ජාත්‍යන්තර වෙළඳ පොළේ විවිධ ප්‍රවණතා ඇති වුවත් අප සෑම විටම ඉදිරියට ගියා | දිනමිණ

ජාත්‍යන්තර වෙළඳ පොළේ විවිධ ප්‍රවණතා ඇති වුවත් අප සෑම විටම ඉදිරියට ගියා

 

තේ කර්මාන්තයට වසර 150ක් පිරීම නිමිත්තෙන් තලවකැළේ පැවැති උත්සවයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියයි

විෂය දැනුමෙන් පරිණතව ක්ෂේත්‍රයේ නව මං සොයා යන පර්යේෂකයන් සඳහා රජයක් ලෙස ලබා දිය හැකි උපරිම සහාය ලබා දෙන බවත් ඉහළ ප්‍රගතියක් ඇති තේ, වැවිලි, සෞඛ්‍ය හා ධීවර ආදී ක්ෂේත්‍රයන්වල අවශ්‍ය ප්‍රතිපාදන ඉහළ නැංවීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා එසේ සඳහන් කළේ තලවකැළේ තේ පර්යේෂණාගාරයේ දී පසුගිය (21)දා උදෑසන පැවැති ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයට වසර එකසිය පනහක් සපිරීම සහ තලවකැළේ තේ පර්යේෂණ ආයතනයට වසර අනූ දෙකක සේවා කාලයක් ඇගයීම නිමිත්තෙන් පැවැති උත්සවයට එක්වෙමිනි.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගෙන් පසු තලවකැලේ තේ පර්යේෂණාගාරය වෙත පැමිණි දෙවැනි රාජ්‍ය නායකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරසේන මහතා එහි ඉතිහාසයට එක්විය. තේ පර්යේෂණාගාරය වෙත සම්ප්‍රාප්ත වූ ජනාධිපතිවරයා එහි නිලධාරීන් විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

ශ්‍රී ලංකා තේ පර්යේෂණායතනයට හා ශ්‍රී ලංකාවේ තේ වගා ක්ෂේත්‍රයට සිය ශ්‍රමය, දහඬිය, කඳුළු එක් කරමින් විශිෂ්ට සේවාවක් සිදු කළ සේවක සේවිකාවන් ඇගයීම හා ඔවුන්ට උපහාර තිළිණ ප්‍රදානයද ජනාධිපතිවරයාගේ සුරතින් සිදු විය. ශ්‍රී ලංකා තේ පර්යේෂණායතනය 1925 දී නුවරඑළිය ලින්ඩ්ෆීල්ඩ් වතුයායේ දී ආරම්භ කර කර දීර්ඝ කාලිනව රටට අනුපමේය සේවාවක් සිදු කළ ආයතනයකි.

ශ්‍රී ලංකා තේ පර්යේෂණායතනය මඟින් දීර්ඝ කාලීනව සිදුකරන ලද පර්යේෂණ මගින් සොයා ගන්නා ලද නියඟයට ඔරොත්තු දෙන ටී.ආර්.අයි. පන්දහස කාණ්ඩයේ තේ ප්‍රභේද හතරක් ප්‍රථම වරට හඳුන්වාදීමද මෙහි දී සිදු කෙරුණු අතර ඉන් එක් ප්‍රභේදයක තේ පැළයක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් තේ පර්යේෂණ භුමියේ රෝපණය කිරීමද සිදු විය. තේ පර්යේෂණායතනයේ තොරතුරු කේන්ද්‍රය ජනාධිපතිවරයාගේ සුරතින් නිල වශයෙන් විවෘත විය. නව තාක්ෂණික කෙටි පණිවිඩ සේවාව ආරම්භ කිරීමද මෙහි දී සිදු විය.

ඇමැති නවීන් දිසානායක මහතා විසින් ජනාධිපතිවරයා වෙත සිහිවටන තිළිණයක් ද පිළිගන්වන ලදී. මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද සඳහන් කළේය.

කෘෂි නිෂ්පාදනවල ශක්තියෙන් අපේ ජාතික ආර්ථිකය ශක්තිමත් වෙන බව කිව යුතුයි. අපේ ජාතික ප්‍රතිපත්තියේ තේ වගා ව්‍යාප්තිය ඉහළ නැංවීම, ප්‍රමිතිය උසස් කිරීම සඳහා අප නිරන්තරයෙන් කටයුතු කරනවා. මේ රටේ ජාතික ආර්ථිකය වෙනුවෙන් ඉතා පුළුල් කාර්යභාරයක් ඉටු කරන මෙහි සේවය කරන සෑම කෙනෙකුටම මගේ සුභාශිංසන එක් කරනවා.

