ට්‍රම්ප් විරෝධී සාහිත්‍යයක් | දිනමිණ

ට්‍රම්ප් විරෝධී සාහිත්‍යයක්

කපිල කුමාර කාලිංග

ඉංග්‍රීසින්ටත් වඩා ඉංග්‍රීසි දන්නකු ලෙස සැළකෙන, නොබෙල් සාහිත්‍ය ත්‍යාගලාභී නයිජීරියානු ජාතික වොලේ සොයින්කා, මෑතකදී නැවතත් පුවත් අතරට එක්වූයේ අමෙරිකාවේ ට්‍රම්ප් ප්‍රතිපත්ති විවේචනයට ලක්කරමිනි.

ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දුන් වහාම තම ග්‍රීන් කාඩ්පත (අමෙරිකානු පුරවැසිභාවය) ඉරා දමන බව පැවසූ සොයින්කා නව අමෙරිකානු ජනාධිපතිවරයා උත්සාහ කරන්නේ අමෙරිකාව තුළ පමණක් නොව ලෝකය පුරාම පවුරු ඉදිකිරීමට යැයි ද කියා සිටියේය.

සොයින්කා වඩාත් ප්‍රකටව සිටින්නේ නාට්‍යකරුවකු ලෙසිනි. ඔහු නවකතාකරුවකු හා කවියකු ද වෙයි. නයිජීරියාවේ මිලිටේරි ආඥාදායකත්වයට හා සිවිල් යුද්ධයට එරෙහි වූ සොයින්කා, සිරගත කෙරුණි. 1972 දී පළ කෙරුණු ‘The Man Died: Prison Notes’ නම් කෘතිය ඔහුගේ බන්ධනාගාර අත්දැකීම් විස්තර කරයි.

‘සාහිත්‍ය බල රහිත වන අවස්ථාවලදී දේශපාලනික වශයෙන් ක්‍රියාත්මක විය යුතු’ යැයි සොයින්කා කියා සිටී.

ඔහු අදීන ලෙසත්, නිර්භය ලෙසත් තම අදහස් ප්‍රකාශ කරන්නෙකි. එහෙයින්ම ඔහුට ජනමාධ්‍ය තුළ ඉඩක් ඇත. බොහෝ දෙනා සොයින්කාගේ මතවාද ගැන අවධානය යොමු කරන බැවින් ඔහු නඟන හඬ අපතේ නොයයි.

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙහි කාව්‍යය පිළිබඳ මහාචාර්ය තනතුර (Professor of Poetry) ලොව සිටින උසස්ම කවියකුට පිරිනැමෙන ඉමහත් ගෞරවයක් ලෙස පිළිගැනේ. ඒ සඳහා නාම යෝජනා ඉදිරිපත් කිරීමේ අයිතිය ඇත්තේ ඔක්ස්ෆර්ඩ් උපාධිධාරීන්ටමය. (නාම යෝජනාවක් ඉදිරිපත් කිරීමට නම් උපාධිධාරීන් පනස් දෙනකුවත් එක්විය යුතුය.) තනතුර දැරිය හැකි කාලය වසර 5කි. විශාල වැටුපක් ද හිමි වෙයි.

2010 වසරේදී මෙම කීර්තිමත් තනතුර ඉසිලුවේ, ජීවතුන් අතර වෙසෙන විශිෂ්ටතම ඉංග්‍රීසි කවියා ලෙස ඇගැයෙන ජෙෆ්රි හිල් (වයස 78) ය. 2015 දී ඉදිරිපත් කෙරුණු නම් අතර වොලේ සොයින්කා ද විය. එවිට ඔහුගේ වයස අවුරුදු 80ක් වූයෙන්, ඇතැම් විචාරකයන් පැවසුවේ එබඳු තනතුරක් හෙබවීමට, මේ කවියා මහලු වැඩි බවය. සොයින්කා එම ‘නුසුදුසුකම’ ප්‍රතික්ෂේප කළ අතර මහාචාර්ය පදවිය දිනාගැනීම පිළිබඳව එතරම් උනන්දුවක් ද නොදැක්වීය.

අවසානයේදී ජයග්‍රහණය කළේ ඡන්ද 1224ක් ලැබූ සයිමන් ආර්මිටේජ් (53)ය. ඔහුද සොයින්කා සේම කවියට අමතරව නාට්‍යකරණයෙහි හා නවකතාකරණයෙහිද යෙදෙන්නෙකි. ඡන්ද 920ක් ලැබූ සොයින්කාට දෙවැනි තැන හිමි විය.

