කර්තෘ නැතත්; පොත ‍හොඳට යනවා | දිනමිණ

කර්තෘ නැතත්; පොත ‍හොඳට යනවා

රන්ජන් අමරරත්න

සප්තපර්ණී යනු කාගේත් අවධානයට ලක්විය යුතු නවකතාවකි. මහාචාර්ය සුසන්ත මහ උල්පත අවසන් වරට අපට දායාද කර ඇත්තේ ‍ඓතිහාසික නවකතාවේ තවත් ප්‍රබල ආදර්ශයකි.

සප්තපර්ණී නවකතාවේ කර්තෘවරයා වන මහාචාර්ය සුසන්ත මහඋල්පත දැන් අප අතර නැත. ඔහු ජීවිතය හැර ගොස් සුළු කාලයක් ගෙවී ඇත. සප්තපර්ණී ඔහුගේ අවසන් නවකතාව සේ ම, අවසන් කෘතිය ද යන වග අපගේ අදහස ය. සුසන්ත මහ උල්පත මහතා සිංහල ඓතිහාසික නවකාව නව මානයක් වෙත ගෙන ආවේ යැයි සිතන්නට පුළුවන. ඔහු සිය ප්‍රබන්ධ සඳහා ගැඹුරු පර්යේෂණවල යෙදුණේ ය. බොහෝ විට ඉතිහාසඥයෝ කැටුව සංවාදවල යෙදුණෝය. ඓතිහාසික චරිතවලට හා සිදුවීම්වලට යුක්තිය ඉටු කිරීම සඳහා මහඋල්පත මහතා සැලකිය යුතු පරිශ්‍රමයක් දැරූ බව ද අවිවාදිත සත්‍යයෙකි. ගොඩගේ සම්මානයෙන් පිදුම් ලද “ආෂාඪ පුෂ්පය” වැනි නවකතාවක් ඊට නිදසුන් කොට දැක්විය හැකි ය.

මහාචාර්යවරයාගේ ප්‍රබන්ධ විධි තුළ කැපී පෙනෙන ලක්ෂණ කිහිපයක් තිබේ.

I පරිපූර්ණ ප්‍රබන්ධයක් ගොඩනැඟීමට දරන වෑයම

II නවකතාව ඔස්සේ දැනුම් සම්භාරයක් ප්‍රකශයට පත් කිරීම

III පාඨක ප්‍රහර්ෂය කෙරෙහි වැඩිසැලකිල්ලක් දැක්වීම

IV හැමවිටම සංයමයක් පවත්වා ගැනීම

පරිපූර්ණ ප්‍රබන්ධයක් යන්නෙන් අදහස් කරන්නේ, ප්‍රබන්ධ කථා විධිවල ශිල්පීය ලක්ෂණ මනා ලෙස භාවිත කරමින් අංගසම්පූර්ණ වෘත්තාන්තයක් ගොඩනැඟීම ය. ඔහුගේ සෑම නවකතාවක ම ඒ පරිපූර්ණත්වය පවතී. මහඋල්පත මහතාගේ ප්‍රබන්ධ ඔස්සේ පාඨකයාට විශාල දැනුම් සම්භාරයක් ද ලද හැකි ය. ඔහු සිය පසුබිම හා චරිතවල නියම ස්වභාවය නිවැරැදිව නිරූපණය කරයි. මහාචාර්යවරයාගේ තවත් කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ , පාඨකයාගේ වින්දනය කෙරෙහි දැඩි අවධානය යොමු කිරීම ය. ඔහුගේ කෘති රසවත් ය. කියැවීමෙහි රුචිය ඇතිකරන සුලු ය. ඔහු සිය ප්‍රබන්ධ සඳහා උද්වේගය භාවිත කරන්නේ නැත. සංයමය ඔහුගේ ප්‍රබන්ධ තුළ කැපී ‍පෙනෙන ලක්ෂණයක් සේ පවතී.

