පීඨ බලය අවභාවිතය සහ විශ්වවිද්‍යාල ශාස්ත්‍ර පරිහානිය | දිනමිණ

පීඨ බලය අවභාවිතය සහ විශ්වවිද්‍යාල ශාස්ත්‍ර පරිහානිය

විශ්වවිද්‍යාලයීය පීඨවල පවත්නා මෙම අවිනිශ්චිත ස්වභාවය වෙනස් කිරීමට දැන් කාලය උදා වී ඇත. වඩාත් විධිමත් හා විනිවිදභාවයකින් යුතුව කටයුතු කරන අධ්‍යයන පීඨ සම්ප්‍රදායයක් ඇතිකොට රටේ සංවර්ධනයට සෘජුව ම බලපාන අධ්‍යයන පරිසරයක් විශ්ව විද්‍යාල තුළ ඇතිකළ යුතු ය. මෙම යල් පැනගිය ක්‍රමවේදය විශ්වවිද්‍යාලයීය පීඨවල තවදුරටත් පැවතුණහොත් විශ්ව විද්‍යාල අධ්‍යාපනය වඩ වඩාත් පිරිහීමත්, රාජ්‍ය විශ්වවිද්‍යාල කඩාවැටීමත් වළක්වා ගත නොහැකිය.

විශ්වවිද්‍යාලය යනු රටකට අවශ්‍ය දැනුම නිර්මාණය කරනු ලබන බුද්ධි කේන්ද්‍රස්ථානය වේ. එසේ ම රටක සංවර්ධනයට අවශ්‍ය මූලික දැනුම් සම්භාරය නිර්මාණය කරනු ලබන්නේ ද විශ්වවිද්‍යාලවලිනි. ලෝකයේ සෑම දියුණු සංස්කෘතියකම ඉතා විශිෂ්ට විශ්වවිද්‍යාල බිහි වී ඇති අතර එම විශ්වවිද්‍යාලවලින් නිර්මාණය කරන ලද දැනුම උපයෝගී කරගෙන ඒ රටවල් පමණක් නොව ලොව වෙනත් රටවල් ද දියුණු වන බව අවිවාදයෙන් පිළිගත යුතුය. මේ අනුව විශ්වවිද්‍යාලය ද තවත් එක් පාසලක් හෝ ඉගැන්වීමේ ආයතනයක් පමණක් නොව දැනුම නිර්මාණය කර ලොවට දායාද කරනු ලබන බුද්ධි කේන්ද්‍රස්ථානයක් බව වටහා ගැනීමට අපහසු නැත.

එංගලන්තයට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සේ ම, ඇමරිකා එක්සත් ජනපදයට හාවර්ඩ් විශ්වවිද්‍යාලයද, ජපානයට තෝකියෝ විශ්වවිද්‍යාලය සේ ම චීනයට බෙයිජිං විශ්වවිද්‍යාලය ද එක සේ වැදගත් වන්නේ මේ නිසාය.

ජාත්‍යන්තර තත්ත්වය එසේ වුවද, වර්තමාන ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය රටේ ආර්ථික සංවර්ධනයට ඍජු දායකත්වයක් ලබා නොදෙන බවට ඇතැම්හු චෝදනා කරති. මීට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ මෙරට බොහෝ විශ්වවිද්‍යාල රටේ සංවර්ධනය සඳහා හේතුවන ශාස්ත්‍රඥානය, දැනුම හා දැනුමෙන් පිරිපුන් මිනිසෙකු නිර්මාණය කිරීමට අපොහොසත් වීම ය. මේ නිසාම යල්පැන ගිය දැනුම් සම්භාරයක් පරපුරෙන් පරපුරට දායාද කිරීමට තරම් විශ්වවිද්‍යාල උගතුන් ගතානුගතික බවද නගන තවත් චෝදනාවකි.

