නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇත්තටම කුමට ද? | දිනමිණ

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇත්තටම කුමට ද?

 

රටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යද නැද්ද යන ප්‍රශ්නය මේ දිනවල මේ රටේ දේශපාලන ක්ෂේත්‍රය තුළ වාද විවාදයට ලක්වන තවත් වැදගත් දේශපාලන මාතෘකාවක් බවට පත්ව තිබේ. රටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යද නැද්ද යන්න ප්‍රශ්නයට වඩා බොහෝ දෙනෙක් කතා කරන්නේ දැනටමත් සම්පාදනය කර ඇතැයි උපකල්පනය කරන සිතින් මවාගත් මනෝමූලික ව්‍යවස්ථාවක් ගැනය.

සමහරු මේ මනෝමූලික ව්‍යවස්ථාව දකින්නේ බටහිර අධිරාජ්‍යවාදීන්ට රට අල්ලා ගැනීමට ඉඩ සැළසීමට සකස් කරන ලද මර උගුලක් ලෙසය. තවත් සමහරු එය දකින්නේ රට කොටස් නවයකට බෙදා ස්වාධීන රාජ්‍යයන් නවයක් බිහිවීමට මග පාදන සහ එම රාජ්‍යයන් අතර යාමට ඊමට වීසා ගැනීමට අවශ්‍ය වන අයුරින් රට කෑලි කෑලිවලට බෙදමින් රටේ භෞමික ඒකාග්‍රතාව විනාශ කර දැමීමට අවශ්‍ය අඩිතාලම දමන දේශ ද්‍රෝහී ව්‍යවස්ථාවක් ලෙසය. තවත් සමහරු එය දකින්නේ 1972 සහ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දෙකෙන් බුද්ධාගමට දී ඇති තැන සහ එම ව්‍යවස්ථා දෙකෙන් සහතික කර ඇති ඒකීය රාජ්‍ය ක්‍රමය විනාශ කරමින් දෙමළ ඩයස් පෝරාවේ ඕනෑ එපාකම් ඉටු කිරීමට පෙඩරල් රාජ්‍යයක් බිහි කිරීමට දරන උත්සාහයක් ලෙසය.

මෙම අන්තවාදී මතවලට වෙනස්ව යමින් සමහරු කියා සිටින්නේ රට මුහුණ දී ඇති දේශපාලන, ආර්ථික හා සමාජ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය නොවන බවත් පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමෙන් එම ප්‍රශ්නවලට විසඳුම් සොයාගත හැකි බවත්ය. මේ එක් එක්කෙනා අලුතින් සෑදීමට යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන ගැන කියන කතාන්දරය.

මෙම කතාන්දරවල ඇත්ත නැත්ත වෙනම සොයා බැලිය යුතුය. මෙම කතාන්දර ගැන කතා කිරීම පසුවට තබා අද මේ මොහොතේ රට තුළ උද්ගතව තිබෙන සමහර දේශපාලන, ආර්ථික හා සමාජ ප්‍රශ්න දෙස තාර්කිකව සහ විචක්‍ෂණාත්මකව බැලූව හොත් යළිත් වරක් ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ සැබැවින්ම මේ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා රටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යද යන්නය.

රටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව කෙසේ වෙතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුළින් පිළිතුරු සොයා ගතයුතු බරපතළ ප්‍රශ්න කිහිපය මේ මොහොතේ මේ රට මුහුණ පා තිබෙන බව නම් පැහැදිලිවම පෙනී යයි. මෙයින් ප්‍රථම එක වන්නේ 1978 වර්ෂයේ දී ස්ථාපිත කොට අද දක්වා ක්‍රියාත්මක වෙමින් පවතින දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ප්‍රජාතන්ත්‍රවාදය යන කඩතුරාවට මුවා වී ගොඩ නගා තිබෙන ආඥාදායක ජනාධිපති පාලන ක්‍රමයෙන් රට සහ ජනතාව මුදවා ගැනීමේ අවශ්‍යතාවයයි.