තේ කර්මාන්තයට සුවිශාල ශක්තියක් ලබා දෙන දහඩිය, කදුළු හෙළන, දුප්පත් වැඩකරන ජනතාවටත් මාගේ ප්‍රණාමය හිමිවෙනවා. අපේ රටේ කඳුකරයේ තිබෙන සම්පත් කළමනාකරණය රටේ අනාගතයට ඉතාමත් වැදගත් වන බව ඔබ සැම දන්නා කරුණක්. පාංශු සංරක්ෂණය, වන සංරක්ෂණය වැනි දේ මත රටේ අනාගතය රදා පවතිනවා.

ඒ නිසා කඳුකරය සුරක්ෂිත කිරිම, ස්වාභාවික සම්පත් නිසිලෙස කළමනාකරණය කිරීමට රජය සැමවිටම ප්‍රමුඛත්වයක් ලබා දෙනවා. නමුත් ඇතැම් අවස්ථාවල දී නුවරඑළිය, මාතලේ, මහනුවර, බදුල්ල වැනි ප්‍රදේශවල කඳුකරයේ තිබෙන සම්පත් විනාශයන් පිළිබඳ වාර්තාවෙනවා. මිනිසා ප්‍රමුඛ සියලු සත්ත්වයාගේ අනාගත රඳා පවතින්නේ ස්වභාවික සම්පත් සුරක්ෂිතතාව මතයි. එක් පැත්තකින් අප තේ කර්මාන්තය දියුණු කරනවා මෙන්ම තවත් පැත්තකින් ස්වාභාවික සම්පත් ආරක්ෂා කිරීම පෝෂණය සහ සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් වැඩි ප්‍රමුඛත්වය ලබා දීම අත්‍යවශ්‍යයි.

ජාත්‍යන්තර වෙළඳ පොළේ ඇතිවන විවිධ ප්‍රවණතාවයන්, වෙනස්කම්, පරිවර්තනයන් තුළ අපේ කෘෂි නිෂ්පාදනවල පසුබෑම් ඇතිවෙනවා. මුළු ඉතිහාසය පුරා අප එවැනි තත්ත්වයන්ට මුහුණ දි තිබෙනවා. එහෙත් මේ වැවිලි කර්මාන්තය දියුණු කිරීමට ගන්නාවූ වෙහෙස ප්‍රයන්තය තුළ අප සෑම විටම ඉදිරියට ගොස් තිබෙනවා.

තේ කර්මාන්තයට අවශ්‍ය සම්පත් ලබාදීමට අප කටයුතු කරනවා. තේ පර්යේෂණට ලබාදෙන සහයෝගය ප්‍රමාණවත් නොවන බව ඇමැතිතුමා සඳහන් කළා. අපේ රටේ පසුගිය වසර පනහක හැටක කාලය සැලකීමේ දී සෑම අංශයකම පර්යේෂණ සඳහා රාජ්‍ය අනුග්‍රහය ලැබී තිබෙන්නේ ඉතාම සුළුවෙන් බව කිව යුතුයි. නමුත් ලෝකයේ සංවර්ධිත රටවල්වල ඒ සංවර්ධනය ළඟා කරගෙන තිබෙන්නේ තමන්ගේ ජාතික ආදායමින් විශාල ප්‍රමාණයක් පර්යේෂණයන් සඳහා වෙන් කිරීම තුළින් බව කිව යුතුයි. ඉදිරි කාලසීමාව තුළ තේ කර්මාන්තය ඇතුළු සියලූ ක්ෂේත්‍රයන් වැවිලි, කෘෂි, සෞඛ්‍යය, ධීවර සේ සියලූ අංශවල පර්යේෂන්ට වැඩි ප්‍රතිපාදන ලබා දී වැඩි අගයක් ලබා දීමට රජයක්ලෙස අප බලාපොරොත්තු වෙනවා.

මේ ආයතනයේ සේවය කරන පිරිසගේ සේවයේ තිබෙන ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ඇමැතිවරයාත් තවත් කිහිප දෙනෙකුත් මා දැනුවත් කළා. නිසි ලෙස සේවය ඉටු කර තිබුණද සේවය ස්ථිර කර දීම පිළිබඳ මතුව ඇති ප්‍රශ්නයක් පෙන්වා දුන්නා. එම පිරිස ස්ථිර සේවයට බඳවා ගැනීම සඳහා ඉදිරි දිනවල දී ඒ සඳහා නැවත අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කරන්නැයි මා උදෑසන පැවැති සාකච්ඡාවේ දී ඇමැතිවරයාට පවසා සිටියා.

