ජාතික පාසල් හොඳම වාර්ෂික වාර්තා තරගාවලිය | දිනමිණ

ජාතික පාසල් හොඳම වාර්ෂික වාර්තා තරගාවලිය

ගම්පහ දිස්ත්‍රික් - සිසිල ගුණතිලක

බණ්ඩාරනායක විදුහල ගම්පහින් මුල්තැනට

අධ්‍යාපන අමාත්‍යාංශයේ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකා ගණකාධිකාරි ශිල්පීය ආයතනය (AAT) විසින් නමවන වරටත් සංවිධානය කරන ලද දිවයිනේ ජාතික පාසල් අතර හොඳම වාර්ෂික වාර්තාව සහ ගිණුම් ප්‍රකාශන 2016 තරගාවලියේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රථම ස්ථානයට හිමි සම්මානය දිනා ගැනීමට ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය සමත් වී ඇත.

ජාතික තලයේ පාසල් අතරින් තම පාසල ළඟා කරගෙන ඇති ප්‍රගතිය මැන බැලීම උදෙසා අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ගණකාධිකාරි ශිල්පීය ආයතනය විසින් පිරිනමන ලද මෙම සම්මානය දිනා ගැනීම තුළින් ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය “සියනෑ පුරයේ මිණිපහණ” යන විරුදාවලිය නැවත වරක් ඔප් නැංවීමට සමත් ව ඇත.

බණ්ඩාරනායක විද්‍යාලයීය පාසල් සංවර්ධන සමිතිය ප්‍රමුඛ කර ගත් පාසල් කළමනාකරණ ක්‍රියාවලිය ඉතා ප්‍රශස්ත මට්ටමකට ගෙන ඒම සහ විනිවිදභාවයකින් යුතුව, නිවැරදිව හා ගුණාත්මක බවෙන් ඉහළ සැලසුම් ක්‍රියාවලියකට මඟ පෙන්වීම අගය කරමින් පිරිනැමුණු මේ සම්මානය දිනා ගැනීමට හැකිවීම බණ්ඩාරනායක විද්‍යාලයීය විදුහල්පති ලාල් දිසානායක මහතා ප්‍රමුඛ සමස්ත පාසල් ප්‍රජාවේ නිහතමානි සතුටට හා තෘප්තියට හේතු වී ඇත.

පසුගියදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයීය විදුහල්පති ලාල් දිසානායක මහතා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතින් සම්මාන ලබා ගැනීම මෙහි දැක්වේ. මේ අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සුනිල් හෙට්ටි ආරච්චි මහතා සහ ශ්‍රී ලංකා ගණකාධිකාරීය ශිල්පීය ආයතනයේ අධ්‍යක්ෂ ජේ. එම්. යූ. ජයසේකර මහතා ද සහභාගී විය.

නව අදහස දක්වන්න