අධ්‍යාපනයේ නව මුහුණ විවර කිරීම | දිනමිණ

අධ්‍යාපනයේ නව මුහුණ විවර කිරීම

 මෙහි පළමු කොටස පසුගිය සතියේ පළ විය.

විෂය මාලා, න්‍යායික දැනුම් පාදක ලෙස නොව කුසලතා පාදක ලෙස සකස් කළ යුතුය. මෙම අවශ්‍ය කුසලතා සම්පාදනයට අවශ්‍ය පරිදි එය සිදු විය යුතුය. පාසල තුළ හා පාසලින් පරිභාහිරව ඉගෙනුම් සහායක හා ආධාරකය ලෙස සංඛ්‍යාංකිත තාක්ෂණය භාවිත කළ යුතුය. සිසුන්ගේ ශාස්ත්‍රීය ඵලදායිත්වය මෙන්ම තාක්ෂණික ඵලදායිත්වය ද පාදක කර ගත යුතුය. තාක්ෂණික කුසලතා සංවර්ධනය සඳහා කාලය පාසල තුළ දී වෙන් කළ යුතුය.

නවෝත්පාදක අනාවරණයන් සඳහා පාසල හා ඉගැන්වීම් විවෘත කළ යුතුය. පර්යේෂණ හා අනාවරණයන් සඳහා ඉගෙනුම් පරිසරය මාරු කළ යුතුය. ගුරුවරයා දැනුම් ප්‍රවාහකයකු වීම නොව සැලසුම්කරුවකු හා ක්‍රියාකාරකයකු මෙන්ම ශිෂ්‍ය කුසලතා සංවර්ධනය කරන්නකු ලෙස ගුරු භූමිකාව වෙනස් කර ගත යුතුය. සියලූ විෂය ක්ෂේත්‍රයන්හි ගුරුවරයා ගැටලූ විසඳන්නෙකු, නිර්මාණකරණයට සහාය වන්නකු හා සහයෝගීතාවෙන් ශිෂ්‍යයා සමඟ ක්‍රියා කරන්නකු ලෙස ද ගුරු භූමිකාව වෙනස් කර ගත යුතුය.

සියලූ ඇගයීම් ශිෂ්‍යයා ලියූ පිළිතුරුවලින් මනින්නකු නොව ශිෂ්‍යයා සිදු කළ නවෝත්පාදන හා නිර්මාණය මනින්නකු ලෙස වෙනස් විය යුතුය.

අධ්‍යාපනය තුළ ඉහත වෙනස්කම් ලොව පුරා වෙනස් වෙමින් පවතී. එහෙත් ශ්‍රී ලංකාව හා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ආයතන මෙන්ම දේශපාලනය ද තාමත් 19 වැනි සියවස හා 20 වැනි සියවස තුළ ගරා වැටෙමින් පවතී, ජාතික අධ්‍යාපන කොමිසම හා අධ්‍යාපනය සඳහා වග කියන සහ ප්‍රතිපත්ති සම්පාදන ආයතන ද වහා වෙනසකට භාජනය නොවන්නේ නම් අපගේ සංවර්ධනය තවත් වසර 50 කටවත් ඈතකට දිව යනු ඇත.

ශ්‍රී ලංකාව දැනුම් කේන්ද්‍රීය සමාජය මඟින් සංවර්ධනය කිරීමේ දී සුබදායක තත්ත්වයන් ද මතු වී ඇත. වසර 5 ක් තුළ අධ්‍යාපන සාධන මට්ටම් ඉහළට ගොස් තිබීම වැදගත් සාධකයකි. 2005 වසරේ සාමාන්‍ය පෙළ සමස්ත විෂය සාධන මට්ටම 47.8 ක් වූ අතර 2010 දී 58.8 දක්වා වර්ධනය වීමෙන් ඒ බව පැහැදිලි වේ. විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සමත් වීම ද එලෙසින් ම 55.2 සිට 61.2 දක්වා වර්ධනය වී ඇත. එසේ වුව ද සංවර්ධනය කර ගත යුතු තත්ත්වයන් ඇත. ශ්‍රී ලංකාවේ සිසුන් 50 ට වඩා අඩු කුඩා පාසල් 1590 ක් පවතී. සිසුන් 2500 ට වැඩි පාසල් 197 ක් හා ද්විතීක මට්ටමේ පාසල් 2721 ක් පවතී. අ.පො.ස. (උ. පෙළ) විද්‍යා විෂය ධාරාව ඇති පාසල් ලංකාවටම ඇත්තේ 719 ක් පමණි.