තේ කර්මාන්තය, වැවිලි කර්මාන්තය පිළිබඳ ඉතිහාසය සැලකීමේ දී වසර එකසිය විසි පහක් එකසිය පනහක් වෙනවා. වැවිලි ක්ෂේත්‍රය සමඟ මේ රටේ දේශපාලන, ආර්ථික ප්‍රශ්නයන් මතුවෙන බව ඔබ කවුරුත් දන්නා කරුණක්. එසේම සමාජයීය ප්‍රශ්න, සෞඛ්‍ය ප්‍රශ්න මතුවෙනවා. විවිධ ක්ෂේත්‍රයන් තුළ ප්‍රශ්න මතුවෙනවා. ඒවා සංකීර්ණයි. නමුත් ඒවාට විසදුම් දෙමින් අප කටයුතු කළ යුතුයි. උඩරට කඳුකරය සැලකීමේ දී කඳුකරයේ ජීවත්වන ජනතාවගේ ජීවන තත්ත්වය, ආර්ථික තත්ත්වය, සෞඛ්‍යය තත්ත්වය, පෝෂණ තත්ත්වය පිළිබඳ අප කිසිසේත්ම සෑහීමකට පත්වෙන්නේ නැහැ.

මීට වසර දෙකකට පෙරාතුව මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අවස්ථාවේ දී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාව මා වෙත විශිෂ්ට ජයග්‍රහණයක් ලබා දුන් බව මා දන්නා කරුණක්. ඒ පිළිබඳ මා එදා මෙන් අදත් ස්තූතිය පුදකරනවා. කඳුකරයේ ජීවත් වන ජනතාවගේ ආර්ථික තත්ත්වය නඟා සිටුවීම සඳහා රජයක් ලෙස ප්‍රමුඛත්වය දී කටයුතු කරන බව කිව යුතුයි.

අපේ රටේ සෞඛ්‍යය තත්ත්වය පිළිබඳ කතා කිරීමේ දී, මන්දපෝෂණ තත්ත්වය සැලකිල්ලට ගතයුතු වෙනවා. මන්දපෝෂණ තත්ත්වය වැඩියෙන්ම වාර්තාවෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ බව කිව යුතුයි. දෙවනුව මොණරාගල දිස්ත්‍රික්කයේ බව කිව යුතුයි. එවන් තත්ත්වයක් ඇතිවී තිබෙන්නේ පෝෂණ තත්ත්වයේ තිබෙන අඩුපාඩුකම් නිසායි. සෞඛ්‍යය අංශයේ මෙන්ම මේ සම්බන්ධ සෑම ක්ෂේත්‍රයකම වගකීම් දරන නිලධාරීන් සමඟ සාකච්ඡා කර කඳුකරයේ ජීවත් වන ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට මෙන්ම සෞඛ්‍යය තත්ත්වය උසස් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ මේ වන විට සකස් කර තිබෙනවා. ඉදිරියේදීත් මේ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා.

මා මේ උත්සවයට සහභාගි වීමට එන විට කොටගල ප්‍රදේශයේ ජනතාව සමඟින් මා කතා කළා. “පාසල්වල තිබෙන අඩුපාඩු මොනවාද කියා මා පාසල් දරුවන්ගෙන් අසා සිටියා. “ජනාධිපතිතුමා අපේ ඉස්කෝලෙට ටොයිලට් නැහැ“ කියා පුංචි දරුවෙක් කෑ ගසා කිව්වා. “පාසලේ දරුවන් කී දෙනෙක් පමණ ඉගෙන ගන්නවාදැයි“ කියා මා අසා සිටියා. ළමයින් 3000 ක් පමණ සිටින බව දරුවන් කියා සිටියා. “වැසිකිළි කැසිකිළි කීයක් තිබෙනවාදැයි“ මා නැවත අසා සිටියා. ඉතා අඩු ප්‍රමාණයක් තිබෙන බව ඔවුන්ගේ පිළිතුර වුණා.

ලබන සතියේ වැසිකිළි කැසිකිළි සකසා දීමට කටයුතු කරන්නම් යැයි මා කියා සිටියා. ඔවුන්ගේ ග්‍රාමීය රෝහලට ගිලන් රථයක් නැතිය කියා ඔවුන් නැවත කියා සිටියා. එම ග්‍රාමීය රෝහලට අවශ්‍ය ගිලන් රථය හෙට අනිද්දාට මා රෝහලට ලබා දෙනවා. ජනතාවගේ දෛනික ප්‍රශ්න අසා ඒවාට විසඳුමක් ලබා දීමට හැකියාව ලැබීම පිළිබඳ මා ඉතාමත් සතුටු වෙනවා.