වසර සියයක් පමණ ‘පැරණි’ කවි මහාචාර්ය පදවියට නාම යෝජනා ලැබීමම, නයිජීරියානු ජාතික සොයින්කාව ඉංග්‍රීසි විද්වතුන් අතර ඇති පිළිගැනීම පළ කරයි.

ග්‍රීන් කාඩ් ඉරා දැමීමේ කතාවෙන්, සො

යින්කා අදහස් කළේ, ට්‍රම්ප් වැනි වර්ගවාදී පාලකයකු යටතේ තමන්ට අමෙරිකානු සමාජය තුළ, වරප්‍රසාදලාභියකු ලෙස ජීවත්වීමට අනවශ්‍ය බවය.

‘මට යළි අමෙරිකාවට යාමට අවශ්‍යතාවක් ඇතිවුවහොත්, අනෙක් මිනිසුන් වගේ, වීසා ඉල්ලුම් කිරීම සඳහා පෝලිමේ යාමට මම සූදානම්’ සොයින්කා පවසයි.

ට්‍රම්ප් ජනපති වූ නමුදු, ඔහුගේ විරුද්ධවාදීන් ද තවමත් නිහඬ වී නොමැත. ඇතැම්හු, ට්‍රම්ප් තුළ අනාගත හිට්ලර් කෙනකු දකිති. ‘ඇමරිකන් නාසි වාදයක්’ ගැන අනතුරු අඟවති.

මෙබඳු සමාජ-දේශපාලන තත්ත්වයක් තුළ අමෙරිකානු පොත් සාප්පුවල මුල්ලක තිබූ පරණ නවකතාවකට අලුත් ඉල්ලුමක් ඇතිවී තිබීම පුදුමාකාරය. එහි කතුවරයා සින්ක්ලෙයාර් ලුවිස් (Sinclair Lewis) ය. ‘It can't Happen Here’ (එය මෙහි සිදුවිය නොහැක) නමැති එම අර්ධ - උපහාස, දේශපාලනික නවකතාව මුල්වරට පළවූයේ 1935 තරම් ඈතකය. ඒ කාලයේදීත් මහත් ජනප්‍රියත්වයක් ලැබූ එහි පිටපත් 320,000ක් අලෙවි විය.

1929 දී අමෙරිකාවේ කොටස් වෙළෙඳපොළ බිඳ වැටීමත් සමඟම, එරට හටගත් ආර්ථික අර්බුදය, ලුවිස්ගේ නවකතාවට පසුතලය සකසයි.

එහි ප්‍රධාන චරිතය බර්යෙලියස් බස්(z) වින්ඩ්‍රිප් නමැති සෙ‍ෙනට් සභිකයෙකි. රුස්වෙල්ට් ජනාධිපතිවරයා පරාජය කොට, බලයට පත්වන ඔහු ජනප්‍රියවාදී දේශපාලන ප්‍රතිපත්තියක් ප්‍රකාශයට පත් කරයි. සාම්ප්‍රදායික අමෙරිකානු සාරධර්මයන්ට මුල් තැන දීම, සෑම පුරවැසියකුටම වාර්ෂිකව ඩොලර් 5000ක් ලබාදීම වැනි ප්‍රතිඥාවන් ද ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් වෙයි.

එහෙත්, ක්‍රම ක්‍රමයෙන් ‘වින්ඩ්‍රිප් ජනාධිපතිවරයා’ ගමන් කරන්නේ ආඥාදායකත්වය කරාය. ‘මිනිට්මෙන්’ නමැති ක්ෂණිකව ක්‍රියාත්මක වන සටන්කාමී සංවිධානයක් මඟින් ඔහු තම විරුද්ධවාදීන් මර්දනය අරඹයි. වින්ඩ්‍රිප් විරෝධීන්ගෙන් සිරගෙවල් පිරී යයි. ජනතාවාදී පාලකයාගේ සැබෑ ස්වරූපය හඳුනා‍ ගන්නා පුවත්පත් කතුවරයෙක්, ඔහුට විරුද්ධව සටන් වදී. ලුවිස්ගේ පරිකල්පනය තුළ බිහිවූ මෙම භයානක ආඥාදායකයා, අනාගතයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් තුළින් සැබෑ ලෙසම දැකගත හැකි වනු ඇතැයි, අමෙරිකානු විකල්ප දේශපාලන මතධාරීහු පවසති. නවකතාවේ ශීඝ්‍ර අලෙවියට බලපෑවේ ද එයයි.

