නුගේගොඩ රංගනය | දිනමිණ

නුගේගොඩ රංගනය

වසන්ත ප්‍රිය රාමනායක

එ්කාබද්ධ විපක්ෂයේ අලුත්ම සටන් පාඨය වී තිබෙන්නේ මේ වසරේ රාජ්‍ය බලය ලබා ගන්නා බවයි. එවන් සටන් පාඨයක් නොමැතිව ඔවුන්ට තමන් වටා සිටින ජනතාව රදවා ගැනීමේ ප්‍රශ්නයක් මතු වේ. එය විපක්ෂයට ගිය විට සිදු වන සාමාන්‍ය දෙයකි. අඩුම ගානේ එ් සඳහා බස්වලින් සෙනඟ ගෙනැවිත් හෝ මෙවන් ජනබලයක් පෙන්වීම ඔවුන් වටා සිටින ජනයාගේ ආත්ම ශක්තිය වෙනුවෙන්වත් කළ යුතුය.

එ්කාබද්ධ විපක්ෂය දැවැන්ත රැලියක් සඳහා නුගේගොඩට පැමිණි ප්‍රථම අවස්ථාව මෙය නොවේ. පසු ගිය ජනාධිපතිවරණ පරාජයෙන් පසුවද ඔවුහු නුගේගොඩට පැමිණියහ. එ් හිටපු ජනාධිපතිවරයා නොමැතිවය. එදා හිටපු ජනාධිපතිවරයාගේ සහභාගිත්වයෙන් තොරව මීට වඩා දැවැන්ත සෙනඟක් නුගේගොඩට කැඳවීමට ඔවුහු සමත් වූහ. එදා පැමිණියේ හිටපු ජනාධිපතිවරයාගේ ආශිර්වාදයෙනි. ඊට සාපේක්ෂව මෙදා මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් පැවැති රැළියේ යම් අඩුවක් දක්නට ලැබේ.

එහෙත් නුගේගොඩ රැළියට එතරම් සෙනඟක් සහභාගි නොවූ බවක් මින් අදහස් නොවේ. විපක්ෂයක් හැටියට එය සාර්ථකය. එහෙත් වර්තමානයේ විරෝධතා හෝ සහයෝගිතා රැලි ජනතාව ස්වෝත්සාහයෙන් සහභාගි වන එ්වා නොවේ. බස් යොදා ජනතාව අද්දව ගන්නා රැලිය. එ් සඳහා නොමිලේ ගමන් ගාස්තු පමණක් නොව කෑම බීම වෙනත් අඩුම කුඩුම කටගැස්ම ද සහිතව සැපයේ. පාක්ෂිකයාට හෝ අන්තේවාසිකයාට අවශ්‍ය වන්නේ නොමිලේ දෙන බස් රථයේ නැ‍ඟී අදාළ ස්ථානයට පැමිණීමය. දැන් මෙහි අණ්ඩුව හා විපක්ෂය කියා බේදයක් නැත. කාටත් පොදු වූ ධර්මතාවයකි.

උද්ඝෝෂකයන්ට පහසුකම්

යම් ප්‍රමාණයකට මෙම පිළිවෙතින් බැහැරව කටයුතු කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ පමණි. මහජන රැලි පමණක් නොව කොළඹ නගරයේ පැවැත්වෙන උද්ඝෝෂණවල තත්ත්වය ද එයමය. බස්රථවලින් සංවිධානාත්මකව පැමිණෙන උද්ඝෝෂකයෝ අදාළ ස්ථානයේ බැස රාජකාරියක් සේ උද්ඝෝෂණවලට සහභාගි වී නැවත අදාළ ප්‍රවාහන පහසුකම් ඔස්සේම තම නවාතැන්වලට හෝ රාජකාරි ස්ථානවලට යති. ස්වේච්ඡාවෙන් මේවාට සහභාගි වන්නේ ඉතා නොවැදගත් අතලොස්සකි. එම අර්ථයෙන් ගත් කළ මෙවන් රැලි සියල්ල කෘත්‍රිම විවිධ දේශපාලන වුවමනාවන් සඳහා සංවිධානය වන බවක් පෙනේ. ජනතාවට පොදුවේ මේ දේශපාලනය තිත්ත වීම මීට ප්‍රධාන හේතුවකි. මේවාට සහභාගි වන්නන් වුව ද එසේ සහභාගි වන්නේ එක්කෝ ආණ්ඩුවෙන් යමක් ඉටු කරවා ගැනීමට ය. නැතිනම් හෙට දවසේ පිහිටුවනවා යැයි කියන ලබන රජයකින් බලාපොරොත්තු වන පල ප්‍රයෝජන උදෙසාය.

