හම්බන්තොට ජනතාව පන්නා දමා ඉඩම් ගන්නේ නෑ

ශිරෝමි අබයසිංහ
ඡායාරූප මාලන් කරුණාරත්න

ශීඝ්‍ර ආර්ථික සංවර්ධනයකට ජාතික රජයක් ඇති කළා
අප රට ඉන්දු-චීන හා යුරෝපා වෙළෙඳපොළේ හිමිකරුවෙක්
හොඳ රැකියා මගින් හොඳ අනාගතයක්
රැකියා දීමට විරුද්ධවීම විශාල ද්‍රෝහිකමක්

හම්බන්තොට කර්මාන්ත පුරය ඉදි කිරීම සඳහා යොදා ගන්නා ඉඩම්වලින් සියයට 95ක්ම රජයට අයත් දැනට ප්‍රයෝජනයට නොගන්නා මුඩු ඉඩම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. මිනිස්සු පන්නා දමා අපි ඔවුන්ගේ ඉඩම් ගන්නේ නැතැයි ද කර්මාන්ත ඇති කර තරුණ තරුණියන්ට හොඳ රැකියා ලබා දී ආදායම් මාර්ග ඇති කර හොඳ අනාගතයක් ලබා දීම රජයේ අරමුණයි යැයිද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීය.

අගමැති වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ හොරණ වගවත්තේ දී ඉදි කෙරෙන රිජිඩ් ටයර් පෞද්ගලික සමාගමට මුල් ගල තැබීමේ අවස්ථාවට සහභාගි වෙමිනි. සිලොන් ස්ටීල් සමුහය යටතේ දේශිය ආයෝජකයකු වන නන්දන ලොකුවිතාන මහතා රුපියල් බිලියන 11.25 ක් මෙම කර්මාන්ත ශාලාව සඳහා ආයෝජනය කර තිබේ. මේ කර්මාන්ත ශාලාවෙන් රැකියා තුන්දහසක් ලබා දීමට නියමිතය.

සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ සුබ මොහොතින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කර්මාන්ත ශාලාවට මුල්ගල තැබීය. අනතුරුව සමරු ඵලකය නිරාවරණය කෙරිණි. එහිදි අගමැති වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

අද අපි තවත් විශාල ටයර් කර්මාන්තශාලාවක් ආරම්භ කිරිමට මුල් ගල තැබුවා. මෙමගින් මේ ප්‍රදේශයේ තරුණ තරුණියන් දහස් ගණනකට රැකියා සහ ආදායම් මාර්ග ලැබෙනවා. මේ කර්මාන්ත ශාලාව ආරම්භ කිරීමට ජී.එස්.පී.ප්ල්ස් අපට විශාල පිටුවහලක් වුණා. මේ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනවලින් සියයට 75 ක්ම අපනයනය කිරීමට සැලසුම් කර තිබෙනවා. ජී.එස්.පී.ප්ල්ස් ලැබුණු නිසා අපනයනය කරන ප්‍රමාණය වැඩි වී තිබෙනවා. අඟහරුවාදා ආරම්භ කළ පන්නල සහ කුලියාපිටිය කර්මාන්තශාලා දෙකත් හෙට ආරම්භ කරන කොග්ගල කර්මාන්තශාලාවත් අනිද්දා වැඩ කටයුතු ආරම්භ කරන රුහුණු ආර්ථික කලාපයත් මගින් සතියක් තුළ විසි දහසකට රැකියා ලබා දෙන්න අපට හැකියාව ලැබෙනවා. මේක වාර්තාවක්.

ආර්.ප්‍රේමදාස මහතා ඇඟලුම් කර්මාන්ත ශාලා දෙසීයක් ආරම්භ කරන කාලයේ මා කර්මාන්ත ඇමැති ලෙස කටයුතු කළා. අපිට එදා සතියකට ආරම්භ කරන්න හැකි වුණේ කර්මාන්ත ශාලා හතරයි. ඒ වගේ දහ ගුණයක් අද ආරම්භ කිරීමට හැකි වෙනවා. අපිට එය සිදු කරන්න හැකි වුණේ කොහොමද? එකක් තරුණ තරුණියන් ගැන හිතන්න ඕනෑ. මා ඉපදුණ කාලේ ලංකාව තිබුණේ ජපානය හා සම තත්ත්වයේයි. මා ඇමැති වුණු 1977 දී අපට ඉදිරියෙන් හිටියේ ජපානය, දකුණු කොරියාව සහ සිංගප්පූරුව පමණයි. අද අවුරුදු තිහක යුද්ධයෙන් පසුව මා පිටුපස බලන්න බයයි. මොකද මා දකින්නේ ලාඕසය, ඇෆ්ගනිස්ථානය, භුතානය, නේපාලය, මියන්මාරය සහ මාලදිවයිනයි. අනිත් හැම කෙනාම අපට ඉදිරියෙන් සිටිනවා. අවුරුදු තිහක් අපට තිබුණු අවස්ථා නැති වුණා. තරුණ තරුණියන්ට රැකියා ලබා දෙන්න තිබු අවස්ථා නැති වුණා. මා 1979 චීනයට ගියවිට ඒ අය ඇන්දේ කොලපාට කලිසමයි, කෝට් එකවැනි ෂර්ට් එකයි. අද චීනයේ කම්කරුවකුට අපේ වගේ තුන් ගුණයක් ආදායම ලැබෙනවා. ඉතින් රැකියාවට හම්බන්තොට එන්නේ මොනවටද?