ලංකාව තුළ ආර්ථික සංවර්ධනයක් බලාපොරොත්තු වන මෙම මොහොතේ පොදුවේ දක්නට ලැබෙන, විශ්වවිද්‍යාලයීය ශාස්ත්‍ර පරිහානියට තුඩු දෙන හේතු විමසා බැලීම කාලෝචිත වන්නේ ඒ නිසා ය.

බොහෝ අය දරන මතයක් නම් විශ්වවිද්‍යාල ශාස්ත්‍ර පරිහානියට ඍජුව ම හේතු වන්නේ දේශපාලනික බලපෑම් බව ය. විශ්වවිද්‍යාලයීය ඉහළ තනතුරුවලට මෙන් ම ශිෂ්‍ය සංවිධානවලට ද දේශපාලනික බලපෑම්වල උණුසුම නොදැනෙන්නේ ම නොවේ. එහෙත් විශ්වවිද්‍යාලයීය කටයුතු දේශපාලනයෙන් තොරව ම සිදු විය යුතු යැයි කවරෙකු හෝ කියන්නේ නම් එය ප්‍රායෝගික නොවන යෝජනාවකි. විශ්වවිද්‍යාල පද්ධතිය පිළිබඳ තීන්දු තීරණ ගන්නේ රජයෙනි. එසේ ම ලෝකයේ සෑම රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ම අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන්නේ ද රජයෙනි. රජයේ විශ්වවිද්‍යාල පිළිබඳ ප්‍රතිපත්ති තීරණය කරනුයේ දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති අනුව ය. මේ නිසා දේශපාලනික මත විශ්වවිද්‍යාල කෙරෙහි බලපාන බව පිළිගත යුතුය. එහෙයින් රජයක් එක්තරා දුරකට විශ්වවිද්‍යාල ස්වාධීනත්වයට බලපෑවද විශ්වවිද්‍යාලයීය ශාස්ත්‍ර පරිහානියට බලපාන එක ම හා අනිවාර්ය සාධකය ලෙස එය පිළිගැනීම යුක්ති සහගත නොවේ.

“විශ්වවිද්‍යාලයීය ශාස්ත්‍ර පරිහානිය“ යනු ඉතා සරල ලෙස විග්‍රහ කළොත් “විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනයේ ගුණාත්මක භාවය හා ප්‍රායෝගික භාවය හීනවීම“ යනුවෙන් සඳහන් කළ හැකිය. විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනයේ ගුණාත්මක භාවය හා ප්‍රායෝගික භාවය තහවුරු කිරීම පිණිස කටයුතු කරනුයේ විශ්වවිද්‍යාලයීය පීඨ මණ්ඩල ය. මේ නිසා පීඨ මණ්ඩලයක ප්‍රධාන වගකීම විය යුත්තේ වඩාත් උසස් පාඨමාලා හඳුන්වා දෙමින් අධ්‍යාපන මට්ටම ඉහළ තලයකට පත් කිරීම ය. නමුත් මේ වන විට විශ්වවිද්‍යාලයීය පාඨමාලාවල ගුණාත්මක භාවය ආරක්ෂා කිරීමට පිහිටුවා ඇති විශ්වවිද්‍යාලයීය පීඨ මණ්ඩල ක්‍රම ක්‍රමයෙන් ස්වාධීන නොවන ආයතන බවට පත්වෙමින් තිබෙන බව ප්‍රකාශ කළ යුතුය. මීට හේතුව පීඨවල බලය බොහෝ විට අවභාවිත වීමයි. ඒ නිසා ම පීඨ සාමාජිකයන් සතු ස්වාධීනත්වය විනාශ වීමත්, පීඨයක් තුළ“එහෙයියන්පිරිසක් බිහිවීමත් සිදු වේ.

විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනයේ මූලික පදනම සකස් කිරීමත්, පාඨමාලා ව්‍යුහය තීරණය කිරීමත් සිද්ධ වනුයේ පීඨ මඟිනි. විශ්වවිද්‍යාල පනතට අනුව පනතේ අංක 48 (3) දරන වගන්තිය යටතේ අධ්‍යයන පාඨමාලා හා විභාගාදිය පිළිබඳ සියලු කටයුතු සකස් කර සනාතන සභාවට ඉදිරිපත් කළ යුත්තේ පීඨ මණ්ඩල විසිනි. නමුත් අද වන විට ඇතැම් විශ්වවිද්‍යාල පීඨාධිපතිවරුන් විශ්වවිද්‍යාල පනතින් ලැබීනැති විශාල බලයක් අනිසි ලෙස නතුකරගෙන පනතට විරුද්ධව කටයුතු කරන බව පෙනෙන අතර මේ නිසා බලය අවභාවිත වන බව පෙනී යයි. විශ්වවිද්‍යාල පනතට අනුව නම් විශ්වවිද්‍යාල පීඨ සභාව සනාතන සභාවට වගකිවයුතු ආයතනයක් වන අතර ඊට ඇත්තේ ඕනෑම දෙයක් සනාතන සභාවට යෝජනා කිරීමේ බලය පමණි.

තත්ත්වය මෙසේ තිබියදී අද වන විට ඇතැම් විශ්වවිද්‍යාලවල ගොඩනැගිලි පැවරීම්, පවරා ගැනීම්, අරමුදල් පරිපාලනය, විනය පරීක්ෂණ, මාරු කර යැවීම්, තනතුරු ‍හෝ උසස්වීම් අත්හිටුවීම හෝ දඬුවම් පැමිණවීම වැනි කටයුතු පීඨ මඟින් හෝ පීඨාධිපතිගේ අභිමතය පරිදි සිදුවන බව උදාහරණ සහිතව පෙන්වා දීමට පුළුවන. මෙලෙස පීඨයක පීඨාධිපතිවරයා විශ්වවිද්‍යාලයක උපකුලපතිවරයෙකු සතුව පවා නොමැති බලයක් නතුකරගෙන සිටින බැවින්, එහි ප්‍රතිඵලය වන්නේ පීඨයේ සාමාන්‍ය ක්‍රියාවලිය බිඳවැටීම නිසා විශ්වවිද්‍යාල තුළ පැවතිය යුතු ස්වාධීන චින්තනය නැතිවීමත් විවේචනයට හා විචාරයට වැට බැඳීමත් නිසා එහෙයියන් පිරිසක් බිහිවීම ය. මෙය විශ්වවිද්‍යාල ශාස්ත්‍ර පරිහානියට සෘජුව ම බලපාන බව අවබෝධ කර ගැනීමට අපහසු නැත.

තත්ත්වය වඩාත් නරක අතට හැරී විශ්වවිද්‍යාල අධ්‍යාපනය තවදුරටත් පිරිහීමට හේතුවන තවත් සාධකයක් තිබේ. එය නම් විශ්වවිද්‍යාල පනතේ අංක 49 (1) දරන වගන්තිය යි. විශ්වවිද්‍යාලයක පීඨාධිපති තනතුරට පීඨ ඡන්දයෙන් එම පීඨයට අයත් අංශයක අංශාධිපතිවරයෙකු පත්කරගත යුතුය යන වගන්තිය ඉතා අයුතු ලෙස අවභාවිතයට යොදාගත හැකි බව සාක්ෂි සහිතව පෙන්වා දීමට පුළුවන. මේ නිසා පීඨාධිපති තනතුරකට ඉල්ලුම් කරන අය බොහෝ විට ඡන්ද අපේක්ෂකයෙකුගේ තත්ත්වයට පත්වන අතර බොරු පොරොන්දු දීම, විවිධ අල්ලස් ලබාදීම, ඡන්ද සංග්‍රහ පැවැත්වීම මෙන්ම වැඩිපුර ඡන්ද තිබෙන ආචාර්යවරුන් වැඩි සංඛ්‍යාවක් ඇති අංශවල අතකොලුවක් වීම ද සිදුවන ආකාරය ඉතා ප්‍රකට ය.