එහෙත් ආණ්ඩු විරෝධී හෝ ආණ්ඩුවට පක්ෂපාතී උද්ඝෝෂණ හා රැලි නොපැවැත්විය යුතුයැයි මින් අදහස් නොවේ. ප්‍රජාතන්ත්‍රවාදි පාලනයක එවැන්නක් අත්‍යවශ්‍යය. විශේෂයෙන් ආණ්ඩු විරෝධී රැළි මගින් හෝ උදේඝෝෂණ මගින් දෙනු ලබන පණිවුඩය රාජ්‍ය පාලනයේ දී රජයට වැදගත් ය. නුගේගොඩ රැලිය ද එවැන්නක් බව පෙනේ.

එ්කාබද්ධ විපක්ෂයේ අලුත්ම සටන් පාඨය වී තිබෙන්නේ මේ වසරේ රාජ්‍ය බලය ලබා ගන්නා බවයි. එවන් සටන් පාඨයක් නොමැතිව ඔවුන්ට තමන් වටා සිටින ජනතාව රදවා ගැනීමේ ප්‍රශ්නයක් මතු වේ. එය විපක්ෂයට ගිය විට සිදු වන සාමාන්‍ය දෙයකි. අඩුම ගානේ එ් සඳහා බස්වලින් සෙනඟ ගෙනැවිත් හෝ මෙවන් ජනබලයක් පෙන්වීම ඔවුන් වටා සිටින ජනයාගේ ආත්ම ශක්තිය වෙනුවෙන්වත් කළ යුතුය. එහෙත් එ්කාබද්ධ විපක්ෂය 2017 රාජ්‍ය බලය ලබ ගන්නේ කෙසේ ද යන ප්‍රශ්නය දේශපාලනය ගැන අවබෝධයක් නොමැති කෙනෙකුට වුව ද වැටහේ.

රාජ්‍ය බලය

රාජ්‍ය බලය උදෙසා පාර්ලිමේන්තුවේ 113ක බහුතරයක් පෙන්විය යුතුය. විශේෂයෙන් ඔවුන් නම් කරනු ලබන අගමැති අපේක්ෂකයාට 113ක කැමැත්ත ප්‍රකාශයට පත් කළ යුතුය. නිතැතින්ම එ්කාබද්ධ විපක්ෂය මේ සඳහා යෝජනා කරන තැනැත්තා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතායි. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී මහින්ද අගමැති කිරීම උදෙසා තරග වැදුණු එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලැබුණේ ආසන 95කි. එම මැතිවරණයේ දී රජයක් පිහිටු වීමේ පුරෝගාමී කණ්ඩායම ලෙසින් වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගනු ලැබුවේ එක්සත් ජාතික පෙරමුණයි. ආසන 106කි. එහෙත් පාර්ලිමේන්තුවේ අවම බහුතර ලබා ගැනීමට ද එම පෙරමුණ අසමත් විය. මේ නිසා ජනතා තීන්දුව දෙපිරිසම (එ.ජා.ප. හා එ.ජා.නි.ප.) එක් වී ආණ්ඩුවක් පිහිට විය යුතුය යන්නයි. රටේ මූලික ප්‍රශ්න උදෙසා විසඳුම් ලබා දෙන ආණ්ඩුවක් ලෙසින් ඊට නායකත්වය දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කරමින් සිටී.

මෙම මෛත්‍රී සංකල්පය යටතේ මේ වන විට පාර්ලිමේන්තුවේ 165ක පමණ නැති නම් තුනෙන් දෙකකටත් වඩා මන්ත්‍රීන් සංඛ්‍යාවක් සහිත ආණ්ඩු පක්ෂයක් ක්‍රියාත්මක වේ. මේ නිසා එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත්ව සිටින වත්මන් ආණ්ඩුවේ ශක්තිය පැහැදිලි ය.

හිටපු ජනාධිපතිවරයා මේ වසර තුළ පෙරළා දමනවාය කියන්නේ මෙවන් රජයකි. එහෙත් මේ වන විට ඔහුට පාර්ලිමේන්තුවේ පක්ෂපාතිත්වය දරන මන්ත්‍රීන් සංඛ්‍යාව 51කි. ඔහු අගමැති විම සඳහා 165ක රජයක් පෙරළා දමා අඩුම තරමින් 113ක ආණ්ඩුවක් ගොඩනැගීමේ සමීකරණය විසඳා ගන්නේ කෙසේ ද ? ඊට නිසි පිළිතුරක් නොමැත.

