හරි පාරට ආණ්ඩුව ගන්න මන්ත්‍රීකමේ ඉන්නවා | දිනමිණ

හරි පාරට ආණ්ඩුව ගන්න මන්ත්‍රීකමේ ඉන්නවා

පබුදු සපුතන්ත්‍රි

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතනහිමි

ස්වාධීන වීමට ගත් තීරණය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විවිධ පාර්ශවවලින් මතුවන විවිධ මතවාද මන්ත්‍රීධුරයෙන් ඉවත් නොවීම පිළිබඳ නැඟෙන විවේචන ද ඇතුළුව වත්මන් දේශපාලන කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි සමඟ එහා ඉවුර කළ කතා බහ.

* යහපාලන ආණ්ඩු බලයට පත් කරන්නට පුරෝගාමී මෙහෙවරක් කළ ඔබ වහන්සේ ආණ්ඩුවට වසර දෙකක් ගත වූ තැන ස්වාධීනව කටයුතු කරන්න තීරණය කළේ ඇයි?

ස්වාධීන වීම යන්නෙන් මට සමාජයට කියන්න ඕන කළේ, මම අදහස් දක්වන්නේ කිසිම පක්ෂයක නැති ස්වාධීන පුද්ගලයෙක් කියන එකයි.

*මේ ස්වාධීන වීම නිසා ඔබ වහන්සේ කවදාවත් ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු නොවෙයි ද?

ආණ්ඩුවෙන් යන කතාවක් මම කොයි වෙලාවකවත් කිවුවේ නෑ. ආණ්ඩු පක්ෂයේ මම ඉන්නවා. මම කරන ප්‍රකාශවලට අදහස්වලට පක්ෂයක් හෝ වෙනත් පුද්ගලයෙක් වගකිව යුතු නෑ කියන එකයි ස්වාධීන වෙනවා කියලා මම කෙටියෙන්ම කිවුවේ.

*ඔබ වහන්සේට මෙහෙම තීරණයක් ගන්නට සිදු වුණේ ඇයි?

මම ස්වාධීනව විශාල ප්‍රබුද්ධ පිරිසක් එක්ක විශාල බලපෑමක් කරලා තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා බලයට පත් කරන්න වැඩ කළේ. මම ඒ මිනිස්සුන්ට උත්තර දෙන්න ඕනා. ඒ නිසා මට මගේ අදහස් සමාජගත කරන්න අයිතියක් තියෙනවා. නැත්නම් මම ගොළුවෙක් වගේ නිහඬව ඉන්නවා මේ ඔක්කොම සිද්ධ වෙද්දී කියලා ඒ මිනිස්සු හිතනවා.

*මේ ස්වාධීන වීම හරහා ඔබ වහන්සේ බලාපොරොත්තු වෙන්නේ වගකීම්වලින් නිදහස් වෙන්න ද?

මේ වෙන හැම දුර්වල වැඩකටම අපිත් වගකියන්න ඕන. ඒ හින්දා ඒවා නිවැරදි කර ගන්න එක මගේ වගකීමක්. මම මේ ආණ්ඩුවේ ඉන්නවා. කිසි ප්‍රශ්නයක් නෑ.

*ඔබ වහන්සේ ස්වාධීන වන්නේ ආණ්ඩුව ඔබ වහන්සේගේ හඬට කන් නොදීම නිසා කියලා සමාජයේ මතයක් තියෙනවා.

නෑ. මේ ආණ්ඩුව එක්ක මම සාධනීය වැඩ ගොඩක් කරලා තියෙනවා. සරල උදාහරණයක් ගත්තොත් වස විසෙන් තොර ගොවිතැන කියන එක. පසුගිය රාජපක්ෂ ආණ්ඩුව කාලේ ‘රවුන්ඩප්’ තහනම් කර ගන්න බැරි වුණා.