මෙහි ඇති භයානක තත්ත්වය නම් ඕනෑම පීඨයක වැඩිපුරම ආචාර්යවරුන් සිටින අංශ දෙක තුනක් එකට එකතු වූ විට තමන් කැමති ඕනෑම අයෙකු පීඨාධිපති බවට පත් කරගෙන හිතුමතේට කටයුතු කළ හැකි වාතාවරණයක් නිර්මාණය වීමයි. මෙහි ප්‍රතිඵලය ඉතාමත් ම අහිතකරය. ආචාර්යවරුන් අඩු කුඩා අධ්‍යයන අංශ පිරිහීමත්, විශාල සංඛ්‍යාවක් ඇති අධ්‍යයන අංශවල බලය තවදුරටත් වර්ධනය වීමත් නිසා පීඨයක් තුළ තිබිය යුතු බල තුලනය බිඳ වැටී විශ්වවිද්‍යාලයීය පීඨයක් කීපදෙනෙකු අත පමණක් රැ‍‍ඳෙන තත්ත්වයක් උදා වෙයි.

වර්තමාන විශ්වවිද්‍යාලයීය පීඨ තුළ දක්නට ලැබෙන ප්‍රධාන ම අඩුපාඩුවක් නම් පීඨයට අයත් ඒ ඒ අධ්‍යයන අංශවලට ආචාර්යවරුන් පත්කර ගැනීම පිණිස විධිමත් ක්‍රමවේදයක් නොමැතිකම ය. අධ්‍යයන අංශවලට ආචාර්යවරුන් බඳවා ගැනෙන්නේ පීඨයට පොදුවේ ලැබෙන නව පත්වීම් හරහා ය. මෙබඳු තත්ත්වයක් තුළ ඉහත සඳහන් කරන ලද ආකාරයේ ඡන්ද අපේක්ෂකයකු අහම්බෙන් හෝ පීඨාධිපතිවරයකු ලෙස පත්වුවහොත් බොහෝ විට සිදුවන්නේ එම නව පත්වීම් බොහොමයක් තම අපේක්ෂා ඉටුකළ අධ්‍යයන අංශවලට ලබා දීම ය. එපමණක් නොව එබඳු අයෙකුගේ අභිමතය පරිදි පීඨයකට ලැබෙන ගො‍ඩනැගිලි අත්තනෝමතිකව පැවරීමට ද හැකි අතර පවත්නා ගොඩනැගිලි හා නිශ්චල සම්පත් ද තමන් කැමති අයුරින් අන්‍ය අංශ සන්තක කිරීමට හැකිය.

තත්ත්වය මෙසේ වන විට ඇතැම් අංශවල එක් පාඨමාලාවක් සඳහා ස්ථිර කථිකාචාර්යවරුන් පස්, හයදෙනෙකු හා තාවකාලික ආචාර්යවරුන් දෙතුන් දෙනෙකු පමණ සිටින මුත්, තවත් අංශවල එක් පාඨමාලාවකට එකදු ස්ථිර කථිකාචාර්යවරයෙකුවත් නොමැති අවස්ථා තිබෙන බව පෙන්වා දීමට පුළුවන.

මෙබඳු විෂමතා ඇතිකොට අධ්‍යයන අංශ දුර්වල කිරීමේ කුමන්ත්‍රණ පවා විශ්වවිද්‍යාල තුළ ඇතිවීමෙන් මෙරට විශ්වවිද්‍යාල අධ්‍යාපනය බරපතළ අනතුරකට ඇද දැමීමට ඇතැමුන්ට ඉඩකඩ ලැබේ. මේ නිසා එක් සතියකට දේශන පැයක් හෝ දෙකක් පමණක් පවත්වන විශ්වවිද්‍යාලයීය කථිකාචාර්යවරුන් සේ ම දේශන පැය දහසයක් හෝ විස්සක් පමණ පවත්වන කථිකාචාර්යවරුන් ද සිටින බව පෙන්වා දීමට පුළුවන.

