දේශපාලනයේ කාන්තා නියෝජනය නැංවීමට පියවර ගන්නවා | දිනමිණ

දේශපාලනයේ කාන්තා නියෝජනය නැංවීමට පියවර ගන්නවා

මෙරට ජනගහනයෙන් අඩකට වැඩි කොටසක් වන හා එතෙර දී තම ශ්‍රමය කැපකර වැඩි විදෙස් විනිමයක් උපයා දෙන කාන්තාවන් මෙරට ප්‍රබලතම ජාලයක් බවට පත් කරන බව එජාපයට අනුබද්ධිත එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපතිනී, නියෝජ්‍ය ඇමතිනී වෛද්‍ය අනෝමා ගමගේ පවැසුවාය.

අද අරලියගහ මන්දිරයේ දී පැවැති එක්සත් ලක් වනිතා පෙරමුණේ ප්‍රාදේශීය නායිකාවන්ගේ රැස්වීමක් අමතමින් ඇය ඒ බව කීවාය.

කාන්තා නියෝජනය පළාත් පාලන ආයතන මට්ටමින් සියයට 25ක් දක්වා ඉහළ දැමීමට සම්මත කරගෙන තිබෙන බව පෙන්වා දුන් ඇය, ඉදිරියේ දී පළාත් සභාවල හා පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය ද ඉහළ නැංවීමට පියවර ගන්නා බව කීවාය.

පිරිමින්ට දේශපාලනයෙහි නියැලීමට අවස්ථාව සැලසී ඇත්තේ, ගෘහ පාලනය මැනවින් ඉටුකර නිවසේ සුදුසු පරිසරයක් ඇති කරන කාන්තාවන් නිසා බවද නියෝජ්‍ය ඇමතිනිය පැවසුවාය.

තවදුරටත් අදහස් දැක්වූ ඇය කියා සිටියේ, වසර 20ක කාලයක් විපක්ෂයේ සිටිය දී පක්ෂය වෙනුවෙන් කැපවූවන්ට තම ප්‍රණාමය පුද කරන බවත්, ඔවුන් කළ කැප කිරීම් මේ වන විට අගය කිරීමට ලක් කර තිබෙන බවත් ය.

එක්සත් ලක් වනිතා පෙරමුණ විවිධ ක්ෂේත්‍රවල වෘත්තිකයන්ගෙන් සමන්විත වන බව පෙන්වා දුන් ගමගේ මහත්මිය, අදාළ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් උපදෙස් ලබා දිය හැකි එකමුතුවක් ලෙසින් ද එම සංවිධානය හඳුන්වා දුන්නාය.

එක්සත් ලක් වනිතා පෙරමුණේ නිල අත් පළඳනා සාමාජිකාවන් අතර බෙදා දීම ගමගේ මහත්මිය හා ඇමැති එරාන් වික්‍රමරත්න අතින් සිදු වූහ.

නියෝජ්‍ය ඇමතිනී වෛද්‍ය අනෝමා ගමගේ මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ ප්‍රාදේශීය නායිකාවන්ගේ රැස්වීමට සහභාගී වී සිටි අයුරු. 

නව අදහස දක්වන්න