අධ්‍යාපනයේ අයිතිය සුරක්ෂිත කළ තීන්දුව ගැන | දිනමිණ

අධ්‍යාපනයේ අයිතිය සුරක්ෂිත කළ තීන්දුව ගැන

සයිටම් අහෝසි කරන ලෙස විශ්වවිද්‍යාල සිසුන් අරගල කළ අවස්ථාවක අධ්‍යාපනයේ අයිතිය සුරක්ෂිත කිරීමට අධිකරණය තීරණය කර තිබේ.

ලංකාවේ දරුවන්ගේ නිදහස් අධ්‍යාපන අයිතිය සුරක්ෂිත විය යුතුයි. එය සුරක්ෂිත කරන්නාසේම අධ්‍යාපනයේ අයිතියද සුරක්ෂිත විය යුතුයි. එම අධ්‍යාපන අයිතිය මුදල් වැයකර හෝ ලබා ගැනීමට තිබෙන අවස්ථාව අහිමි කරන්න කිසිවෙකුට අයිතියක් නැත. නිදහස් අධ්‍යාපනය අහිමිවන කෙනෙකුට මුදල් ගෙවා හෝ ඒ අධ්‍යාපනය ලබා ගැනීමට හැකියාව තිබිය යුතුයි.

මෙම අධ්‍යාපන අයිතියට එරෙහිව සිදු කෙරෙන ක්‍රියාකාරීත්වයන් දෙස බැලීමේදී පෙනී යන්නේ පිනට කන අය මුදලට කන අයට විරුද්ධ වෙන අයුරකි. එය කෙසේ වෙතත් සයිටම් විශ්වවිද්‍යාලය පැවතිය යුතුද නැද්ද යන්න පිළිබඳව විද්වත් කිහිප දෙනෙකු දැක්වූ අදහස් මෙසේ ගෙන එන්නෙමු.

වෛද්‍ය සංගම් විරෝධය කාලෝචිත නෑ
- හිටපු දිසා විනිසුරු ඩී. ජී. කුලතිලක

සයිටම් වැනි වෛද්‍ය විද්‍යාලයක් මෙරට නීත්‍යානුකූලව පවත්වාගෙන යෑමෙන් කිසිදු ප්‍රශ්නයක් උද්ගත වෙන්නේ නෑ. එමගින් විශාල ආර්ථික සාමාජීය හා විශේෂයෙන් සෞඛ්‍ය සංවර්ධනයක් රට තුළ ස්ථාපිත වෙනවා.

ප්‍රථමයෙන් වෛද්‍ය අධ්‍යාපනය හදාරන්න විදේශයන්ට යන විදේශ විනිමය ඉතිරි වෙනවා. ලංකාවේ දරුවෙක් වෛද්‍ය උපාධියක් ලබාගන්න පිටරටකට ගියොත් ලක්ෂ සීයක් විතර වියදම් කළ යුතුයි. එම මුදල රටතුළ ඉතිරි වෙනවා.

අදවන විට ලංකාවේ වෛද්‍ය සභාව මගින් අනුමත කළ විදේශ වෛද්‍ය විද්‍යාල දෙසීයක් (200)ක් පමණ තියෙනවා. මේ විදේශ වෛද්‍ය විද්‍යාලවල වෛද්‍ය උපාධිය හදාරන්න විදේශගත විය යුතුයි. මුදල් හොයන්න රස්සා කළ යුතුයි. එම රටවල දේශගුණයන්ට මුහුණ දිය යුතුයි. එම රටවල භාෂාව හැදෑරිය යුතුයි.මේ සියලු කැප කිරීම් කර විදේශ වෛද්‍ය උපාධියක් අරගෙන එන වෛද්‍යවරුන්ගෙන් ඇතැම් අයට රෝගියකුට ප්‍රතිකාර කරනවා තබා අත තියන්නවත් ඉගෙනගෙන නෑ කියලා අපේ රටේ වෛද්‍යවරු කියනවා. එම නිසා දේශීය වශයෙන් මෙවන් ආයතනයක් ආරම්භ කිරීම හොඳයි.