තිබෙන වෙනත් ප්‍රශ්න මොනවාදැයි මා අසා සිටියා. ඔවුන්ට වතුර ලැබෙන්නේ දිනකට වරක් බවත් ලැබෙන වතුර ටික දවස් දෙකට පරිස්සම් කරගෙන පාවිව්ච්චි කරන බවත් ඔවුන් කියා සිටියා. මැති ඇමැතිවරුන් සමඟ ඒ පිළිබඳ සොයා බැලීමට මා තීරණය කළා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාවගේ සමාජ, අධ්‍යාපන, සෞඛ්‍යය, ආර්ථිකය මේ සියලූ අංශ සම්බන්ධයෙන් අප රජයක් ලෙස ප්‍රමුඛත්වය ලබා දී කටයුතු කරන බව කිව යුතුයි.

නවින් දිසානායක ඇමැතිතුමා මා හිතවත් මිත්‍රයෙක් වගේම එතුමාගේ පියාත් මගේ හොඳ මිත්‍රයෙක්. ඔහු පාර්ලිමේන්තුවේ සිටින කාලයේ මම විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්. මා එවකට නවක මන්ත්‍රීවරයෙක් ලෙස එතුමා ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් වුවත් ඉතා සමීප කුළුපඟ මිත්‍රත්වයක්, සම්බන්ධතාවයක් අප අතර තිබුණා. නවීන් දිසානායක ඇමැතිතුමා තමන්ගේ වගකීම් මැනවින් ඉටුකරන තරුණ ඇමැතිවරයෙක් ලෙස එතුමාගේ අමාත්‍යාංශයේ කටයුතු සාර්ථකව ඉටු කිරීම සඳහා අවශ්‍ය සියලූ සහයෝගය අප ලබා දෙනවා.

ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයට වසර 92 ක් සම්පූර්ණ වන අවස්ථාවේ ආයතන කළමනාකරණයත් සාමාන්‍ය ජනතාවගේ දුක හඳුනන සභාපතිවරයෙක් මේ ආයතනයේ සිටීම පිළිබඳ මා ඉතාමත් සතුටු වෙනවා. බොහෝ ඉහළ තනතුරු දරන අයට තමාගේ තනතුර නිසා පුංචි මිනිසුන්ගේ දාඩිය සුවඳ, දුක්ගැනවිලි අමතක වෙනවා. එය අපේ රටේ බොහෝ ආයතනවල දකින ලැබෙන දෙයක්. තේ පර්යේෂණ ආයතනයෙහි අධ්‍යක්ෂකතුමා ඇතුළු සියලූ දෙනාටම සුබ පතමින් ඔබ සෑම කෙනෙක්ටම රජයක් ලෙස රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ ලබා දියහැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගනිමින් ඔබේත් රටේත් දියුණුව වෙනුවෙන් ගත හැකි සෑම සේවාවක්ම නොපිරිහෙලා ඉටුකරනවා.

මෙහි දී අදහස් දැක්වු වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා - ශ්‍රී ලංකා තේ පර්යේෂණායතනය 1925 දී නුවරඑළිය ලින්ඩ්ෆීල්ඩ් වතුයායේ දී ආරම්භ කර තිබෙනවා. තේ කර්මාන්තය දුර ඈත ඉතිහාසයකට උරුමකම් කියනවා. නමුත් තේ ඇතුළු වැවිලි කර්මාන්තයට මෙතෙක් රජයේ නිසි සැලකිල්ල ලැබී නැති බව මගේ අදහසයි.

තේ කර්මාන්තයේ සංවර්ධනයට නව තේ ප්‍රභේද හඳුන්වාදීමට තේ පර්යේෂණ ආයතනයට හැකියාව ලැබී තිබෙනවා. එනම් ප්‍රධාන අංශ නවයක් යටතේ සිදු කළ පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙසයි. දීර්ඝ කාලිනව සිදු කළ පර්යේෂණවල ප්‍රතිඵල ලෙස නියඟයට ඔරොත්තු දෙන ටී. ආර්.අයි පන්සියය කාණ්ඩයේ ප්‍රභේද පවා ප්‍රථම වරට හඳුන්වා දීමට හැකිවී තිබෙනවා. එය රටක් ලෙස අප ලැබී ජයග්‍රහණයක් බව කිව යුතුයි.

කඳුරට නව ගම්මන යටිතල පහසුකම් සහ ප්‍රජාසංවර්ධන ඇමැති පලනි දිගම්බරන්, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පී. රාධ ක්‍රිෂ්නන්, වැවිලි කර්මාන්ත නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් වසන්ත පෙරේරා තේ පර්යේෂණායතනයේ සභාපති වෛද්‍ය එම්.එම්.ජේ.පී. ගවරම්මාන යන මහත්වරුන්ද මැති ඇමැතිවරුන්, සේවක සේවිකාවන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නිරුෂි විමලවීර හා නුවරඑළිය සමූහ- සී. මහගම
ඡායාරූප ජනාධිපති මාධ්‍ය අංශය

නව අදහස දක්වන්න