බුද්ධදාස රජුගේ රාජ්‍ය පාලන සමය සප්තපර්ණී නවකතාවට පසුබිම් වී ඇත. මහාවංශයට අනුව රජු වසර විසිනමයක් රාජ්‍ය පාලනයෙහි නිරත වී තිබේ. මේ කාලය යුද කෝලාහල හා කැරලි නැති සාමකාමී යුගයක් ලෙස සඳහන් වේ. රටේ සෞඛ්‍යය සංවර්ධනය සඳහා රජු සැලකිය යුතු අවධානයක් යොමුකර තිබේ. ආර්ථික අතින් සමෘද්ධිමත් යුගයක් සේ ම, නීතිය ක්‍රියාත්මක වීම අතින් සතුටුදායක කාලයක් ලෙස ද බුද්ධදාස රාජ්‍ය පාලන සමය හැඳින් වේ. එහෙත් බුද්ධදාස යනු ද රජ කෙනෙකි. පාලකයකු ළඟ ඇති ස්වභාවික ගති නිරූපණයට කතුවරයා උත්සුක වී ඇත. අන්තඃපුර සිද්ධි සේ ම, ජනතාව‍ගේ අදහස්වලට රජු දක්වන ප්‍රතිචාර ද ඊට නිදසුන්ය.

සප්තපර්ණී නවකතාවේ ප්‍රධාන වෘත්තාන්ත දෙකක් ඇත. එක් වෘත්තාන්තයකට පසුබිම් වන්නේ බුද්ධදාස රාජ්‍ය පාලන සමයේ අහිකුණ්ඨික ජීවිතය යි. අනෙක් වෘත්තාන්තයට පසුබිම් වන්නේ ප්‍රභූ ජීවිතය යි. මේ කතා දෙක ම රසවත් ය. එකිනෙක සංස්කෘතීන් ඉතා නිවැරැදිව නිරූපණය කරන්නට කතුවරයා සමත් වේ. අහිකුණ්ඨික ජීවිතයේ නිරූපණ සඳහා සැලකිය යුතු පර්යේෂණයක නිරත වී ඇති බව පෙනෙයි. ඔවුන්ගේ යන්ත්‍ර - මන්ත්‍ර ඇදහීම් සේ ම, සටකපට පැවතුම් කෙරෙහි ද කතුවරයාගේ අවධානය යොමු වී ඇත.

අහිකුණ්ඨික කතාවේ වීරයා බවට පත්ව ඇත්තේ ආලම්භනයා ය. ඔහු රැහේ නායක මහයාගේ පුත්‍රයා ‍වෙයි. පුත්‍රයාගේ බිරිය සමඟ කායික සබඳතාවක් මහයා පවත්වාගෙන යයි. ආලම්බනයා මේ ගැන ‍කෝපයෙන් පසුවන අතර, නිරන්තරයෙන් ම තම පියාට එරෙහි වෙයි. එය සාමාන්‍ය ස්වභාවයක් ‍සේ ගත හැකි ය. රාජ්‍ය පාලන සමය තුළ අහිකුණ්ඨික ප්‍රජාවට ඇති සමාජ තත්ත්වය ද කතුවරයා විග්‍රහ කරයි.

“සංචාරක ජීවිතයක් ගතකරන මේ ගෝත්‍රිකයන්, තම රාජ්‍යයට වැද්ද ගැනීමට කිසි ම රාජ්‍යයක් කැමැති වන්නේ නැත. මායාකාරයන්, සොරුන්, තක්කඩියන්, පාදඩයන් වශයෙන් ගණන් ගන්නා ස්ථිර වාසස්ථාන ඇති ශිෂ්ට සම්පන්න යැයි කියා ගන්නා මිනිස්සු, අහිකුණ්ඨිකයන් පිළිකුල් කරති. කස පහර දී එළවා ගනිති. අනේක වධ පිරිපත පමුණුවති.

