එක්නැලිගොඩ පරීක්ෂණ අත්හිටුවන නියෝග ඉවතට | දිනමිණ

එක්නැලිගොඩ පරීක්ෂණ අත්හිටුවන නියෝග ඉවතට

නෙල්කා මැදගෙදර

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන්වීම සම්බන්ධයෙන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයෙහි පැවැත්වුණු මූලික පරීක්ෂණ අත්හිටුවමින් නිකුත් කරන ලද අතුරු තහනම් නියෝගය ඊයේ (23) ඉවත් කළ අභියාචනාධිකරණය එම පරීක්ෂණ දිගටම කරගෙන යන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය.

අතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා සිටින තැනකින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ඔහුගේ බිරිය සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ගොනු කළ හබයාස් කෝපුස් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණය මෙම නියෝගය කෙළේය.

එම මහේස්ත්‍රාත් අධිකරණයෙහි නඩු විභාගය අවසන් වී එහි වාර්තාව ලැබෙන තෙක් අභියාචනාධිකරණය හමුවෙහි ඇති හබයාස් කෝපුස් පෙත්සම බහා තැබීමට නියම කෙළේය. අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා සහ අභියාචනාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා හමුවෙහි මේ පෙත්සම කැඳවන ලදී.

ඊයේ (23) මේ පෙත්සම කැඳවන ලද අවස්ථාවේදී මේ පෙත්සමට පසුව එකතු කරන ලද වගඋත්තරකරුවන් වූ යුද හමුදාපතිවරයා සහ යුද හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂවරයා මේ නඩු විභාගයෙන් ඉවත් කරන ලෙස ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. හබයාස් කෝපුස් පෙත්සම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන පරීක්ෂණ මත පැවැත්වෙන නඩු විභාගයෙහි ඇත්තේ එකම කරුණු ද යන්න තීරණය කිරීමේ අභිමතානුසාරි බලය හෝමාගම මහේස්ත්‍රාත්වරයා සතු වන බව එහිදී සඳහන් විය. කරුණු සලකා බැලූ අධිකරණය එම නඩු විභාගයන් දිගටම හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයෙහි පවත්වාගෙන යා හැකි පරිදි අතුරු තහනම් නියෝග ඉවත් කෙළේය.

නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය මහතා එක්නැලිගොඩ මහත්මිය වෙනුවෙන් පෙනී සිටියේය.

 

නව අදහස දක්වන්න