සිල්ලර දේශපාලනයෙන් ඇත්ත ප්‍රජාතන්ත්‍රවාදයට | දිනමිණ

සිල්ලර දේශපාලනයෙන් ඇත්ත ප්‍රජාතන්ත්‍රවාදයට

 මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පසුගියදා තුන්වෙනි වතාවට නුගේගොඩදී පත්තු කළ පළවෙනි වෙඩි මුරයේ තේමාව වූයේ ”පෙරළියක ඇරඹුම” යන්න ය. මතකය නිවැරැදි නම් 2015 පෙබරවාරියේ දී එම ස්ථානයේ දී ම අර කියන ලද පළමු වෙඩිමුරයට තේමාව වූයේ ”මහින්ද සමඟ යළි නැගිටිමු” යන්න ය. මහනුවරින් ආරම්භ කළ පාද යාත්‍රාව ඔවුන් දෙවැනි වතාවට පත්තු කළ පලමු වන වෙඩි මුරය බව කාටත් මතක ඇත.

පළමුවැන්නට හා දෙවැන්නට පත්තු කළ වෙඩි මුරයට වඩා පසුගිය දා නුගේගොඩ දී තුන්වෙනි වරට පත්තු කළ පළමු වෙඩි මුරයේ දී ඔවුන් රට දැක්කවීමට තටමන්නේ කොතැනටද යන්න ඉතා පැහැදිළිව පෙනුණි. දශක ගණනානාවක සිට අවශ්‍යතාවක්ව පැවති ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය වැළැක්වීමේ අරමුණෙන් කථිකයෝ සියලූම දෙනා පාහේ මේ රැස්වීමේ දී ව්‍යවස්ථාව වෙනස් කිරීම රට බෙදන මරඋගුලක් බව අවධාරණය කළ හ. ජී එස්. පී සහනය ලැබීම හා මානව හිමිකම් පුළුල් කිරීමට කළ යෝජනා දෙවැනිව ඔවුන්ට ඉලක්ක විය.

බලය බෙදා රට එක්සත් කිරීම වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටි වාමාංශිකයින් දෙදෙනෙකු වන තිස්ස විතාරණ හා වාසුදේව නානායක්කාර ද මේ ජාතිවාදි හා පසුගාමි කතාවලට අත්පුඩි ගැසීම හාස්‍ය ජනක ය. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය නිල වශයෙන් නුගේගොඩ රැස්වීමට සහභාගි වී නැතත්, සමසමාජ, කොමියුනිස්ට් හා වාසුදේව නානායක්කාරගේ පක්ෂයෙන් ද සමන්විත සමාජවාදි ජනතා පෙරමුණේ ලේකම් ලෙස රාජා කොල්ලූරේ ද මේ රැස්වීමට වෙනදා මෙන් සහභාගි විය. රාජා කොල්ලූරේට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට ශක්තියක් කොමියුනිස්ට් පක්ෂයට නොමැති වීම වෙනම කාරණයකි. කෙසේ නමුත් ප්‍රතිපත්ති විරහිතව, ජාතිවාදින් සමග එක්වී රාජ්‍ය ප්‍රජාතන්ත්‍රිකරණයට භාජනය වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව මොවුන් පෙළ ගැසෙන බව පැහැදිළිව පෙනෙන්නට ඇත.

මේ අතර මධ්‍යස්ථ මතධාරින් නියෝජනය කරන දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එම් සුමන්තිරන් මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇති බව මාධ්‍ය වාර්තාකර තිබූ අතර මේවන විට එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සාමාජිකයින් කිපදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇතිබව අසන්නට ඇත.

ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණවලින් රට දෙකඩ වන්නේ නම් නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ හරහා බලය බෙදාගෙන ඒකීය රටක් තුළ ජීවත් වීමට කැමති සුමන්තිරන් මන්ත්‍රීවරයා ඝාතනය කිරීමට කොටි සාමාජිකයින් උත්සහ දරන්නේ නැත. කොටි සාමාජිකයින් මධ්‍යස්ථ දෙමළ ජාතික නායකයින්ව ඝාතනය කරන්නට උත්සහ දරන්නේ බලය බෙදාගෙන එක රටක ජීවත්වීමට ඉඩ ලැබෙන්නේ නම්, රට බෙදිමට අවස්ථාවක් නොලැබෙන නිසාය.

මේ අනුව මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට අවශ්‍ය වි තිබෙන්නේ ජාතික සංහිඳියාවකට මගපාදන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය වළක්වා කොටින්ට නැවතත් හිස එසවිමට අවස්ථාවක් සලසාදීමට ය. ඒ මගින් රට තුළ යුද භිතියක් ඇතිකර නැවත රාජ්‍ය බලය ලබාගැනීම ඔවුන්ගේ අරමුණ බව පැහැදිළි වේ. එහෙයින් රාජපක්ෂලා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජාති ද්‍රෝහි කාලකණ්නි උත්සහාය පරාජය කිරීමට නම් ජනතාව දැනුම්වත්කර පුර්ණ ව්‍යවස්ථා වෙනසක් කිරීම ජාතියේ අවශ්‍යතාවයක් ලෙස සලකා කටයුතු කිරීම නායකයින් දෙදෙනාගේම වගකීම වියයුතුව ඇත.