(පිටුව - 130)

අහිකුණ්ඨික ජීවිතයේ අප නොදකින අවස්ථා ද කතුවරයා විසින් සියුම් ලෙස ස්පර්ශ කරනු ලැබේ. ප්‍රභූ නිවෙසකට නාකි පත නයකු අත්හරින අහිකුණ්ඨික තරුණයා, ඌ අල්ලා ගැනීම සඳහා කොන්ත්‍රාත්තුව භාරගනී. උපායෙන් කල් ලබාගන්නා ඔහු, නයා ඇල්ලීම දුෂ්කර වූ කටයුත්තක් ලෙස පෙන්වා, ප්‍රභූ පවුලෙන් මුදල් හා වස්තුව කඩා ගනී. මෙය අදට වුව සිදුවන සත්‍යයෙකි.

කතුවරයා සප්තපර්ණී නවකතාව තුළ අපූරු පෙම් කතාවක ගොඩනඟයි. චම්ප්‍යෙය හා ස්පර්ණා අතර පවත්නා ප්‍රේම වෘත්තාන්තයයි. එය අතිශය රොමෑන්තික ලෙස නිරූපණය කිරීමට මහඋල්පත මහතා සමත් වී ඇත. දෙදෙනා අතර හුවමාරු වන වචන අපූරු ය.

“ඔව් මම ඕනෑම විපතක දී පිහිටක් ඉල්ලා සිටින්නේ ඇගෙන්, විටෙක ඔබ ගැන ඇතිවන බියමුසු සිතිවිල්ල ගැන ඈ මට කියා දුන්නේ ජීවන යථාර්ථය පිළිබඳ සත්‍යය.”

“එය මට පැහැදිලි නෑ සපර්ණා”

“කිසිවකුගේ ඉරණම දෙවියකුටවත් වෙනස් කළ නොහැකියි. එය කළ කම් හා ඔහුගේ පැවැත්ම අනුව තීරණය වන්නක්.”

(පිටුව - 63)

මහඋල්පත මහතාගේ සංවාද තුළ රිද්මයක්,

ආකර්ශණයක් හා යටිපෙළක් පවතී. එලෙස ම ඒවා චරිතවල ගතිකයන් හොඳින් ස්පර්ශ කර තිබේ. මේ නිරූපණවල දී කතුවරයා පරිසරය උපයෝගී කර ගන්නා ආකාරය කාගේත් විමසුමට ලක්විය යුතු ය. පරිසරය පිළිබඳ කතුවරයාට ඇති ඥානය ද පුදුම සහගත ය.

“සපුගස මල් දරන්නේ මහ ගසක් ව හොඳින් වැඩුණු පසුය. සල්, ඉද්ද, අරලිය මෙන් සපුමලක් අතින් නෙළාගත නො හැකි ය. පරවුණු ඉද්ද හෝ අරලිය මලක් බිම පතිත වන්නේ පෙත්තෙන් පෙත්ත නොවේ. සපුමල් සුවඳ වගුරුවන සුපෙම්වතාණන්ද නිබඳවම සිටින්නේ පෙම්වතියට ඈතින් ය?”

(පිටුව 86 )

නවකතාව ඔස්සේ ප්‍රධාන සංවාද හතරක් ගොඩනඟා ගත හැකි ය.

I රාජ්‍ය පරිපාලනය හා ප්‍රභූ ජීවිත

II අහිකුණ්ඨික ජීවිත හා ඔවුන්ගේ සංස්කෘතිය

III සිංහල වෛද්‍ය ක්‍රමය

IV සිංහල සංස්කෘතියේ ඇදහීම් හා විශ්වාස

බුද්ධදාස රජුගේ රාජ්‍ය පාලනය පිළිබඳ යම් තොරතුරු මේ කෘතියෙන් උකහාගත හැකිය. රජු සාමාන්‍ය ජනයා කෙරෙහි දැක් වූ සැලකිල්ල කුෂ්ට රෝගියාට ප්‍රතිකාර කිරීමෙන් හා නාගයාට ප්‍රතිකාර කිරීමෙන් ද පැහැදිලි වෙයි. අධිකරණ නායකයාගේ හැසිරීමෙන් පෙනී යන්නේ නීතියේ ආධිපත්‍යය පිහිටුවීම සඳහා බුද්ධදාස රජු සැලැකිය යුතු පරිශ්‍රමයක් දරා ඇති බවය. බුද්ධදාස රජු ධාර්මික රජකු ලෙස ප්‍රකට වන්නේ වුව වැරැදිකරුවන්ට සුදුසු දඬුවම් ලබාදී ඇත. එය රාජ්‍ය පාලනයේ යහපත් ලක්ෂණයකි.