අපි මේ ආණ්ඩුවෙන් ඒක තහනම් කළා. ඒ වගේම වස විසෙන් තොර ගොවිතැන කියන සංකල්පය මහා පරිමාණ ව්‍යාපෘතියක් බවට පත් කරන්න අගමැතිතුමාත්, ජනාධිපතිතුමාත් දෙන්නම මට විශාල සහයෝගයක් දුන්නා. කවුරුත් මට බාධා කළේ නෑ. ඉතින් කොහොම ද යහපාලන ආණ්ඩුව මම කියපු කාරණා ගණන් ගත්තේ නෑ කියලා කියන්නේ.‍

*ඔබ වහන්සේ ස්වාධීන වෙලා කරන ප්‍රකාශ නිසා යහපාලන ආණ්ඩුවේ ප්‍රතිපත්ති සමග ගැටුමක් ඇති වෙන්න ඉඩ තියෙනවා නේ ද?

ගැටුණට කමක් නෑ. මම මගේ අදහස් ඉදිරිපත් කරන්නේ ජනමතයක් ගොඩනැඟීම සඳහායි.

*වස විසෙන් තොර ගොවිතැන ගැන නඟන හඬ තරම් වැඩ වෙන්නේ නෑ කියලා කියන්නේ ඇත්ත ද?

සමහර අය කරුණු හරි හැටි නොදැන ඒක අසාර්ථකයි කියලා කියනවා. මේ පාර වැස්ස නෑ. වැව්වල වතුර නෑ. මේ කාරණයේ බලපෑම නිසා අපේ අක්කර පනස් දාහේ ඉලක්කය අක්කර දහදාහකට විතර සීමා කරන්න සිදු වුණා. නමුත් පළමු වතාවට කාබනික පොහොර ටොන් පන්දාහක් නිෂ්පාදනය කළා. ලෝකයේ කිසිම රටක එහෙම කාබනික පොහොර නිෂ්පාදනය කරලා නෑ.

මම ඉතා සන්තෝසයෙන් කියනවා අපි කරපු පර්යේෂණය සාර්ථකයි. මෙතෙක් කලක් අපේ රටේ කාබනික පොහොර කිවුව කැළි කසල දිරාපත් කරවන එක වෙනුවට ක්ෂුද්‍ර ජීවී කාණ්ඩ පිළිබඳ පර්යේෂණය කරලා ඉතා සාර්ථකව කාබනික පොහොර නිෂ්පාදනයක් හඳුන්වා දෙන්න අපේ විද්‍යාඥයෝ සමත් වුණා. එම පොහොර පොදු වශයෙන් නියගයට ඔරොත්තු දෙනවා. ලැබෙන අස්වැන්න වැඩි වෙනවා. රෝගාබාධ අඩුයි. වල් නාශක කෘමි නාශක අවශ්‍යතාවය ඉතා අඩුයි.

*කාබනික පොහොර යොදාගෙන සාර්ථකව වගා කළ හැකි බීජ නිපදවීම ගැන පර්යේෂණ තවම ආරම්භ කරලා නෑ නේ ද?

රටට අවශ්‍ය, ගැලපෙන බීජ සම්බන්ධව පර්යේෂණ ආරම්භ කළ යුතුයි. දැනට අපේ රටේ කරන්නේ බිත්තර වී නිෂ්පාදනය හා අභිජනනය පමණයි. මේ නිසා බීජ සඳහා වාර්ෂිකව රුපියල් බිලියනයකට අධික විනිමය ප්‍රමාණයක් විදේශයට ඇදී යනවා.

*නොදුටු ව්‍යවස්ථාවක් මුල් කරගෙන ඔබ වහන්සේ දේශපාලන තීන්දුවක් ගෙන ඇති බව මාධ්‍යවල පළ වුණා. මේ කාරණය ඇත්ත ද?

ව්‍යවස්ථාව සම්බන්ධයෙන් කමිටු හයේම වාර්තා අරගෙන සංකලන පත්‍රිකාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඕන නම් මේ ආණ්ඩුවට ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධනයක් කරන්න පුළුවන්. මොක ද මේක ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක්. හැබැයි යථාර්ථවාදීව කල්පනා කරලා බැලුවම මේ ආණ්ඩුවට එහෙම හැකියාවක් නෑ.

එජාපයට වැඩි ආසන ගණනක් ඇත්තෙත් නෑ. ආණ්ඩුවට සහය දෙන ශ්‍රීලනිප කණ්ඩායමට වැඩි ආසන ගණනක් ඇත්තෙත් නෑ. පසුගිය රාජපක්ෂ ආණ්ඩුවට ඒ දේ කරන්න හැකියාව තිබුණා. 2/3 බලයක් තියාගෙනත් ඒ අය ඒක කළේ නෑ.