ඔළුගෙඩි මාරුව

ඒකාබද්ධ විපක්ෂය යෝජනා කරන පිළිවෙත, නිතැතින් ම ඔළුගෙඩි මාරු කිරීමකි. මේ සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩු නියෝජනය කරන කණ්ඩාමෙන් ඔළු ගෙඩි 62ක් සොයා ගත යුතුය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන කණ්ඩායමෙන් කොටසක් ස්ථිරවශයෙන් ම ජනාධිපති මෛත්‍රීපාල යෝජනා කරන කෙනකු හැරෙන්නට හිටපු ජනාධිපතිවරයා අගමැති කරවීමට සුදානම් නොමැති බව පෙනේ. ජාතික ලැයිස්තුව නියෝජනය කරන හා නොකරන මන්ත්‍රීවරුන්ගෙන් මෙම පිරීස සමන්විතයි. මින් පිරිසකට දැන් මහින්ද ළඟට යා නොහැකිය. මීට අමතරව අනිවාර්යයෙන් ම 95 සිට 113 දක්වා මන්ත්‍රීවරුන් 18ක් තවත් මන්ත්‍රීවරුන් 18ක් පමණ එක්සත් ජාතික පෙරමුණෙන් සොයා ගැනීමට ද සිදු වේ. හිටපු ජනාධිපතිවරයා අගමැති කර වීමට එකඟ නොවන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසේ ප්‍රමාණයේ අඩුව පිරිමසා ගැනීමට ද තවත් එක්සත් ජාතික පෙරමුණේ කණ්ඩායමක් දිනා ගත යුතුය.

මේ අනුව හිටපු ජනාධිපතිවරයා අගමැති කරවීමට නම් එක්සත් ජාතික පෙරමුණෙන් පමණක් සොයා ගත යුතු මන්ත්‍රීන්ගේ සංඛ්‍යාව තිස් පහක් හතළිහක් විමට ද ඉඩ තිබේ. සාමාන්‍යයෙන් ආණ්ඩුවේ බලය හැර දමා විපක්ෂයේ කෙනෙක් අගමැති කරවීමට හෝ විපක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවීමට අඩුපාඩු පිරිමැසීමට හෝ ආණ්ඩුවෙන් විපක්ෂයට යන සිරිතක් නැත. එහෙත් විය හැක්කේ එක්සත් ජාතික පක්ෂයට තනි බලයක් සඳහා අඩුවක්ව පවතින මන්ත්‍රීවරුන් 7 දෙනා විපක්ෂයෙන් සොයා ගැනීමට හැකි වීමය. මේ නිසා, කොතරම් සෙනඟක් නුගේගොඩට කැඳවුව ද හිටපු ජනාධිපතිවරයාගේ අගමැති සිහිනය දිනෙන් දින දුරස් වෙමින් පවතී.

මේ අතර එ්කාබද්ධ විපක්ෂයේ සමහරු තමන්ගේ දේශපාලන අවශ්‍යතා උදෙසා හිටපු නායකයාගේ කීර්තිය පාවිච්චි කරන බවත් පෙනේ. මීට ඉහත දී එනම් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට පෙර නුගේගොඩට දැවැන්ත සෙනඟක් කැදෙව්වා අපට මතකය. එදා කීවේ කුමක් ද ? “සීගිරි ගල වගේ වෙනස් නොවන ඡන්ද 58 ලක්ෂයක් අපට තිබෙනවා. එම පිරිස මහින්ද රාජපක්ෂ මහතා අගමැති කරලීමට නොවරදවාම ඡන්දය පාවිච්චි කරනවා“ යන්නයි. එදා වීමල් වීරවංශ, උදය ගම්මන්පිල වැනි සන්ධාන නායකයෝ සඳහන් කළේ මහින්ද අගමැති කරලීමේ මැතිවරණ ව්‍යාපාරයක දී එම පිරිස එ් සඳහා සැදී පැහැදි ඡන්ද පොළට පැමිණෙන බවයි. ඔවුහු ජන විඥානය ගැන දැන සිටියේ එහෙමය. එහෙත් මැතිවරණ ප්‍රතිඵලය පැහැදිලිය.

එදා හිටපු ජනාධිපතිවරයා ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මුළු දිවයින පුරාම තරග කළ අපේක්ෂක කණ්ඩායමට එකතුකර ගත හැකි වුයේ ඡන්ද ලක්ෂ 47ක් පමණි. නැතිනම් 58 ලක්ෂයට ලක්ෂ 11ක් අඩුවෙනි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන සංඛ්‍යාව 95 දක්වා අඩු වූයේ මේ නිසාය. 58 ලක්ෂයක් ඡන්දය දුන්නා නම් එම සංඛ්‍යාව 118ක් පමණ විය හැකිව තිබුණි. මේ නිසා එදා 58 ලක්ෂයේ නුගේගොඩ මිථ්‍යාව බිඳ වැටුණි. සිදු වුයේ හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රයෝජනය ගෙන සුළු පක්ෂ තමන්ගේ ජාම බේරා ගැනීම පමණි. ඔවුන් අදත් ඔහු පාවිච්චි කරමින් සිටින්නේ එ් සඳහා ය.