පසුව ලුවිස් හා ජෝන්. සී. මෙටිෆ් එක්ව, නවකතාව ඇසුරින් නාට්‍ය පිටපතක් ද රචනා කළ අතර, එය අමෙරිකාවේ ජනපද 17ක වේදිකාගත වුණි.

සුප්‍රකට එම්. ජී. එම්. චිත්‍රපට සමාගමද, ලුවිස්ගේ නවකතාව චිත්‍රපටයට නැඟීමට සූදානම් විය. එහෙත් අවසාන මොහොතේ එය නතර කෙරුණේ ‘ ජර්මන් වෙළෙඳපොළ’ අමනාප කර ගැනීමට බියෙනි. ලුවිස්ගේ කතානායක බස් වින්ඩ්‍රිප් තුළ, හිට්ලර් කෙනකුද සිටින බව රහසක් නොවීය.

2016 දී, ටෝනි ටැකොනෙ හා බෙනට් කොහෙන් විසින්, යළිත් මෙම නාටකය වේදිකාගත කෙරුණේ, ට්‍රප්ම් විරෝධි රැල්ලෙන් ප්‍රයෝජන ගනිමිනි.

‘එය මෙහි සිදුවිය නොහැක. නවකතාව කියවන්නකුට සමකාලීන සැබෑ චරිත ද හමුවෙයි. එකල විසූ පත්‍රකලාවේදීන් 13 දෙනකුගේ නම් එහි සඳහන් වෙයි.

නවකතාකරුවකු, නාට්‍යකරුවකු හා කෙටිකතාකරුවකු වශයෙන් සාහිත්‍යයට කළ විශිෂ්ට සේවාව වෙනුවෙන් සින්ක්ලෙයාර් ලුවිස්ට, 1930 දී නොබෙල් සාහිත්‍ය ත්‍යාගය ද පිරිනැමුණි.

ට්‍රම්ප් විරෝධී බොර දියේ වාසි ලබන තවත් නවකතාවකි පිලිප් රොත්ගේ (Philip Roth) ගේ ‘The Plot Against America.’

මෙයද දේශපාලන තේමාවකින් යුතුය. අමෙරිකානු ජනාධිපති පදවියට පත්වන, ගුවන් නියමුවකු වන චාල්ස් ලින්ඩ්බර්ග් , හිට්ලර් සමඟ ගිවිසුමක් ඇති කර ගනී. ඔහුගේ පාලන සමයේ, අමෙරිකානු යුදෙව් ජනයා ලබන ‘කොන්කිරීමේ වේදනාව’, පිලිප් රොත්ගේ නවකතාව තුළින් දැනෙයි. පිලිප් ද යුදෙව් සම්භවයක් ඇත්තෙකි. අන්‍ය ජාතිකයන් නොතකා, ශුද්ධ අමෙරිකානුවන් පමණක් උසස් කොට සැළකීමේ ලින්ඩ්බර්ග් ප්‍රතිපත්තිය ට්‍රම්ප්ගේ දේශපාලන දෘෂ්ටියට ද සමාන බව, රොත්ගේ නවකතාව කියවන්නකුට හැ‍ඟෙයි.

ට්‍රම්ප් බලයට පත්වීම හා අමෙරිකාවේ අනාගතය විෂය කරගත් පතපොත දැන්, අමෙරිකානු පාඨකයන්ගේ අලුත්ම ආකර්ෂණය වී තිබේ. ජනාධිපතිවරණ ඉතිහාසය පිළිබඳ විශේෂඥයකු ලෙස සැලකෙන, පුලිට්සර් සම්මානලාභී ගත්කතුවර ජෝන් මේචැම්ගේ ‘Destiny and Power’ ද එබඳු කෘතියකි. අමෙරිකානු දේශපාලනය පිළිබඳව අනාගත දැක්මකින් යුතුව අතීතයේ ලියැවුණු පොත් ගැන ද ඔහු සඳහන් කරයි. ඉන් එකක් වන්නේ සින්ක්ලෙයාර් ලුවිස්ගේ, ‘එය මෙහි සිදුවිය නොහැක’ නවකතාවය.

 

 

 


නව අදහස දක්වන්න