ජනාධිපතිවරණයේ දී ජනාධිපතිතුමා 50%කට වඩා බහුතර බලයක් අරන් දිනුවා. එතුමාගේ මෛත්‍රී පාලනයක් කියන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 14 වැනි පිටුවේ දැනට පවතින අත්තනෝමතික විධායක ක්‍රමය වෙනුවට කැබිනට් මණ්ඩලයට හා පාර්ලිමේන්තුවට සම්බන්ධ විධායකයක් සහිත ආණ්ඩුක්‍රමයක් හඳුන්වාදීම සිදු කළ යුතුයි කියලා පැහැදිලිව දක්වා තියෙනවා.

ඒ වගේම එතුමා ජනමත විචාරණයට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධනයක් කරන්නේ නෑ කියලා. එතුමා එහෙම කිවුවා නම් එහෙම එකක් කරන්න පොළඹවන්නේ ඇයි.

*ඔබ වහන්සේ කියන්නේ නව ව්‍යවස්ථාවක් සකස් කිරීම අත්‍යවශ්‍යයි කියල ද?

අපි වෙනස් කරනවා කිවුවේ මැතිවරණ ක්‍රමය. ඒක කරන්න පුළුවන්. කරන්න පුළුවන් දේ කරන්නේ නැතිව කරන්න බැරි දේ අල්ලගෙන දඟලන්නේ ඇයි. මේක කරන්න ගියාම වෙන්නේ අනවශ්‍ය අර්බුදයකට යෑමක්. අෙප් තියෙන සම්මුතීන් බිඳ වැටීමක්. රටේ ඒකීය භාවයට හානි කරනවා, රට බෙදනවා කියලා මහා සද්දයක් ආවේ ඒ නිසයි. මේවායින් වෙන්ෙන් විපක්ෂයට රටේ මිනිස්සුන්ව අවුස්සන්න ඕන තුරුම්පු ටික හදලා දෙන එකයි.

*ව්‍යවස්ථාවක් සකස් කරන්න රජයට වුවමනාවක් හෝ අයිතියක් නැත්නම් ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබා දෙන්නේ කොහොම ද?

ඒකීය භාවය ඇතුලේ උතු‍රු - නැඟෙනහිර මොකක්ද කරන්න පුළුවන් කියලා අපි කතා කරමු. ඒක ප්‍රශ්නයක් නෑ. අපි ඉස්සෙල්ලාම බලන්න ඕන උතුරේ ජනතාවට තියෙන සැබෑ ප්‍රශ්න මොනවා ද කියලයි. පසුගිය කාලයේ උතුරේ ඇවිද්දා‍. ගොඩක් පාසල්වලට ගුරුවරු නෑ. සමහර මිනිස්සු තවම ජීවත් වෙන්නේ ටකරන් යට. ගොවි නිෂ්පාදන විකුණා ගන්න බැහැ.

දුම්කොළ වගාව නිසා බොන්න වතුර නෑ. භූගත ජලය දූෂණය වෙලා. මුලින්ම උතුරේ ජනතාවට බලපාන මේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන්න ඕන. ගොවි නිෂ්පාදන විකුණ ගන්න වෙළෙඳ පොළක් ඇති කළ යුතුයි. උතුරේ කෘෂි කර්මාන්තය මහා පරිමාණයෙන් දියුණු කරන්න වැඩ කරන්න ඕනා. මෙහෙම වැඩ කරන කොට උතුරේ ජන ජීවිතය ආර්ථික වශයෙන් උඩට ගැනීමට හැකි වෙනවා. එවිට අපට ඒ මිනිස්සුත් එක්ක කතා කරන්න ඉඩක් ඇති වෙනවා. දේශීය හෝ වි‍ෙද්ශීය ආයෝජනවලින් කර්මාන්ත ඇති කරලා උතුරේ තරුණ විරැකියාවට විසඳුම් සොයා දෙන්න ඕන.

*උතුරේ ජනතාවට ඉඩම් බලතල ලබාදීම ගැනත් කතා කළොත්?