ජනාධිපති විධායකයක් සහිත වර්තමානයේ ක්‍රියාත්මක වන ආණ්ඩුක්‍රම දෙස බැලූව හොත් පැහැදිලිවම පෙනීයන්නේ ලෝකයේ ප්‍රබලම ජනාධිපති විධායකය ලෙස සළකන ඇමරිකානු ජනාධිපති විධායකයටත් වඩා 1978 ව්‍යවස්ථාව යටතේ ගොඩනගා ඇති ජනාධිපති විධායකය ප්‍රබල එකක් වන බවය. පුදුමයට හේතුව මෙයාකාරයට අධි බලතල ප්‍රමාණයක් විධායක තනතුර වටා ඒකරාශි කිරීම නොව එම බලතල කිසිදු ආකාර සංවරනය කිරීමකට යටත් නොකොට නිලය දරන තැනැත්තාගේ අභිමතයට අනුව නිදහසේ ක්‍රියාවට නැංවීමට ඉඩ සැලසීමය. මෙයාකාරයට ගොඩ නගන විධායක ආඥාදායකත්වය රටේ මූලික නීතිය මගින්ම තව දුරටත් තහවුරු කරන්නේ ජනාධිපති තනතුර නීතියට යටත් නොවන තත්ත්වයට පත් කිරීම මගිනි.

ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක පදනම ගොඩ නැ‍ඟී තිබෙන ව්‍යවස්ථානුකූල පාලනය සහ නීතියේ ආධිපතිත්වය යන මූලික මූලධර්ම දෙකම 1978 ව්‍යවස්ථාව මගින් ගොඩනැගූ ජනාධිපති තනතුර මගින් බරපතළ ලෙස විනාශ කරන අතර එම තනතුර වූ කලී සැබැවින්ම ප්‍රජාතන්ත්‍රවාදය නමැති සළු පිලියෙන් ආවරණය කරන ලද භයානක ආඥාදායකත්වයක් බව යළි යළිත් කීම අනවශ්‍ය වේ.

1978 සිට මේ දක්වා අවුරුදු 38 ක කාලයක් මුළුල්ලේ ක්‍රියාත්මක වෙමින් පවතින මෙම ආඥාදායක ජනාධිපති විධායක පාලන ක්‍රමයෙන් සිදුවූයේ 1832 කෝල්බෲක්-කැමරන් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණවලින් පටන් ගෙන මේ රට සහ ජනතාව අනුක්‍රමයෙන් වර්ධනය කරගෙන භුක්ති විඳිමින් සිටි ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණ ආයතන පද්ධතිය, ප්‍රජාතන්ත්‍රවාදී සාරධර්ම පද්ධතිය සහ ප්‍රජාතන්ත්‍රවාදී ජීවන රටාව මුළුමණින්ම විනාශ වී යාමය.

ඉතාම කෙටියෙන් කියනවා නම් 1948 දී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් නිදහස ලබන විට බටහිර ජාතීන් විසින් මේ රට හැඳින්වූයේ ප්‍රජාතන්ත්‍රවාදය නමැති අත දරුවා නැලවෙමින් සිටින තොටිල්ල ලෙසය. නමුත් 2015 ජනවාරි 08 දින පැවැත්වූ ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා පරාජයට පත්වන අවස්ථාව වන විට අන්තර්ජාතික සමාජය තුළ මේ රට හැඳින්වූයේ භයානක ආඥාදායක පාලනයක් සභික ගෝත්‍රික රටක් ලෙසය.

යහපාලන ආණ්ඩුව විසින් ක්‍රියාවට නැංවූ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් මෙම ආඥාදායකත්වය යම් ප්‍රමාණයකින් යටපත් වූවද එම උවදුර මුළුමනින්ම පහව ගියායැයි කිසිසේත්ම කිව නොහැක. එසේනම් එම උවදුර වලක්වා ගත හැක්කේ පවතින ජනාධිපති ක්‍රමය මුළුමණින්ම වෙනස් කිරීම මගින් පමණක් බව අමුතුවෙන් කිවයුතු නැත. මෙය කළ හැක්කේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් මිස වෙනත් ක්‍රමයකින් නොවේ.

1948 දී ලබාගත් නිදහසින් පසුව මේ දක්වා ගෙවීගිය අවුරුදු 68 ක කාලය තුළ ශ්‍රී ලංකාව අසමත් වූ තවත් එක් කරුණක් ලෙස පෙන්වා දීමට පුළුවන් වන්නේ රට ඉදිරියට යා යුතු දිශානතිය පෙන්වා දෙන ජාතික දර්ශනයක් ගොඩනගා ගැනීමට නොහැකි වීමයි. ජාතික දර්ශනයට පදනම සපයන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගිනි. එය හඳුන්වන්නේ ව්‍යවස්ථානුකූල දර්ශනය ලෙසය. දේශපාලන, ආර්ථික හා සමාජීය වශයෙන් රට ඉදිරියට යා යුතු මාර්ගය කුමක්ද යන්න පෙන්වා දෙන්නේ එමඟින් ය.