සයිටම් එකට ඇතැම් වෛද්‍ය සංගම් විරෝධය පළ කිරීම කාලෝචිත නෑ. අපේ රටේ පුද්ගලික අධ්‍යාපන ආයතන කොතරම් ක්‍රියාත්මක වෙනවාද? ඉංජිනේරු ආයතන, නාවික ඉංජිනේරු ආයතන, වාණිජ උපාධි ආයතනත් පුද්ගලික ආයතන රැසක් ක්‍රියාත්මක කරන්න ගියොත් මේ ආයතනත් වසා දමන්න වෙයි. මාලඹේ සයිටම් ආයතනයේ ඉහළ පෙළේ ආචාර්ය මහාචාර්යවරු සිටින බව අපි දන්නවා. මේ නිසා විදේශ අධ්‍යාපනයට වඩා දේශීයව මෙවන් පෞද්ගලික අධ්‍යාපන ආයතන වඩා කාලෝචිතයි.

 

ඊයේ අධිකරණය ලබාදුන් තීන්දුවට සියලු දෙනා ගරු කළ යුතුයි. නීතිය ඉදිරියේ කවුරුත් එක සමානයි. තීන්දුවකට නියෝගයකට අභියෝග කරන්න උසාවි වටලා බෑ. එයට ක්‍රමවේදයක් තියෙනවා. අද ලංකාවේ සිදුවන්නේ අහිංසක වෛද්‍ය සිසුන් අතකොලු කරගෙන ඇතැම් පිරිස් වෙනත් වාසි සලසා ගැනීම පමණයි. 

ඉදිරියේදී තීරණයක් ගන්නවා
- රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය

සයිටම් පිළිබඳ අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුවේ නීතිමය කරුණු අභියෝගයට ලක්කිරීම අපි නීතිඥ මහත්වරුන්ගේ උපදෙස් අනුව සිදු කරනවා. මෙහි දේශපාලනික කරුණු නිරාකරණය කිරීම ලබන 03 දින වෛද්‍ය සභාව රැස්වී ගන්නා තීන්දු තීරණ මගින් සිදු කරනවා.

මෙහිදී අපට පෙනීයන්නේ සෞඛ්‍ය ඇමැතිවරයා සිය කාර්යභාරය නිසි පරිදි ඉටු කර නොමැති බවයි. සෞඛ්‍ය ඇමැතිවරයා සිය ස්ථාවරය දැනුම් නොදී වෛද්‍ය අඥාපනත අනුව ක්‍රියා නොකර කටයුතු කිරීම සම්බන්ධයෙන් අපි නැවත සිතා බැලිය යුතුයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප සංගමයක් ලෙස කටයුතු කරන්නේ කොහොමද කියලා ඉදිරියේදී බලා ගන්න පුළුවන්.

අධිකරණ තීරණය නිසා සයිටම් සිසුන්ට වෛද්‍යවරුන්වීමේ අවස්ථාව ලැබුණා
- සයිටම් සිසූන්ගේ දෙමාපිය සංසදයේ සභාපති ටී.එම්.කේ.එම් තෙන්නකෝන්

උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී තිබියදී හොර උපාධි කඩයක් යැයි කියමින් බොරු ප්‍රචාරණයක් ගෙන ගිය අයට අධිකරණයෙන් හොඳ තීරණයක් ලබාදී ඇතැයි සයිටම් ආයතනයේ ඉගෙනුම ලබන සිසූන්ගේ දෙමාපිය සංසදයේ සභාපති ටී.එම්.කේ.එම් තෙන්නකෝන් මහතා පවසයි.

අද සිට සයිටම් ආයතනයේ ඉගෙනුම ලැබූ සිසූන්ට වෛද්‍ය සභාවේ අනුමැතිය ලැබී ඇති අතර, ඔවුන්ටත් සීමාවාසික පුහුණුව ලබා වෛද්‍යවරුන් බවට පත්වීමේ හැකියාව දැන් විවරව ඇති බවද හෙතෙම සඳහන් කළේය. රජය ලබාදෙන පහසුකම් යටතේ උපරිමයෙන් තමන්ගේ ඉගෙනුම් කටයුතු සිදු කරන ලෙසද දෙමාපිය සංසදයේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