අපේ රටේ තරුණ තරුණියන්ටත් අවස්ථාව ලබා දෙන එක අපේ යුතුකමක්. අපි රටේ කර්මාන්ත කරණයක් කරන්නේ ඒ නිසයි. සංචාරක ව්‍යාපාරය දියුණු කරන්නේ. විද්‍යා තාක්ෂණය, පරිගණක තාක්ෂණය සහ අධ්‍යාපනය දියුණු කරන්නේ ඒ නිසයි . නිකම් රැකියා නෙවෙයි හොඳ රැකියාත් එමගින් හොඳ අනාගතයක් ලබා දීමටයි. මෛත්‍රිපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා කර ජනාධිපතිවරයා බවට පත් කළේ අපි ඒ දේ කරන්නයි. ප්‍රධාන පක්ෂ දෙක එකතු වී රජයක් හැදුවේ සීඝ්‍ර ආර්ථික සංවර්ධනයක් ඇති කර තරුණ තරුණියන්ට හොඳ රැකියා ලබා දීමටයි. බලය සඳහා තරග කළ ප්‍රධාන පක්ෂ දෙක එකට වැඩ කිරීම ලේසු පහසු දෙයක් නොවේ. ඉඳල හිටලා බැණ ගන්නවා. කොහොම හරි 2020 වෙනතුරු එකට එකතු වී මේ ගමන යනවා. මොකද අපේ යුතුකම තිබෙන්නේ මේ රටේ තරුණ තරුණියන් වෙනුවෙන්.

ගිය වසර ගත වුණේ මේ රටේ ආර්ථිකය හදන්නයි. අපිට විශාල ණය බරක් තිබුණා. ඒ ණය බර අඩු කර ආදායම වැඩි කිරීමේ රාමුව තුළ සිට ක්‍රියාත්මක වෙමින් ආයෝජන ගෙන එනවා. කර්මාන්ත ශාලා හෝටල්, ආරම්භ කිරීමට දේශිය ආයෝජකයින් ප්‍රමාණවත් නොවන නිසා විදේශිය ආයෝජකයින් ගෙන ආ යුතුයි. වෙළෙඳ පොළවල් හොයා ගත යුතුයි. අද චීනය, ඉන්දියාව සහ යුරෝපය යන වෙළෙඳ පොළවල් තුනටම හිමිකම් කියන්නේ ශ්‍රී ලංකාව පමණයි. අද ආයෝජකයින් ලංකාවට එන්නේ ඒනිසයි. අපි ඉක්මනින් තීරණ ගත යතුයි. ඒ සඳහා වුවමනා නීති රීති අපි ගෙන එනවා. ආයොජකයින්ට දිරි ගැන්විම් ලබා දීමට අයවැයෙන් යෝජනා ගේනවා.

තරුණ තරුණියන්ට හොඳ අධ්‍යාපනයක් සහ රැකියා පුහුණුවක් ලබා දිය යුතුයි. ආයෝජකයින්ට කර්මාන්ත ශාලා ඉදි කිරීමට ඉඩම් ලබා දිය යුතුයි. මෙතැන තිබු අක්කර සියයෙන් තිස් පහක්ම වගුරු බිම්. මේ කර්මාන්ත ශාලාව නිම වු පසු දහස් ගණනක් හොඳ රැකියා ලබා ගෙන ජිවත් වේවි. කර්මාන්තකරණයේදි අඩු ආදායම් ඇති ඉඩම්වල කර්මාන්තශාලා හෝ හෝටල් දමා ආදායම් ඇති කර ගැනිමයි. මේ සඳහා ඊළඟ අවුරුදු දහය පහළවට අපි ඉඩම් හඳුනා ගෙන තිබෙනවා. මේ කාර්යය මුලින්ම පටන් ගත්තේ තායිලන්තයේ. කර්මාන්ත කලාප අධිකාරියෙන් ඉදිරි කාලය සඳහා ඉඩම් හඳුනා ගෙන වෙන් කළා. ඒනිසා අද ඔවුන් කර්මාන්තශාලා හදනවා. එහි විශාලම කර්මාන්ත කලාපය අක්කර දහ දාහක්. අපේ විශාලම කලාපය අක්කර හාරසීයයි. ඉන්දියාවේත් ඒ දේ කළා. මහනුවර, වයඹ, බස්නාහිර ඉඩම් හඳුනා ගෙන තිබෙනවා. කලුතර හා අවිස්සාවේල්ලේ අක්කර හාර දහසක් හඳුනා ගෙන තිබෙනවා. ගාල්ල, මාතර, හම්බන්තොට, මොණරාගල, ත්‍රිකුණාමලය යන ප්‍රදේශවලත් හඳුනා ගෙන තිබෙනවා. මේ ඉඩම්වලින් සියයට 95 ක්ම රජයට අයිති මුඩු ඉඩම්. ජලය සහ විදුලිය ලබා දී කර්මාන්තශාලා සහ හෝටල් ඇති කරනවා.