13වැනි සංශෝධනයේ ඉඩම් බලතල ගැන කියලා තියෙනවා. සමගාමී ලැයිස්තු තියෙනවා. බෙදන ලද කොටස තියෙනවා. පොදු කොටසක් තියෙනවා. ඉඩම් බෙදා දීමට අවශ්‍ය සාමාන්‍ය බලතල ලැබිලා තියෙනවා.

හැබැයි උතුරේ ඉඩම් දෙන්න ඕනෙ ගොවි ජනතාවටයි. මධ්‍යම රජයෙන් ඉඩම් කොමිෂන් සභාවක් හදන්න ඕනෙ. ඒ කොමිෂන් සභාව උතුරේ ජනතාව නියෝජනය කරන්න ඕන. රටේ ඉඩම් සම්බන්ධ ප්‍රතිපත්ති, තීන්දු තීරණ පළාත් සභාවකට පවරන්න බෑ. මේක උතුරටත් පොදුයි දකුණටත් පොදුයි. උදාහරණයක් ගත්තොත් මධ්‍යම කදුකරයේ යම් කිසි ව්‍යාපෘතියක් ආරම්භ කරන්න එම ප්‍රදේශය අයත් පළාත් සභාව තීන්දු ක‍ළහොත් ඒක මුළු රටටම බලපානවා. එවැනි කරුණු තීරණය කරන්න පළාත් සභාවකට බෑ. උතුරෙත් එහෙමයි.

මෙහෙ තීරණයක් ගත්තොත් උතුරට වතුර නැති වෙනවා. වන සම්පත්, අභය භූමි, වැසි වනාන්ත, ආදී පාරිසරික සාධක පරිසරයේ පැවැත්වමට ඉතා වැදගත්. ඒ නිසා රටේ ඉඩම් සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි. උතුරේ ඉඩම් බෙදනවා නම් ප්‍රමුඛතාවය ලබා දෙන්න ඕනා. උතුරේ ජනතාවට ඉඩම් නැති ජනතාවට ඉඩම් දෙනවට විරුද්ධ වෙන්නේ කවු ද. ඉඩම් අයිතිය දෙන්න ඕනෙ දේශපාලනඥයන්ට නොවෙයි ජනතාවටයි.

*පළමුවෙන්ම කරන්න ඕන ඉඩම’ නැවත ලබාදීම නේ ද?

මුදාහැරිය හැකි ඉඩම් විශාල ප්‍රමාණයක් මේ වන විටත් මුදාහැර තියෙනවා. ඉතිරි ටිකත් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන ආකාරයට මුදාහරින්න කටයුතු කරන්න ඕනා.

*විපක්ෂයේ ඇතැම් අය හුවා දක්වන්නේ ඔබ වහන්සේගේ ස්වාධීන වීම ආණ්ඩුවේ දෙවන දත ගැලවීම ලෙසයි. මේක ඇත්ත ද?

එක එක්කෙනාට එක එක අර්ථකථන දෙන්න පුළුවන්. ආණ්ඩුවේ හිටියත් මට ජනතාව ගැන වගකීමක් තියෙනවා. මම ඉෂ්ට කළේ ඒක. ඒ හැර වෙන දෙයක් නෑ. පසුගිය ආණ්ඩුව ජේම්ස් පැකර්ගේ පනත ගේන කොට මම විරුද්ධව ඡන්දෙ දුන්නේ ආණ්ඩුවේ ඇතුලේ ඉදගෙනයි.

යම්කිසි ජාතික වැඩපිළිවෙළක දී අපට ඕනෑම කෙනෙක් එක්ක එකතු වෙන්න පුළුවන්. රටේ ඒකීය භාවය පිළිබඳ ප්‍රශ්නයේ දී අපට එකඟ වෙන්න පුළුවන් බලවේග ඉන්නවා. ඔය කෑ ගහන පොදු විපක්ෂයට රටේ ආර්ථිකය ගැන කිසිම අදහසක් නෑ. පසුගිය කාලයේ ඒ අය කළේ කාබාසිනියා ආර්ථිකයක් ඒ අයත් එක්ක එකතුවෙලා මට කතා කරන්න දෙයක් නෑ.