පෞද්ගලික විශ්වවිද්‍යාල බිහිවීම අනිවාර්ය යථාර්ථයක් 
- පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය උපුල් දිසානායක

අනාගතයේදී මේ රටේ පෞද්ගලික විශ්වවිද්‍යාල අධ්‍යාපනය නතර කරන්නට නොහැකියි. නමුත් මේ අධ්‍යාපන ආයතනවල නිසි ප්‍රමිතීන් ගැන අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. විශේෂයෙන් වෛද්‍ය විද්‍යාලවල හා මෙවැනි පෞද්ගලික ආයතනවලට ඇතුළත් වන දරුවන්ට එක පොදු විභාගයක් පැවැත්වීමට අවශ්‍යයි. මේ විභාගය වෛද්‍ය විද්‍යාවට අදාළ නිර්නායක සහිතව පැවැත්විය යුතු වෙනවා.

ඊට අමතරව මෙවැනි ආයතනවලට ඇතුළත් කර ගැනීමේදී සුදුසුකම් සම්බන්ධයෙන් ඉතා ඉහළ අවධානයක් යොමු කළ යුතුයි. එසේ නොමැති නම් විශාල ප්‍රශ්නයක් මතුවිය හැකියි. මේ අය ඉදිරියේදී ජනතාවගේ ජීවිත ගැන වගකියන පිරිසක් වන නිසා එම ප්‍රමිතිය ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතුයි.

අද ලෝකයේ විවිධ ආකාරයේ විශ්වවිද්‍යාල ක්‍රියාත්මක වෙනවා. මුදල් හම්බ කිරීමේ පරමාර්ථයෙන් ක්‍රියාත්මක වන ඒවා තිබෙනවා. එසේම මුදල් උපයා එම මුදලින්ම ඒ ඒ විශ්වවිද්‍යාල නඩත්තුව සංවර්ධනය සඳහා කටයුතු කරන විශ්වවිද්‍යාල තිබෙනවා. රාජ්‍ය විශ්වවිද්‍යාලත් තිබෙනවා. මේ නිසා මුදල්ම ඉපැයීම අරමුණු නොකර ප්‍රමිතිය හා නිර්ණායකයන් යහපත් මට්ටමේ ආයතන ඇති වූවාට වරදක් නැහැ. මේ ගැටලුව විසඳා ගැනීමට කළ යුතු හොඳම දේ හැටියට මා දකින්නේ ජාතික මට්ටමේ පොදු විභාගයක් පැවැත්වීම බවයි. සැබෑ ප්‍රමිතියෙන් යුතු වෛද්‍යවරයකු බිහි කිරීමට නම් මේ සියල්ල ගැන අවධානය යොමු කළ යුතුයි.

වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය වෙනුවෙන් අවශ්‍ය වුණොත් ජාත්‍යන්තරයට යනවා
- රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද

වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය හා ගුණාත්මකභාවය ආරක්ෂා කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සෑම අවස්ථාවකදීම පෙනී සිටින අතර ඒ සඳහා අවශ්‍ය වුවහොත් ජාත්‍යන්තරයට පවා යාමට සූදානම් බව සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පවසයි. අභියාචනාධිකරණයේ නියම වූ පරිදි වෛද්‍ය සභාවේ බලතල හා එහි සීමාවන් පිළිබඳව රට ඉදිරියේ පුළුල් කතිකාවතක් ආරම්භ විය යුතු බවත් වෛද්‍ය සභාවේ ප්‍රධාන කාර්යභාරය වනුයේ රෝගී ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම බවත් ඔහු කීය. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මඟින් සයිටම් ආයතනය සම්බන්ධයෙන් වාර්තාවක්‍ සෞඛ්‍ය ඇමැතිවරයා වෙත ලබා දුන් පසුව වෛද්‍ය සභාවේ කාර්යභාරය අවසන් වන බවත් එම වාර්තාවට අදාළව ක්‍රියාත්මක විය යුත්තේ සෞඛ්‍ය ඇමැතිවරයා වුවත් ඇමැතිවරයා‍ මේ වාර්තාවට අදාළව කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් හෙතෙම පැවැසීය. 

සන්ධ්‍යා කරුණාරත්න

නව අදහස දක්වන්න