකි. දේශපාලනය සමඟ මේ සිද්ධිය සම්බන්ධ කළහොත් අපේ ඇතැම් දේශපාලකයෝ තම ප්‍රතිවාදීන් විනාශ වී යන්නට යැයි කියමින් දෙවියන් ඉදිරියේ පොල් ගසති. එම පොල් අපරාදේ යැයි කියන්නට කිසිවකුත් ඉදිරිපත් වන්නේ නැත. දෙවියන් ඉදිරියේ තබන පුද පූජා ද මේ අයුරින් සැලැකිල්ලට ගත හැකිය. සමහර කපුවෝ පූජා වට්ටි පමණක් නොව නියම කරගත් මිලක්ද ඉල්ලා සිටිති. එම මුදල පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙයි. දෙවියන් සල්ලි ගන්නේ නැත. සල්ලි ගන්නේ කපුවාය. කපුවාට සල්ලි දෙන්නට තරම් අපේ සමාජය මෝඩ මන්දැයි විමසා බැලිය යුතුය.

හලාවත ප්‍රදේශයේ මිය ගිය කාන්තාව කපුවා මුණගැසීමට ගොස් ඇත්තේ භූත දෝෂයක් සමනය කර ගැනීම සඳහාය. භූත දෝෂ කියා දෙයක් විද්‍යාවට හසුවන්නේ නැත. ඇයට තිබෙන්නට ඇත්තේ මානසික රෝගයෙකි. එසේ නැතහොත් ස්නායු රෝගයෙකි. මේ බව වටහා නොගත් කාන්තාව භූත දෝෂය සමනය කර ගැනීම සඳහා කපුවා වෙත ගොස් ඇත. ඇයට පළමුව බඩු ලිස්ට් එකක් දී ඇත. එය රැගෙන පැමිණි පසු මන්ත්‍ර ජප කොට දියරය පානය කිරීමට දී ඇත. එම දියරය හඳුන්වා ඇත්තේ යක්ෂ පත්‍ර තෛලය වශයෙන්ය. මෙය අමූලික බොරු ප්‍රෝඩාවක් විය යුතුය. වෛද්‍යවරයකු නොවන කපුවා කුමක් හෝ පානයක් සකසාගෙන තිබෙන්නට ඇත. එය මේ කාන්තාවගේ ශරීරයට විෂ වන්නට ඇත.

අපේ ජනතාවට කොයිතරම් බණ දේශනා කළද පලක් නැත. කොයිතරම් විද්‍යාව ඉගැන්නුවද පලක් නැත. උගත්ම මිනිස්සු පවා මිථ්‍යාව පසුපස හඹායති. එය එක්තරා මෝස්තරයක් බවට ද පත් වී ඇති සැටියක් පෙනෙන්නට තිබේ. මේ මිනිසුන් නිවැරැදි වන්නේ කවදා ද? ඔවුනට බුද්ධිය පහළවන්නේ කවදා ද?

නව අදහස දක්වන්න