විශ්වවිද්‍යාලයීය පීඨවල පවත්නා මෙම අවිනිශ්චිත ස්වභාවය වෙනස් කිරීමට දැන් කාලය උදා වී ඇත. වඩාත් විධිමත් හා විනිවිදභාවයකින් යුතුව කටයුතු කරන අධ්‍යයන පීඨ සම්ප්‍රදායයක් ඇතිකොට රටේ සංවර්ධනයට සෘජුව ම බලපාන අධ්‍යයන පරිසරයක් විශ්වවිද්‍යාල තුළ ඇතිකළ යුතු ය. මෙම යල්පැනගිය ක්‍රමවේදය විශ්වවිද්‍යාලයීය පීඨවල තවදුරටත් පැවතුණහොත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය වඩ වඩාත් පිරිහීමත්, රාජ්‍ය විශ්වවිද්‍යාල කඩාවැටීමත් වළක්වා ගත නොහැකිය.

විශ්වවිද්‍යාල විද්‍යාර්ථින් උදෙසා පවත්වනු ලබන පාඨමාලා ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය පදනම් කර ගත් විධිමත් වැඩපිළිවෙළක් විය යුතු බව අද ජාතික හා ජාත්‍යන්තරව පිළිගන්නා කාරණයකි. “ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය“ යනු ශිෂ්‍යයා මුල් කරගත් ශිෂ්‍ය අධ්‍යාපන අවශ්‍යතාවලට මුල් තැන දෙන ඉගෙනුම්, ඉගැන්වීම් ක්‍රමයකි. තමන් කැමති විෂයක් ඉගෙනීමට විද්‍යාර්ථියා උනන්දු කරවන මෙම ක්‍රමය තුළ විශ්වවිද්‍යාල පද්ධතියේ පෙර පැවති ඇතැම් විෂයයන් පිළිබඳ පූර්ව සුදුසුකම් හෝ අවශ්‍යතා ද මේ වන විට ඉවත් කර තිබේ. මේ තත්ත්වය යටතේ යල් පැන ගිය ‍ගතානුගතික පාඨමාලා කෙරෙහි විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථියා උනන්දුවක් නොදක්වන අතර ආර්ථික හා සමාජයීය වටිනාකම් සහිත විෂයයන් ඉගෙනීමට විද්‍යාර්ථින් නිතැතින්ම යොමුවන බව පෙන්වා දීමට පුළුවන.

තත්ත්වය මෙසේ වුවද, ඇතැම් පසුගාමී පීඨ එබඳු යල්පැනගිය පාඨමාලා ආරක්ෂා කර ගැනීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම හරහා සෘජුව ම සිසුන් බඳවා ගැනීම අද වන විට සාමාන්‍ය ක්‍රමවේදයක් බවට පත්කරගෙන තිබේ. මේ නිසා පාඨමාලා ආරක්ෂා කර ගැනීම සඳහා විද්‍යාර්ථින්ගේ අනාගතය බිළිදීමට කිසිසේත් ම ඉඩ නොදිය යුතුය. එබඳු යල්පැනගිය පාඨමාලා රටට ඉතා ප්‍රයෝජනවත් නම්, හෝ වර්තමාන විද්‍යාර්ථින් ආකර්ෂණය කර ගැනීමට තරම් කාලෝචිත වන්නේ නම් හෝ විද්‍යාර්ථින් විසින් ඒවා ස්වකීය අභිමතය පරිදි නිදහසේ තෝරාගන්නවා ඇත. නමුත් එසේ නොකර යම් යම් පාඨමාලා සඳහා කණ්ඩායම් වශයෙන් විද්‍යාර්ථින් බඳවා ගැනීමත් සමඟ අසාර්ථක පාඨමාලාවලින් බිහිවන උපාධිධාරීන්ගේ රැකියා වියුක්තිය අනාගතයේදී තවදුරටත් උග්‍රවෙනවා නො අනුමානය. මෙම තත්ත්වයට වගකිවයුත්තේ දේශපාලනඥයා ද නොඑසේ නම් විශ්වවිද්‍යාලයීය පාඨමාලා සකස් කිරීමේ භාරදූර වගකීම දරන අධ්‍යයන පීඨ ද යන්න සිතා බැලිය යුතුය.