වෙනත් ආකාරයකට කියනවා නම් රට ඉදිරියට යා යුත්තේ ධනවාදය හා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය පදනම් කරගෙනද? නැතිනම් සමාජවාදය පදනම් කරගෙනද? එසේත් නැතිනම් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය පදනම් කරගෙනද? යන්න පෙන්වා දෙන්නේ ව්‍යවස්ථානුකූල දර්ශනය මගිනි. 1948 සිට මේ දක්වා මේ රට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා තුනක් යටතේ පාලනය වූවද රටට ගැලපෙන ව්‍යවස්ථානුකූල දර්ශනයක් සපයා දීමට මේ කිසිදු ව්‍යවස්ථාවකට හැකිවූයේ නෑ. මෙහි ප්‍රතිඵලය වූයේ ඒ ඒ අවස්ථාවේ දී බලයට පත්වන දේශපාලන පක්‍ෂයේ හා එහි නායකයින්ගේ පෞද්ගලික අදහස් උදහස් හා මතිමතාන්තර අනුව රටේ දේශපාලන ක්‍රමය, ආර්ථික ක්‍රමය හා සමාජ ක්‍රමය මෙහෙයවීම හා හැසිරවීමය.

නිදසුන් ලෙස 1948-1956 කාලය තුළ බලයේ සිටි එක්සත් ජාතික පක්‍ෂය විසින් රටේ දේශපාලන හා ආර්ථික ක්‍රමය මෙහෙයවූයේ ධනවාදය සහ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය පදනම් කර ගෙනය. 1956-1977 කාළය තුළ අවුරුදු පහක කාලයක් හැර රට පාලනය කළ බණ්ඩාරනායකවරුන් රටේ දේශපාලන හා ආර්ථික ක්‍රමය මෙහෙයවූයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය පදනම් කර ගෙනය.

1977-1994 දක්වා බලයේ සිටි එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපතිවරුන් යළිත් වරක් ධනවාදය හා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය අනුගමනය කරන අතර 1994 න් පසුව අද දක්වා දැකිය හැක්කේ බලයට පත් වූ කිසිදු රාජ්‍ය නායකයෙකුට ස්ථිර ආර්ථික හා දේශපාලන දර්ශනයක් නොමැති බවය. මෙහි ප්‍රතිඵලය වී ඇත්තේ ඉතාමත් නරක ආකාරයට රටේ දේශපාලන හා ආර්ථික ක්‍රමය අයාලේ යාමය. මෙය නිවැරදි කර ගැනීමට නම් නිශ්චිත දේශපාලන හා ආර්ථික දර්ශනයක් සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීමෙන් පමණි.

මේ මොහොත වනවිට මේ රට මුහුණ දී ඇති බරපතළම ප්‍රශ්නයක් වන්නේ ජාතිය හා රාජ්‍ය ගොඩ නැංවීමේ අර්බුදයයි. නිදහස ලබා අවුරුදු 69 ක් ගත වී තිබුණද මේ මොහොත දක්වාම මේ රටේ ජීවත් වන ජනතාව වාර්ගික මානසිකත්වයෙන් මුදවා ගෙන එක් ජාතියක් එක් රටක් යන දේශපාලන මානසිකත්වයට අනුගත කිරීමට නොහැකි වී තිබේ. මේ සම්බන්ධයෙන් බලපා තිබෙන හේතු දෙකක් හඳුනා ගත හැකිය.

මෙයින් එකක් වන්නේ බහු වාර්ගික ජන සමාජයක රාජ්‍යය හැසිරිය යුතු ආකාරය හා සම්බන්ධ පොදු දේශපාලන මූලධර්ම මේ රටේ නිදහසින් පසු කාලය තුළ ක්‍රියාත්මක වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා තුනෙන්ම බරපතළ ලෙස උල්ලංඝනය කර තිබීමය. බහුවාර්ගික ජන සමාජයක් තුළ රාජ්‍ය ක්‍රියා කළ යුත්තේ අපක්‍ෂපාතී බේරුම් කරුවකු ලෙස රාජ්‍ය තුළ ජීවත් වන සියලුම පුරවැසියන් සමාන පුරවැසියන් ලෙස සළකමින් ඔවුන් සියලු දෙනාට සමාන ඉඩ ප්‍රස්ථාවන් සහතික කරන්නා වූ උත්තරීතර ආරක්‍ෂකයකු හා බේරුම් කරුවකු ලෙසය.