දැනුම් කේන්ද්‍රීය සමාජයක් සංවර්ධනය කර ආර්ථික මට්ටම ඉහළට ගැනීමේ දී විධිමත් අධ්‍යාපනයට පැවරෙනුයේ මහඟු කාර්යභාරයකි. මෙහි දී ද්විතීක පාසල් 1000 ක් සහ ඒවාට සම්බන්ධ කළ හැකි ප්‍රාථමික පාසල් 5000 ක් තෝරාගෙන ඒවා උසස් ප්‍රමිතියකට ගෙන ඒමට කටයුතු කිරීම දැනුම් කේන්ද්‍රීය සමාජයක් තුළ වැදගත්ම පියවරක් වේ. මෙමඟින් සමාජයේ වරප්‍රසාද ලත් කොටසක් පමණක් භුක්ති විඳීමට සූදානම් කර ගත් සුපිරි පාසල් සඳහා ප්‍රවේශවීමේ භාග්‍ය ඔවුන්ගෙන් වෙනස් වී පොදු ජනතාව සඳහා ද විවෘත වේ. වෙනත් අයුරකින් දක්වන්නේ නම් සුපිරි පාසල් සඳහා ප්‍රවේශය ප්‍රජාතාන්ත්‍රීය වේ. නැතහොත් අධ්‍යාපන සම අවස්ථා අධ්‍යාපන ප්‍රවේශයේ දී සියල්ලන්ටම ලැබීමට මහඟි අවස්ථාවක් මතු වේ. මෙය කන්නන්ගර මැතිතුමාගෙන් පසුව අධ්‍යාපනයෙහි සාධාරණීයත්වය ලබා ගැනීමට තැබූ මහඟු පියවරක් ද වේ.

මෙවර ගුරුවරුන් නව විෂයන් සඳහා බඳවා ගැනීමට ක්‍රියා කිරීම ද ඉතා වැදගත් වේ. භාෂා විෂයන්, තොරතුරු තාක්ෂණය විෂයන්ට මුල් තැන ලැබී ඇත. ගුරු හිඟය වලකා ගැනීම් වස් ගුරුවරුන් පාසලක් සඳහා පත් කිරීමේ ක්‍රමවේදය භාවිතයට මුල පිරීම ද වැදගත් වේ.

මෙම අධ්‍යාපන ප්‍රතිපත්ති මෙන්ම වැදගත් වන අනෙක් අධ්‍යාපන ප්‍රතිපත්තිය වන්නේ වෘත්තීය කුසලතා සංවර්ධනය ලෙස හඳුන්වන නොවිධිමත් අධ්‍යාපනය යොදා ගැනීම ශ්‍රී ලංකාවේ පාසල්වල පළමු වන ශ්‍රේණියට වාර්ෂිකව තුන් ලක්ෂ පනස්දාහක් පමණ ඇතුළත් කිරීමයි. මෙම සිසුන්ගෙන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන්නේ 22, 000 ක් පමණ ශිෂ්‍ය සංඛ්‍යාවකි. මේ හැර සිසුන් එක් ලක්ෂ හැත්තෑ දහසක පමණ ප්‍රමාණයක් විවිධ වෘත්තිය හා රැකියා පුහුණුව සඳහා යොමු වෙති. එහෙත් ඉතිරි අයගෙන් එක් ලක්ෂ හැට පන්දාහක් පමණ අ.පොස. (සා.පෙළ) අසමත් වෙති. මේ අනුව ඍජු ලෙසම රටේ සංවර්ධනය සඳහා යොමු වන්නේ විධිමත් අධ්‍යාපනය ලබන අයගෙන් එක් ලක්ෂයක් පමණ විභාග අසමත් වෙති.