මට ඕන කෙනෙක් එක්ක සාකච්ඡා කරන්න පුළුවන්. ඒක කාටවත් ප්‍රශ්නයක් නෑ. අපේ සභාවකට ඕන කෙනෙකුට එන්න පුළුවන්. එහෙම එකතු වීමක් අවශ්‍යයි. හැබැයි ආණ්ඩු පෙරලන්න නොවෙයි. එහෙම මේ ආණ්ඩුව පෙරළන්න කාටවත් බෑ. මහින්ද මහත්තයාට බහුතර ආසන ගාණනක් නෑ. එතුමාට ආයේ ඡන්දෙ ඉල්ලන්නත් බෑ. එතුමා කොහොම ද 2/3ක් ගන්නේ? ඒ නිසා ආණ්ඩුව පෙරළනවා කියන කතා මහ විහිළුවක්.

*හම්බන්තොට යෝජිත ආයෝජන කලාපය ගැන ඔබ වහන්සේ හිතන්නේ කොහොම ද?

ලංකාව කාර්මික කලාපයක් කළ යුතුයැයි සමහර අයගේ ඔළුවේ තියෙනවා. එජාපයත් හැමදාම කල්පනා කළේ එහෙමයි. හැබැයි එජාපයටත් ඊට වඩා වෙනස් විදිහට හිතන්න දැන් ඉඩක් තියෙනවා මොක ද දැන් ලෝකය ගොඩක් වෙනස්. ඔය කියන විදිහට විදේශ ආයෝජකයෝ හෝ ගාලා එන්නේ නෑ. සල්ලි තියෙන්නේ චීනයට විතරයි.

අපේ රට දියුණු කරන්න අමු ද්‍රව්‍ය මත මොන කර්මාන්ත ද අපට බිහි කරන්න පුළුවන් කියලා අපි තීරණය කළ යුතුයි. ඒවා අපේ පරිසරයට හානිදායක ද, ඒවායින් විකිරණශීලී ද්‍රව්‍ය පිට වෙනවා ද, විෂ වායු පිට වෙනවා ද කෙතරම් දුරට ජන ජීවිතයට හානිකර ද කියලාත් බලන්න ඕන. මේවා සොයා බලලා කර්මාන්ත ආරම්භ කළාට කවුරුවත් විරුද්ධ වෙන්නේ නෑ. එහෙම නැතිව හම්බන්තොටින්, මොනරාගලින් අක්කර පහළොස් දහසක් වෙන් කළාම ප්‍රශ්නයක්.

*හම්බන්තොට වරායෙන් මත්තල ගුවන්තොටුපළින් ආදායම් ලබා ගන්න නම් ඒ ප්‍රදේශ ආශ්‍රිතව කර්මාන්ත ආරම්භ කළ යුතුයි නේ ද?

මම මුලින් කිව්වා වගේ හම්බන්තොට කර්මාන්ත දානවාට මම විරුද්ධ නෑ. ඒ කර්මාන්ත මොනවා ද, ඒවායෙන් කොපමණ රැකියා උත්පාදනය වෙනවා ද කියන කාරණය අනුව ඒ ගැන තීරණය කරන්න ඕනා. ලංකාව ගොඩ දාන්න පුළුවන් කාර්මීකරණයකින් නොවෙයි. තවම කෘෂි කර්මාන්තයෙන් 10%ක් තරම් ප්‍රමාණයක් තමයි අපේ ආර්ථිකයට එකතු කර ගන්නේ. ඒක 40%කට ගේන්න බැරි ඇයි. ගොවිතැන පසුගාමී කියලා හිතනවා නම් ඒවා වැරදි වැටහීම්.

*ඔබ වහන්සේ ස්වාධීන වීම සදාචාර සම්පන්න නොවන බවටත්, ඔබ වහන්සේගේ ක්‍රියා කලාපය මානසික විපර්යාසයකින් කළ ක්‍රියාවක් බවටත් ජාතික හෙළ උරුමයේ නියෝජිතයන් නඟන චෝදනාවලට ඔබ වහන්සේ නිහඬ ඇයි?

දැන් මේ රටේ ඕන කෙනෙකුට බය නැතුව කතා කරන්න ලියන්න පුළුවන්. ඕවාට මම කලබල වෙන්නේ නෑ. ඒවාට පිළිතුරු ලබාදීමට කාලයට ඉඩ දෙනවා.

 

නව අදහස දක්වන්න