ජී.එස්.පී සහනය ලබාගැනීම සම්බන්ධයෙන් ඔවුන් මතුකරන විවේචනය ඊළගට සලකා බලමු. මේ කියන සහනය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ දී අපිට අහිමිවූයේ මානව හිමිකම් කඩකළ නිසා ය. ජනවාරි 08 වෙනිදා ඇති වූ නිහඬ වෙනස තුළ තත්ත්වය යහපත් අතට හැරෙමින් තිබීම තුළ ජී.එස්.පී. සහනය ලබාදීමට ඔවුන් එකඟත්වය පළකර තිබේ. මේ අතර රටේ පවතින මානව හිමිකම් ක්ෂේත්‍රය පුළුල් කිරීම සඳහා තවත් යෝජනා ගණනාවක් ද ඉදිරිපත් වී ඇත. ඒ අතර සමලිංගිකයින්ගේ අයිතිවාසිකම් මෙන්ම ලිංගික ශ්‍රමිකයින්ට නීතිමය රැකවරණයක් ලබාදිම ද මෙයට එක්වි ඇත. මෙය විජාතික යෝජනාවක් නොව නව ව්‍යවස්ථා සම්පාදනය සඳහා මහජන අදහස් විමසීමේ දී ද මේ රටේ ඇතැම් සංවිධාන සහ පුද්ගලයින් ද මේ කියන ක්ෂ්ත්‍රයන්ට අයත් මිනිසුන්ගේ අයිතින් ව්‍යවස්ථාවෙන් සහතික කරන ලෙසට ඉල්ලා තිබේ. එයට ප්‍රතිචාර දැක් වූ මහජන අදහස් විමසීම් කමිටුව ඒ පිළිබඳ මූලික මිනිස් අයිතිවාසිම් යටතේ වන ඡේදයේ මෙසේ දක්වා ඇත.

”මෙම නාරිමෛථුන, සම ලිංගික, ද්විලිංගික, පාරලිංගික, අන්තර් ලිංගික හා අසාමාන්‍ය ප්‍රජාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් රජයේ නෛතික වගකීම, මානව හිමිකම් විශ්ව ප්‍රකාශනය මත පදනම් වූ ජාත්‍යන්තර මානව හිමිකම් නීතියේත්, පසුව එකගවූ ජාත්‍යන්තර මානව හිමිකම් සම්මුතිවලත් පැහැදිළිව දක්වා තිබේ”

මේ අනුව අදාළ ප්‍රජාව වෙනුවෙන් කරුණු දැක්වූ අය කොමිසමෙන් ඉල්ලා සිටියේ විශේෂ ආරක්ෂාවක් නොව නීතිය යටතේ ආරක්ෂාව පිළිබඳ සමාන අයිතියක් හා වෙනස් ලෙස නොසැලකීමේ අයිතියයි.

අදාළ කාරණය සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීමේ කොමිසමේ නිර්දේශවල මෙසේ සඳහන්වේ.

”විවිධ ලිංගික නැඹුරුතා හා අනන්‍යතා හා අනන්‍යතා ඇති පුද්ගලයින් ඔවුන් හඳුන්වන්නේ නාරිමෛථුන, සමලිංගික, ද්විලිංගික, පාරලිංගික, අන්තර් ලිංගික හා අසාමාන්‍ය ප්‍රජාව ලෙසිනිි. මෙම ප්‍රජාව ආරක්ෂා කිරීම පිළිබඳව බොහෝ අංශවලින් නියෝජනයන් ඉදිරිපත් කෙරුණි. මෙය අලුත් ගැටලුවක් බැවින් මෙම ප්‍රජාවේ අයිතිවාසිකම් හා ආරක්ෂව පිලිබඳව සංවාදයක් ආරම්භ කිරීම මෙන්ම යම් ව්‍යවස්ථාමය ආරක්ෂාවක් ලබාදිම අවශ්‍ය යැයි සලකන ලදි”

