විමල්ගෙන් ඇප අයැදුමක් මහාධිකරණයට | දිනමිණ

විමල්ගෙන් ඇප අයැදුමක් මහාධිකරණයට

කුමුදු හෙට්ටිආරච්චි

නිවාස හා ඉඳිකිරීම් අමාත්‍යවරයාව සිටියදී රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට කුලී පදනම් මත ලබාගත් වාහන 40ක් සිය පවුලේ සමීපතම ඥාතීන්ට හා පක්ෂ ක්‍රියාකාරීන් හට ලබා දෙමින් රජය සතු මුදල් රුපියල් නව කෝටි දාසය ලක්ෂයකට අධික මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බව කියන සිද්ධිය සම්බන්ධව ඇප ප්‍රතික්ෂේප කරමින් තමා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරිය ලබාදුන් නියෝගය ප්‍රතිශෝධණය කර තමාට ඇප නියම කිරීමට නියෝග කරන්නැයි ඉල්ලා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් කොළඹ මහාධිකරණය හමුවේ ඊයේ (31) ප්‍රතිශෝධන ඇප අයදුමක් ගොනු කරන ලදී.

සිය නීතිඥයින් මඟින් විමල් වීරවංශ මහතා ගොනු කළ එම ප්‍රතිශෝධන ඇප අයදුම්පත මේ 06 වැනිදා කොළඹ මහාධිකරණය හමුවේ කැඳවේ.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා හා නීතිපතිවරයා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් මෙම ප්‍රතිශෝධන ඇප අයැදුම්පත ගොනු කර ඇත.

මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් පසුගිය ජනවාරි මස 10 වැනිදා අත්අඩංගුවට ගෙන කොටවු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ විමල් වීරවංශ මහතා පසුගිය ජනවාරි මස 24 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

පසුගිය මස 24 වැනිදා කොටවු මහේස්ත්‍රාත්වරයි විසින් විමල් වීරවංශ මහතාගේ ඇප ප්‍රතික්ෂේප කරමින් නිකුත් කළ නියෝගය ප්‍රතිශෝධනය කර තමා ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි සිය ප්‍රතිශෝධන ඇප අයදුම මඟින් විමල් වීරවංශ මහතා ඉල්ලා ඇත.

නව අදහස දක්වන්න