මේ තරුණ ශ්‍රම බලකාය අතර පාසල් හැර යන සංඛ්‍යාව 43, 000 කි. මොවුන්ගේ විධිමත් අධ්‍යාපන සාධන මට්ටම හොඳ තත්ත්වයක නොමැත. එනම් අ.පො.ස. (සා. පෙළ) ට පැමිණීමට පෙරම ඔවුන් පාසලේ විවිධ ශ්‍රේණිවල දී පාසල හැර යාමයි. මේ අනුව 197, 000 ක් පමණ සිසුන් සංඛ්‍යාවක් විධිමත් අධ්‍යාපනයෙන් සුදුසුකම් ලබා දැනුම් කේන්ද්‍රීය සමාජයකට පැමිණියත් වාර්ෂිකව සාමාන්‍ය පෙළ විභාගයෙන් ලක්ෂයක් පමණ ද උසස් පෙළ විභාගයෙන් එක්ලක්ෂ විසිපන්දාහක් පමණ විශ්වවිද්‍යාලවලට නොතේරෙයි. මේ නිසා වාර්ෂිකව අ.පො.ස. සාමාන්‍ය පෙළ හා උසස් පෙළින් ලක්ෂ දෙකකට අධික ප්‍රමාණයක් නියමිත කුසලතාවකින් තොරව පාසලින් ඉවත් වෙති. මෙම දෙලක්ෂයක පමණ වූ කොටස නොවිධිමත් අධ්‍යාපනය මඟින් කුසලතාභිමුඛ අය බවට පත් කිරීම සඳහා ඍජු වැඩපිළිවෙලක් ගැන අවධානය යොමු කිරීම ඉතා වැදගත්ය.

නූතන අධ්‍යාපන මූලධර්ම අනුව විභාගවලින්ම සිසුන්ගේ කුසලතා හා නිපුණතා මැනිය නොහැකි බව අධ්‍යාපනඥයෝ දක්වති. එබැවින් විභාගවලින් අසමත් වන්නන් හා පාසල් හැර යන්නන් අදක්ෂයෝ නොවේ. ඔවුන් ද කුසලතා පරිපූර්ණ කොටසකි. එබැවින් නොවිධිමත් අධ්‍යාපනය මඟින් මේ අයගේ කුසලතා සංවර්ධනය කිරීම ඉතාම කාලෝචිත වූ මෙන්ම දැනුම් කේන්ද්‍රය සඳහා යා හැකි වැදගත්ම අංගයකි.

ලොව සංවර්ධිත රටවල ද මේ ප්‍රශ්නය පවතී. ඔවුන් නොවිධිමත් අධ්‍යාපනය භාවිත කර අධ්‍යාපනය අතර මඟ හැර යන අය ජාතික සංවර්ධනයට යොදා ගනිති. මෙහි දී තරුණ කුසලතා සංවර්ධනයේ දී දේශීය හා විදේශීය ශ්‍රම වෙළෙඳපොළ ඉලක්ක කර ගත් වෘත්තීය පුහුණුව සැලසුම් සහගතව ලබා දීම ඉතා වැදගත් වේ. මේ හැර දැනුම් කේන්ද්‍රීය සමාජයක් කරා යාමේ දී ලංකාවේ විවිධ අංශ මේ සඳහා භාවිත කළ හැකි වේ. අධ්‍යාපන මූලධර්ම හා වත්මන් අධ්‍යාපන දර්ශනවාදයන් අනුව අධ්‍යාපනය සියල්ලන්ට ම ලබා ගැනීමට අයිතිය ඇත.

අලූතින් දියුණු වූ රටවල් මෙම දර්ශනය භාවිත කර ඇත. ඒ අනුව පාසල් අධ්‍යාපනය හෝ විශ්වවිද්‍යාල අධ්‍යාපනය නොලැබූ අය නොවැදගත් ලෙස සලකා නැත. ඔවුන් ද ඉහත විධිමත් අධ්‍යාපනය ලැබූවන් මෙන්ම සලකා ඔවුන් ද නොවිධිමත් අධ්‍යාපනය මඟින් විවිධ කුසලතා සංවර්ධන පාඨමාලා තුළින් ආර්ථික සංවර්ධනය සඳහා දායක කරගෙන ඇත්තේ ඔවුන්ගේ සහජ කුසලතා දියුණු කිරීමෙනි. වැඩිහිටි අධ්‍යාපනය යනුවෙන් හඳුන්වන්නේ ද මෙම වැඩසටහනයි. දැනුම් කේන්ද්‍රය සඳහා ජාතික සංවර්ධනයට සැම පුරවැසියෙකුම දායක කර ගැනීමේ සැලසුම ඉතා වැදගත් වේ. සාමාන්‍ය අධ්‍යාපනය තුළ මානව ප්‍රාග්ධන පදනම දැනුම් ආර්ථිකය තුළ ස්ථානගත වී තිබීම ඉතා අවශ්‍ය සාධකයකි.