සමලිංගික අයිතිවාසිකම්වලට අමතරව ලිංගික ශ්‍රමිකයින්ගේ අයිතින් ආරක්ෂා කරදීම සම්බන්ධයෙන් නම් මේ රටේ සංවාදයක් නොපවතින්නේ යැයි කිව නොහැක. මහාචාර්ය නන්දසේන රත්නපාලගේ සිට බොහෝ සමාජ විද්‍යඥයින් මේ විෂය ගැන නොයෙකුත් පර්යේෂණ කරඇති බව කවුරුත් දනිති. ලෝකයේ පැරණිම රැකියාව ලෙස ලිංගික ශ්‍රමය සැපයීම සැළකිය හැකි බව බොහෝ දෙනා පවසති. බටහිර කුමන්ත්‍රණයක් නොව බෞද්ධ සාහිත්‍යයේද ලිංගික ශ්‍රමිකයින් ගැන ඕනෑතරම් සඳහන්ව ඇත. බුදුන් වහන්සේගේ වෛද්‍යවරයා වන ජීවක කෝමාරබච්ච, රජ කෙනෙකුට දාව උපන් සාලවතී නම් ගණිකාවගේ පුත්‍රයා බව අප කුඩා කාලයේ දහම් පාසලේ දී ද අසා ඇත. නගර ශෝභනියන් ලෙස බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙන්නේද මේ ලිංගික ශ්‍රමකයින් හැර වෙනත් අය නොවේ. මේ අනුව පෙනි යන්නේ ලිංගික ශ්‍රමය සැපයිම අනාදිමත් කාලයක සිට පැවත එන, නැවැත්විය නොහැකි රැකියාවක් බව ය. ගණිකා වෘත්තිය මේ රටේ තිබෙනවා පමණක් නොව ධනවත් පුද්ගලයින්, දේශපාලනඥයින් පමණක් නොව සුචරිතවාදින් ලෙස පෙනී සිටින්නවුන්ගෙන් ඇතැම් අය මේ කියන ශ්‍රමිකයින්ගේ සේවය ලබාගන්නා බව කවුරුත් දනිති. මිල මුදල්, බලපුළුවන්කාරකම් පමණක් නොව නොයෙකුත් වරප්‍රසාද යටතේ ලිංගික ශ්‍රමිකයින් යොදා ව්‍යාපාර පවත්වාගෙන යන බව ද රහසක් නොවේ. ලිංගික ශ්‍රමය විකිණිම දැනට නීති විරෝධි වන බැවින් අර කියන ලිංගික ශ්‍රමිකයින්ට සුරා කෑමට එරෙහිව නීතිය ඉදිරියට යෑමට හැකියාවක් ද නැත. ඔවුන් ඉල්ලන්නේ නීතියෙන් රැකවරණයක් එයට ලබාදෙන ලෙස පමණි. එසේ එයට රැකවරණයක් ලබාගත හැකිවන්නේ එම ශ්‍රමිකයින්ට නීතිමය පිළිගැනීමක් ඇතිවිටදී ය.

මෙම තතු යටතේ වත්මන් ආණ්ඩුව කළ යුත්තේ ඒකාබද්ධ විපක්ෂයේ තොත්ත බබ්බුන්ගේ උවමනාවට අනුව බෙල්ලන්විල මහාචාර්ය හාමුදුරුවෝ හෝ වෘත්තිය සමිති නායක මුරුත්තෙට්ටුවේ ස්වාමීන් වහන්සේ කියන ආකාරයට අපේ සංස්කෘතියට මේවා නොගැලපෙන බව පැවසිම නොව, ඇත්ත ඇති සැටියෙන් දැකීම ය.

ජීව විද්‍යාත්මකවම ප්‍රතිවිරුද්ධ ලිංගිකයින්ට ආකර්ෂණය නොවන පිරිස් සිටිති. මෙය අස්වාභාවික නොවන දෙයක් වන අතරම ඔවුන් ද අප වැනිම මනුෂ්‍යයෝ වෙති. මේ බව වටහාගෙන කටයුතු කරනවා වෙනුවට අපේ ඇතැම් නායකයින් කරන්නේ පසුගාමි චින්තනයට යටවීම ය.

එපමණක් නොව කවුරු ගෙනාවත් මේවාට අපි විරුද්ධ බව පවසා ලකුණුදමා ගැනීමේ දේශපාලනයෙන් දැන් නායකයින් ද ඉවත් විය යුතුව ඇත. රාජ්‍ය ප්‍රජාතන්ත්‍රිකරණය කියන්නේ හුදෙක් තොත්ත බබාලාට අනුව කටයුතු කිරීම නොව ප්‍රබුද්ධ මිනිසුන් සේ කටයුතු කිරීම ය. පසුගිය වනචර දශකය තුළ සිදු වූ සියලූ මානව හිමකම් උල්ලංඝනයන් ගැන වචනයක් කතා නොකළ මේ සුචරිතවාදින් කතා කරන සංස්කෘතිය කුමක් ද යන්න අපි දනිමු. බලය තිබෙන අවස්ථාවේ මේ පිරිස ලිංගික පිඩනය මුදාහැරියේ හීරලූවා මධුසමය ගත කළ පරිදිය. ස්ත්‍රීන් 100ක් දුෂණයකර සාදයක් පැවැත්වූ මානසික රෝගින් සිටියේ පෙර කි දශකයේ බව අමතක නොකළ යුතු ය.

මහින්ද රත්නායක 

නව අදහස දක්වන්න