අපි මේ සමාගමට ඉඩම දුන්නේ නැතිනම් මේ කර්මාන්තශාලාව ආරම්භ වන්නේ නැහැ. මා බියගම අක්කර තුන්සියයකින් ආරම්භකළ කර්මාන්ත කලාපයේ දැන් කර්මාන්තශාලා සියයකට වඩා අද තිබෙනවා. හම්බන්තොට ගන්නේ කාගේ ඉඩම්දැයි මහින්ද අමරවිර මහතා මගේන් ඇහුවා. මා කිව්වා රජයේ ඉඩම් කියලා. එහි වෙන කාටද ඉඩම් තිබෙන්නේ. අක්කර තුනේ දෙකේ ඉඩම්. අපිට ඒවා ගන්න වුවමනා නැහැ.

කර්මාන්ත ශාලාවලට යටිතල පහසුකම් ලබා දෙන සමාගම් ඉදිරියේදි පටන් ගන්නවා. ආයෝජන මණ්ඩලයෙන් විශාල කර්මාන්ත කලාප කිහිපයක්ම ආරම්භ කර තිබෙනවා. සපුගස්කන්ද කර්මාන්ත කලාපය ලින්ඩන් ආයතනය විසින් පටන් ගන්නේ අපේ ඉඩමකයි. මාස් ආයතනයත් පුද්ගලික කර්මාන්ත කලාපයක් ඇති කරනවා. රිචඩ් පීරිස් ආයතනය කලුතර පාලනය කරන වතු යායක පුද්ගලික කර්මාන්ත කලාපයක් ආරම්භ කරනවා. අපි දෙන්නේ ඉඩම් පමණයි. කර්මාන්ත ශාලා ඉදි කිරිමට අවශ්‍ය බදු සහන දෙනවා. මිනිස්සු පන්නා ඉඩම් අරගන්න අපට වුවමනාවක් නැහැ.

හම්බන්තොට වරායෙන් නියම ප්‍රයෝජනයක් ගන්න අපට අවශ්‍යයි. වරාය ගැන ගිවිසුම් තුන හතරකට එන්න තිබෙනවා. ගිවිසුම්වලට එළැඹුණාට පසු මලික් සමරවික්‍රම ඇමතිවරයා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. අපි ක්‍රියාත්මක කරන්නේ විනිවිදභාවයෙන්. මේ කිසිම ඉඩමක පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ඒවා නොවේ.

කර්මාන්ත ශාලා ඉදි වු විට ඒවාට ජනතාව එනවා. ඒවා අවට බෞද්ධ සිද්ධස්ථාන ඇති කරනවා. හැම බෞද්ධ රටකම ගෘහ නිර්මාණ ශිල්ප අනුව පන්සල් ඉදි කරන ලෙස ඉල්ලනවා. මොන්ගෝලියන්, චීන, ජපන්, වියට්නාම්, තායිලන්ත්, බුරුම, සිංගප්පුරුව, නේපාල ගෘහ නිර්මාණ අනුව එවිට පන්සල් ඉදිවේවි.

තරුණ තරුණියන්ට රැකියා ලබාදීමට විරුද්ධ ඇයි කියා මට තේරෙන්නේ නැහැ. ඒක විශාල ද්‍රෝහිකමක්. අපේ හැම දිස්ත්‍රික්කයකම රැකියා බලාපොරොත්තුවෙන් තරුණ තරුණියන් සිටිනව. මේ ආණ්ඩුවට බැරි වුණොත් මේ ආණ්ඩුව අයින් කරලා වෙන ආණ්ඩුවක් පත් කර ගන්න. එහෙම තත්ත්වයක් තිබෙද්දි රැකියා දෙන්න විරුද්ධ ඇයි. රජයේ ඉඩම් රැකියා උත්පාදනය කිරීමට දීමට විරුද්ධ නම් එය තරුණ පෙරපුරට කරන ද්‍රෝහිකමක්. අපිට අවශ්‍ය වි තිබෙන්නේ සීඝ්‍ර දියුණුවක් ඇති කිරිමටයි. ඊළඟ අවුරුදු පහේදි හොඳ අනාගතයක් ඇති පසුබිමක් සකස් කිරිමයි. රැකියාවක් නැතිව මැද පෙරදිග ගිහින් පවුල් ජිවිතයක් නැතිව විවාහ වී හොඳ ජිවිත ගත කිරීමට තරුණ තරුණියන්ට ලබාදීමටයි. දරුවන්ට හොඳ අනාගතයක්. නිවසක් තනා ගැනිම යන බලාපොරොත්තු ඉටු කර දිමයි. ඒ බලාපොරොත්තු ඉටු කර දීම අපේ අරමුණයි.