ලොව පුරා ප්‍රචලිතව ඇත්තාක් මෙන් ආර්ථික සංවර්ධනය සඳහා කුසලතා සංවර්ධනය සිදු කර ගන්නා ලෙස අධ්‍යාපනය සකස් කර අධ්‍යාපන ක්‍රමය තුළ නව වෙනසකට පැමිණිය යුතුය. රැකියා සඳහා නව ‘‘මෘදු කුසලතා’’ රැසක් අධ්‍යාපනය තුළින් ලබා දිය යුතුව ඇත. මෘදු කුසලතා ලෙස රැකියාවකට පිවිසෙන්නන් හට විනය පුරුදු, නිර්මාණශීලී ගතිලක්ෂණ, මනා සන්නිවේදන කුසලතා, කණ්ඩායම් සමඟ සහයෝගීව ක්‍රියා කිරීම, ගැටලූ විසඳීමේ හැකියාව, තීරණ ගැනීමේ හැකියාව, නියමිත වේලාවට කාර්යයන් නිම කිරීමේ හැකියාව සුදුසු පරිදි සුදුසු ස්ථානයකට ගැළපෙන ලෙස ජීවත් වීම, පුහුණු වීමේ හැකියාව, ජාත්‍යන්තර භාෂා හැකියාව, ඉංග්‍රීසි භාෂා හැකියාව, ගණිත හා විද්‍යා දැනුම, තොරතුරු තාක්ෂණ හැකියාව ආදිය නූතන ලෝකයෙහි සාමාන්‍ය හැකියා බවට පත් වී ඇත.

ඉංග්‍රීසි භාෂා හැකියාව විශ්ව දැනුම් ආර්ථිකයෙහි වැදගත්ම දෙයකි. ජාත්‍යන්තර මූල්‍ය කටයුතු හා වාණිජ කටයුතු සඳහා පර්යේෂණ දැනුම හා අනාවරණයන් දැන ගැනීම සඳහා විශේෂයෙන්ම විද්‍යානුකූල අනාවරණයන් දැන ගැනීම ඉතා වැදගත් වේ. විෂයමාලා වෙනස්වීම්, විෂය සමගාමී ක්‍රියා ආදී නව වෙනස්කම් පාසල තුළට හඳුන්වාදීම අවශ්‍ය වේ.

ද්වි භාෂා හැකියා නව ලොව සඳහා අත්‍යවශ්‍ය වේ. වර්තමානයේ ස්වභාවය අනුව 06 වැනි ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා තෝරා ගත් විෂයන් කීපයක් ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වීම ද්වි භාෂා අධ්‍යාපනයට වැදගත් වේ. මේ නිසා සැම අයෙකුටම මවු භාෂාව හා ඉංග්‍රීසි භාෂා කුසලතා ලබා ගත හැකිය. මෙම භාෂා දෙකකින් ඉගෙනීම නිසා ඔවුන්ට ආර්ථික මෙන්ම වෘත්තීය අවස්ථා ළඟා කර ගැනීමට හේතු වේ. ලංකාවේ 06 සිට ඉගෙනුම ලබන ද්විතීක භාෂා ශිෂ්‍ය සංඛ්‍යාව 55, 000 ක් පමණ වේ.