අහිකුණ්ඨික ජීවිතය හා ඔවුන්ගේ සංස්කෘතිය පිළිබඳ විස්තර - වර්ණනා රැසක් කෘතියට ඇතුළත් ය. අහිකුණ්ඨික ප්‍රජාවගේ මන්ත්‍ර හා කවි පවා කතුවරයා ගේ සැලැකිල්ලට ලක් වී ඇත‍.

“ඉලයන්තෙරි ඉලයන් තෙරි

ඉලයන් තෙරි අන්‍ගේ

ඉලයන් තෙරි ඉලයන් තෙරි

නිලාටු අන්ගේ‍

ඉහළ තිබෙන මහ වස්තුව

ඉරය හිතාපන්

පහළ තිබෙන මහ ජලකඳ

මුහුද කියාපන්”

(පිටුව - 84)

සිංහල වෛද්‍ය ක්‍රමය පිළිබඳ හදාරන කෙනකුට මේ කෘතියෙන් බොහෝ ප්‍රයෝජන ගත හැකිය. දුර්ලභ බොහෝ ඖෂධ, මන්ත්‍ර හා ප්‍රතිකාර ක්‍රමද මෙහි දක්වා ඇත.

“වෙදා කාහටත් පෙනෙන්නට අතෙන් පොඩි කරන්නේ එක ‍කොළයකි. ලෙඩාට පොවන්නේ රහසින් තළාගත් වෙනත් කොළයක යුෂය. රහස්‍යභාවය ද ඔසුවේ ගුණය සදාලන්නක් යැයි විශ්වාස කරන්නාක් බඳු ය.”

(පිටුව -100)

ආවතේවකාරයා රෝගියාගේ තටටම්වලද අධෝමාර්ගයේද බෙහෙත් තෙලක් ගැල්වීය. මඳ වේලාවකින් තට්ටම් ලිහිල්ව යන ලකුණු පහළ විය. ආවතේවකාරයා පස් තෙලින් පොඟවාගත් බෙහෙත් සුණු සහිත ප හ න්තිරය රෝගියාගේ අධෝ මාර්ගයෙන් ඇතුළට යැවීය. රජතුමා විසින් පහන් තිරයේ අනෙක් කොනට ගිනි දල්වන ලදි.

සිංහල ඇදහීම් හා විශ්වාස කෙරෙහි කතුවරයා දක්වන නිරීක්ෂණය ද ඉතා වැදගත්ය. එක අතෙකින් නාගයන් පිළිබඳ විශ්වාසය හා ඇදහීම ගැන ද තව අතෙකින් සංසාරය පිළිබඳ විශ්වාසය ගැනද කතා ගොන්නක් මෙහි ඇතුළත් ය .එම අතුරු කතා මැනවින් ගළපාගෙන ප්‍රධාන කතා පුවත පෝෂණය කරගෙන ඇත.

ඓතිහාසික නවකතාවකින් පාඨකයා අපේක්ෂා කරන දේවල්වලට වැඩි යමක් කතුවරයා සිය කෘතියට ඇතුළත් කර තිබේ‍. ඔහු‍ගේ භාෂාව මනරම් ය. ඇතැම් තැනෙක අපූරු ‍යෙදුම් දකින්නට ලැබේ‍.

“ඈ ගොයිගංකාර තරුණයකු සමඟ නාගලසං අල්ලා අතටම අසු විය.”

(පිටුව -69)

‘අලියට පෑගී අර මොනවද ගියාදත් කියා අසන කියමනක් ඇත්තේ සිංහලුන් අතර ය .”

(පිටුව - 131)

“හුඹස තිබූ පමණින් ඒවායේ නයින් වසන්නේ නැත. හුඹස් බියක් ගැන සමහරුන් කියන්නේ ඒ නිසයි.

(පිටුව 173)

නව අදහස දක්වන්න