වර්තමාන ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල මුහුණ දෙන ගැටලු රාශියකි. ඒ අතර වඩාත් ඵලදායී හා ආකර්ශනීය පාඨමාලා පවත්වාගෙන යා හැක්කේ කෙසේද යන්න ප්‍රධාන ය. මේ නිසා විශ්වවිද්‍යාලයීය අධ්‍යයන පීඨයක සංයුතිය තීරණය කෙරෙන අධ්‍යයන අංශවල ස්වාධීනත්වය ආරක්ෂා කළ යුතු අතර ශිෂ්‍ය කේන්ද්‍රීය පාඨමාලා සකස් කිරීමේ වගකීම මෙන් ම භෞතික සම්පත් ලබාගැනීමේ අයිතිය ද තිබිය යුත්තේ එම අධ්‍යයන අංශවලට ම ය. මන්දයත් අධ්‍යයන පාඨමාලා හා ඊට අවශ්‍ය භෞතික සම්පත් ද එකට එකක් බැඳී පවතින බව අමතක නොකළ යුතු බැවිනි.

විශ්වවිද්‍යාල පනතට අනුව අධ්‍යයන පීඨවලට පැවරී ඇති බලතල පිළිබඳ මනා අවබෝධයක් විශ්වවිද්‍යාල පරිපාලනයේදී තිබෙනවාද යන්න ප්‍රශ්නයකි. පරිපාලනය තුළ එබඳු අවබෝධයක් නොමැති නිසා පීඨ මට්ටමින් සිදුවන අත්තනෝමතික හා අවස්ථාවාදී ක්‍රියාවන් හා බලය අවභාවිත කිරීම පාලනය කිරීම පිණිස වඩා විධිමත් ක්‍රියා පිළිවෙතක් අනුගමනය කළ යුතු ම ය. මේ සඳහා භාවිත කළ හැකි ක්‍රියාමාර්ග ද නැත්තේ ම නොවේ.

විශ්වවිදාල අධ්‍යයන පීඨවල සිදුවන දූෂණය, අකාර්යක්ෂමතාව හා බලය අවභාවිත කිරීම හඳුනාගෙන පාලනය කිරීම පිණිස විශ්වවිද්‍යාල පනතට අනුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ. ඒ කටයුත්ත වඩාත් සාර්ථක කර ගැනීම පිණිස විශ්වවිද්‍යාලයීය සනාතන සභාව වඩාත් සක්‍රීය හා බලසම්පන්න ආයතනයක් විය යුතු ය. ඇත්ත වශයෙන් ම සනාතන සභාවට විශ්වවිද්‍යාල පනතින් ලැබී ඇති බලතල නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ නම් විශ්වවිද්‍යාලවල පීඨ මීටත් වඩා ක්‍රමානුකූල ව කටයුතු කරන බව කිව යුතුය.

මේ නිසා ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල වඩාත් දියුණු හා උසස් දැනුම් සම්භාරයක් නිර්මාණය කරනු ලබන සාඩම්බර බුද්ධි කේන්ද්‍රයන් බවට පත්වීම යුගයේ අවශ්‍යතාවකි. තවද ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල රැකගැනීම මෙරට නිදහස් අධ්‍යාපනය අගයන සැමගේ වගකීම විය යුතුය. 

නව අදහස දක්වන්න