ගණිත කුසලතා නූතන ගෝලීයකරණය යටතේ අත්‍යවශ්‍ය වේ. ප්‍රායෝගික ගණිත කුසලතා හැම අයෙකුගේම දෛනික ජීවිතය සඳහා ඉතා වැදගත් වේ. සැම අයෙකුටම සුවිශේෂ චිත්තයටත්, විශ්ලේෂණාත්මක කුසලතා සංවර්ධනයටත් ගැටලූ විසඳා ගැනීමටත් වෘත්තීය වශයෙන් ගණිතය ඉතා වැදගත් වෙයි. එහෙත් සිංගප්පූරුව, එංගලන්තය ආදී රටවල් අ.පො.ස. (සාමාන්‍ය පෙළ) සඳහා ගණිත විෂය මාලා දෙකක් හා ප්‍රශ්න පත්‍ර දෙකක් පවත්වයි. ඉන් එකක් දෛනික සරල අවශ්‍යතා සඳහා ගණිතයයි. අනෙක් ගණිතය වන්නේ අදාළ ඉහළ වෘත්තීය අවශ්‍යතා සඳහා ගණිතය විෂයයි. විශේෂ ගණිතය, භෞතික විද්‍යාව, ගණිතය, ආර්ථික විද්‍යාව ආදී සුවිශේෂී වෘත්තීය අධ්‍යාපනය සඳහා ගැඹුරු ගණිත කුසලතා ලබා දීම ඇගයීම සඳහා වෙනම විභාගයක් අ.පො.ස. (සාමාන්‍ය පෙළ) සඳහා පැවැත්වේ. අප රටෙහි අධ්‍යාපන අමාත්‍යාංශය ද මෙය ක්‍රියාත්මක කළ යුතුව ඇත.

විද්‍යා හා තාක්ෂණ දැනුම නව ගෝලීයකරණය තුළ පාසල් අධ්‍යාපනය සඳහා අත්‍යවශ්‍ය වූ විෂයක් වී ඇත. ආර්ථික සංවර්ධනය සඳහා මෙම විෂය ඉතා ඵලදායී ලෙස යොදා ගැනීම ඉහළ තාක්ෂණය හා තාක්ෂණික මෙවලම් නිෂ්පාදනයේ දී එම විශේෂඥයින් විදේශ සඳහා යැවීමේ දී ද විද්‍යා හා තාක්ෂණික දියුණුව ඉතාම වැදගත් වේ. ශ්‍රී ලංකාවේ එබඳු පුද්ගලයින් එක් අයකු විදේශගත කරන විට සිංගප්පූරුව එබඳු අය තායිලන්තයේ 27% ක් ද මැලේසියාවේ 55% ක් හා සිංගප්පූරුවේ 57% ක් ද විදේශගත කරති.

එමෙන්ම පාසල් විද්‍යා විෂය ධාරාව මඟින් විද්‍යා තොරතුරු පරීක්ෂණය මඟින් සංවර්ධනය කිරීමට අවකාශ සැලසිය යුතුය. විද්‍යා කුසලතා ආකල්ප සිසුන්ට ලබා දිය යුත්තේ ඉගෙනුම් ඵලයන් ලෙසටය. එපමණක් නොව නූතන අධ්‍යාපනය තුළ අධ්‍යාපන ක්‍රියාවලිය රටෙහි ප්‍රජාව තුළ සමාජ සංස්කෘතික හා දේශපාලනික ජීවිතයන් මුවහත් කිරීම සඳහා භාවිත කළ යුතුය.

නූතන දැනුම් ආර්ථිකයේ පදනම මානව ප්‍රාග්ධන පදනම සාමාන්‍ය අධ්‍යාපනය තුළ අර්ථවත් පරිදි සංවර්ධනය කර ගත යුතුය. දැනුම් ආර්ථිකය සංවර්ධනයේ දී සමාජ, සංස්කෘතික පදනම ප්‍රජාතාන්ත්‍රීය විය යුතුය. ප්‍රාථමික අධ්‍යාපනය අනිවාර්ය හා විශ්ව ව්‍යාප්ත විය යුතුය.

කනිෂ්ඨ ද්විතික හා ජ්‍යෙෂ්ඨ ද්විතික අධ්‍යාපනයට සහභාගි වන සංඛ්‍යාව ඉහළ මට්ටමක විය යුතුය. ඒ ඔවුන් සංවර්ධනයේ ඍජු දායකත්වය වන නිසාය.

මහාචාර්ය ආනන්ද ජයවර්ධන
අධ්‍යාපන සමාජවිද්‍යා අධ්‍යයනාංශය
අධ්‍යාපන පීඨය
කොළඹ විශ්වවිද්‍යාලය

නව අදහස දක්වන්න