දූෂකයෝ සහ දඬුවම්

මේ නිසා 2015 මේ ජනතාව නුගේගොඩ කැඳවා කරගන්න බැරි වූ කාර්ය ඊට වඩා අඩු සෙනඟකින් 2017 දී ද ඉටු කර ගැනීමට මේ පිරිසට නොහැකි වනු ඇත. එහෙත් නුගේගොඩින් දෙනු ලබන පණිවිඩය මේ ආණ්ඩුවේ අයටත් වැදගත් ය.

2015 ජනවාරි 8 වැනිදා ජනාධිපතිවරණය ජයගන්නේ පසුගිය රජයේ දූෂණ අක්‍රමිකතා ද හුවා දක්වමිනි. එ්වාට සම්බන්ධ ලොක්කන් නීතිය ඉදිරියට පමුණුවා දඬුවම් දෙන බව රටට පොරොන්දු විය. මහා පරිමාණයේ දූෂණ අක්‍රමිකතාවල අලාභය රට හමුවේ තැබීය. දඬුවම් කෙසේ වෙතත් තවමත් පසුගිය මැතිවරණ වේදිකාවල මොර දුන් මහා පරිමාණයේ දුෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් විධිමත් අධිකරණ ක්‍රියාමාර්ගයක් හෝ නඩු විභාගයක්වත් දක්නට නොලැබේ. වත්මන් රජය බලයට පත්කිරීමට උරදුන් සිවිල් ව්‍යාපාරවලට මෙන් ම ජනතාවටද මේ සම්බන්ධයෙන් ඇත්තේ විමතියකි. වික්ෂිප්තභාවයකි.

මේ අතර එ්කාබද්ධ විපක්ෂයේ සමහරු නුගේගොඩ වේදිකාවේ මොර දෙන්නේ නිර්දෝශී පිරිස් ලෙසිනි. ඔවුහු දැන් ආණ්ඩුව අභියෝග කරති.

”කෝ හොරු ඇල්ලුවා ද”

කියා උසුළු විසුළු කරති. එක් පැත්තකින් දේශපාලන වුවමනාවක් උදෙසා වුවද නිර්දෝශ අය සම්බන්ධයෙන් එවන් චෝදනා එල්ල කිරීම සාධාරණ නොවේ. එසේ නම් සිදු වී තිබෙන්නේ කුමක්ද? කවුරුත් කාගේ කාගෙත් හිතසුව පිණිස කටයුතු කරමින් සිටින්නේද? මේ අතර නුගේගොඩ වේදිකාවෙන් ප්‍රකාශ වන්නේ ඔවුන් බලයට පත් වූ වහාම මේ රජය යටතේ සිදු වූ හොර මැරකම් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගෙන වරද කරුවන් සිරගත කිරීමේ කතාවකි. එක් පැත්තකින් මේ විකාරරූපි දේශපාලන චිත්‍රය හරිම හාස්‍යජනකය.

ණය බර

මේ අතර මේ රටේ ආයෝජනය කරන අයට කරනු ලබන තර්ජනය ද ගණන් නොගෙන ඉවතලිය නොහැකිය. පෞද්ගලික හා රාජ්‍ය ආයෝජන පිළිවෙත යටතේ සිදුවෙමින් පවතින රාජ්‍ය ආයෝජන යළි රජයට පවරා ගන්නා බවට විපක්ෂයෙන් තර්ජන කරන විට රටට ආයෝජකයන් පැමිණෙන්නේ නැත. මෙය කෙළින්ම රටේ සංවර්ධනයට හා ණය බර සැහැල්ලු කර ගැනීමට එරෙහිව සිදු කරනු ලබන දේශපාලන තර්ජනයකි. කුමන්ත්‍රණකාරි ආණ්ඩු පෙරළියකට ඉඩක් නොමැති වුවද මේවාට පිළිතුරු දීමට රජයට සිදු වේ. පසුගිය සමයේ ආණ්ඩුව පැත්තෙන් ද විපක්ෂයට ලකුණු දමා ගැනීමට ඉඩ සලසා දී තිබෙන බව කනගාටුවෙන් වුවද කිව යුතුය. ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ පරස්පර විරෝධී කතා හේතුවෙන් යම් අවුලක් දක්නට ලැබෙන බව ද පෙනේ.

නව අදහස දක්වන්න