ඒ සඳහා දායක වීම ගැන රිජිඩ් ආයතනයට මා ස්තුතිවන්ත වෙනවා. දේශිය කර්මාන්තකරුන් බිහි විම හොඳයි. ලෝක වෙළෙඳ පොළ තමන්ගේ අතර ගන්න ඔවුන්ට පුළුවන් යැයිද අගමැති වික්‍රමසිංහ මහතා කිය.

ධීවර සහ ජලජ සම්පත් ඇමැති මහින්ද අමරවීර මහතා-ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ රැකියා දසලක්ෂයේ වැඩසටහන රජයේ අංශයෙන් පමණක් ක්‍රියාත්මක කිරීමට බැහැ. ඒ සඳහා දේශිය සහ විදේශිය ආයෝජකයින් සොයා කර්මාන්ත බිහි කළ යුතුයි. මේවාට බාධා තිබෙනවා. පිකටින්, උද්ඝෝෂණ තිබෙන විට ආයෝජකයින් එන්න මැලි වෙනවා. මෙපමණ කලක් රට සංවර්ධනය කිරීම පමා වුණේ රජයක් ගෙන එන වැඩ පිළිවෙලට විපක්ෂය විරුද්ධ වීම නිසායි. අද අපේ රජයට ලෝකයේ විශ්වාසය හිමි වී තිබෙනවා. අපට විදුලි පුටුව වැනි මානව හිමිකම් ප්‍රශ්න තිබුණා. අද ඒවා සේරම අවසන් වී තිබෙනවා. එවැනි ප්‍රශ්න තිබුණාවත්දැයි මතක නැහැ. හම්බන්තොට නව කර්මාන්ත පුරය ගැන විවිධ දුර්මත තිබෙනවා. මේ බොරු ප්‍රචාර හරින්නේ මිනිස්සු කුපිත කර දේශපාලන වාසි ලබා ගැනිමටයි. හම්බන්තොට වරායට රුපියල් මිලියන 17,000 ක් ගෙවිමට තිබෙනවා. අපි සියලු දේ කරන්නේ රටට හිතකර ලෙසයි. හම්බන්තොට ඉපදුණු මා වරාය විකුණන්න දෙයිද? අපිට පහුගිය කාලයේදි ධීවර අමාත්‍යාංශයේ වැහෙන්න ගිය ආයතන බේරා ගැනිමට හැකි වුණා. ඒ පිළිබඳ මා මුදල් ඇමැතිවරයාට ස්තුති කරනවා. මේ ආණ්ඩුව වැටෙන්නේ නැහැ. බය නැතිව ආයෝජනය කරන්නැයි මා ආයෝජකයින්ට ආරාධනා කරනවා.

වෘත්තිය පුහුණු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා- අද වේදිකාව බලන්න ලස්සනයි. පක්ෂ දෙකේම අය සිටිනවා. විදේශ ආයෝජන එන්නේ මේවා බලා ගෙනයි. සමහරු දැන් කුලප්පු වෙලා. 45 ක් තියාගෙන ආණ්ඩු පෙරලන්න හදනවා. නමුත් මේ ආණ්ඩුව පෙරලන්න බැහැ. අපි දේශපාලනය කරන්නේ වෙන වෙනමයි. අය-වැය තුනෙන් දෙකේ ඡන්දෙන් සම්මත කර ගත්තා. වෛරයෙන් ක්‍රෝධයෙන් අපේ ගමන වෙනස් කරන්න බැලුවත් ජාතිවාදින්ට එයට ඉඩක් ලැබෙන්නේ නැහැ.

අමාත්‍ය නවීන් දිසානායක, හොරණ එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක හේමන්ත වික්‍රමආරච්චි මහත්වරුන්ද කතා කළහ. රිජිඩ් ටයර් සමාගමේ සන්නිවේදන අංශයේ ප්‍රධානියා විසින් පිළිගැනිමේ කතාව සිදු කෙරිණි.

මේ අවස්ථාවට මැති ඇමැතිවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වුහ.



නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...