මෙයින් අදහස් කරන්නේ රාජ්‍යය කුමන හෝ ජන වාර්ගික කොටසක අනන්‍යතාව ප්‍රකාශ කරන ආගම හෝ භාෂාව සමඟ සම්බන්ධ නොවිය යුතු බවය. එසේ වුවහොත් සිදු වන්නේ රාජ්‍ය පාර්ශවීය කරුවකු බවට පත් වී සමාන පුරවැසියන් හා සමාන ඉඩ ප්‍රස්ථාවන් යන මූලධර්මය උල්ලංඝනය වීමය. නිදහසින් පසු කාලය තුළ මෙරට ක්‍රියාත්මක වූ කිසිදු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මෙම කොන්දේසිය තහවුරු කිරීමට නොහැකි වූවා පමණක් නොව එම ව්‍යවස්ථා තුනෙන්ම කළේ රටේ පුරවැසියන් වාර්ගික, ආගමික සහ භාෂා යන කරුණු පදනම් කරගෙන විභේධනීකරණය කරමින් අසමාන පුරවැසියන් සහ අසමාන ඉඩ ප්‍රස්ථාවන් යන තත්ත්වය නිර්මාණය කිරීමය. මෙහි ප්‍රතිඵලය වූයේ මේ රටේ පුරවැසියන් එකිනෙකා සමඟ ඇණ කොටා ගැනීමේ පරිසරයක් නිර්මාණය වීමය. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය වන්නේ මෙම ප්‍රශ්නයටද පිළිතුරු සෙවීම සඳහාය.

මේ රට මුහුණ දී තිබෙන තවත් බරපතළ දේශපාලන ප්‍රශ්නයක් වන්නේ සුළු ජන කොටස්වලට විශේෂයෙන්ම දෙවන විශාල ජන කොටස වන ද්‍රවිඩ ජනතාවට රාජ්‍ය බලය හැසිරවීම සඳහා සහභාගි වීමට පවතින දේශපාලන ක්‍රමය තුළ තිබෙන ඉඩකඩ ප්‍රමාණය කිසිසේත්ම ප්‍රමාණවත් නොවීමය. ජනවාර්ගික අර්බුදයට බලපා තිබෙන මූලිකම හේතුව වන්නේද මෙයයි. මෙම ප්‍රශ්නයටද විසඳුම් සෙවිය හැක්කේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් එක් අතකින් කුඩා ජන කොටස්වලට මධ්‍යම ආණ්ඩුවේ දේශපාලන බලය හැසිරවීමට ඉඩ ලැබෙන යාන්ත්‍රණයක් සැකසීමෙනි. අනික් අතින් ප්‍රාදේශිය වශයෙන් තමන්ගේ වැඩ කටයුතු කරගෙන යාමට ඉඩ සැළසෙන අයුරින් ප්‍රමාණවත් ලෙස බලය විමධ්‍යගත කිරීමකිනි.

ඉහත දැක්වූ ප්‍රධාන කරුණුවලට අමතරව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් ආමන්ත්‍රණය කළ යුතු තවත් ප්‍රශ්න ගණනාවක් මේ රටේ තිබේ. රාජ්‍ය සේවාව, අධිකරණය, රාජ්‍ය මූල්‍ය කළමණාකරණය යනා දී රාජ්‍ය ආයතන හා සේවාවන් ස්වාධීන කොට ශක්තිමත් කිරීම, මානව අයිකිවාසිකම් තව දුරටත් ශක්තිමත් කොට තහවුරු කිරීම ඒවා අතුරින් වැදගත් වේ. මේ සියල්ල කිරීමට නම් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කොට ස්ථාපිත කිරීම අත්‍යවශ්‍යම දෙයක් වේ. මෙම කටයුත්ත දෙස බැලිය යුත්තේ වර්ගවා දී, ආගම්වා දී, භාෂාවා දී, ප්‍රාදේශීයවාදී දෘෂ්ටියකින් නොව ජාතිකවාදී දෟෂ්ටියකින් බව අවසාන වශයෙන් කිව යුතුය.


නව අදහස දක්වන්න