පළමුව පුහුණුව දෙවනුව එළවීම | දිනමිණ

පළමුව පුහුණුව දෙවනුව එළවීම

රටේ සිදුවන රිය අනතුරු සංඛ්‍යාව දෙස බලන විට ද, එයින් මිය යන හා ආබාධිත තත්ත්වයට පත්වන විශාල පිරිස දෙස බලන විටද සමාජය කම්පනයකට ලක්වීම පුදුමයක් නොවේ. එක අතෙකින් රියදුරන්ට ද තව අතෙකින් ආණ්ඩුවටද මේ සම්බන්ධයෙන් විවේචන එල්ල වෙයි. මහජනයා රිය අනතුරු සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය කෙබඳුද යත්; අනතුරක් වූ සැණෙන් රෝගීන් ගැන නොබලා රියදුරන්ට තඩිබාන්නට පෙලැඹී ඇත. සමාජය වෙතින් ප්‍රකාශයට පත්වන්නේ රිය අනතුරු අවම කරගැනීම සඳහා කුමක් හෝ පියවරක් ගත යුතු බව ය. රියදුරන් නීතිගරුක නම්; ඔවුනට හොඳ පුහුණුවක් තිබේ නම්; අනතුරු සැලකිය යුතු අන්දමින් පහළ යනු ඇත.

අනතුරුවලට ගොදුරු වන්නේ ද අනතුරු බහුල ලෙසින් ඇති කරන්නේ ද, බස් රථ රියදුරන්, ටිපර් රියදුරන් හා ත්‍රිරෝද රථ රියදුරන් යැයි මතයක් සමාජය තුළ පවතී. එය අසත්‍යයක් නොවන බව සංඛ්‍යා දත්ත පරීක්ෂා කරන විට ද පැහැදිලි වෙයි. පෞද්ගලික බස්රථ මේ අතරින් ප්‍රධාන වෙයි. පොලීසිය වරක් කියා සිටියේ රියදුරු බලපත්‍ර නැති අය පවා පෞද්ගලික බස් රථ හා ත්‍රිරෝද රථ පදවන බව ය. ඇතැම් දුර සේවා බස්රථවල කොන්දොස්තර බස් රථය පදවන අතර රියදුරු හොඳට නිදා ගනී. මේ හුවමාරුව නිසා බරපතළ අනතුරු සිදු වු අවස්ථා වාර්තා වී ඇත. කොන්දොස්තර බස් රථයක් පැදවීම යනු මරණය පෙනි - පෙනී යන ගමනකි.

රජය රිය අනතුරු වැළැක්වීම සඳහා වැදගත් පියවර රැසක් ගත් අතර එහි තවත් අංගයක් ක්‍රියාත්මක කිරීමට යයි. එනම්; සියලු බස් රථ රියදුරන් සඳහා විධිමත් පුහුණුවක් ලබාදීම ය. මේ අනුව ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය පුහුණුව ලැබූ රියදුරන්ට සහතිකයක් ලබා දෙයි. ජූනි 01 දා සිට එම සහතිකය පරීක්ෂා කිරීම සිදුවන අතර සහතිකය නැති අයට බස් රථ පැදවීමට ඉඩ ලබා නොදෙයි. පුහුණු වැඩසටහන පටන්ගෙන ඇත්තේ කලකට පෙරය. ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව හා ලංකා ගමනාගමන මණ්ඩලය ඒකාබද්ධව පුහුණුව ලබා දෙයි. මේ වනවිට ලංගමයේ සියලු රියදුරන්ට පුහුණුව ලබා දී අවසන් ය. පෞද්ගලික අංශයෙ රියදුරන් 17,000කට ද දැනට පුහුණුව ලබා දී ඇත.

ජූනි 01 දාට පෙර සියලු බස්රථ රියදුරන් ඉහත පුහුණුව ලබාගත යුතුය. පුහුණු කාලය දින දෙකකි. ඉතිරි රියදුරන්ට ලබා දී ඇති කාලය හොඳට ම ප්‍රමාණවත් යැයි සිතන්නට පුළුවන. මේ පුහුණුව පසුව පාසල් වෑන් රථ හා ත්‍රිරෝද රථ දක්වාද විකාශය කිරීමට රජය තීන්දු කර තිබේ. බස් රථ රියදුරන් ගැන බැලුවහොත් ඔවුනට පළමුව පුහුණුව ලබාදීම ඉතා වැදගත්ය. වැඩි පුර අනතුරු සිදුවන්නේ ද බස් රථ රියදුරන් අතින් යැයි කියන්නට පුළුවන. එක අතෙකින් පෞද්ගලික බස් හා ලංගම බස් අතර තියුණු තරගයක් පවතී. තව අතෙකින් පෞද්ගලික බස් රථ මාර්ග නීති නොසලකා ධාවනය වෙයි. මේ දෙක ම නරක ය.

බස් රථයක් පැදවීම යනු බරපතළ වගකීමක් බව අපේ රියදුරන් වටහාගෙන නැත. පෞද්ගලික බස් රථ මේ තරමින් ව්‍යාප්ත වීමට පෙර මගී ප්‍රවාහනයේ මුළු බර දැරුවේ ලංගම ය.එම රියදුරන්ට විශේෂ පුහුණුවක් තිබූ අතර වගකීම පිළිබඳ වැටහීමක් ද තිබිණි. එදා බස් රථවල රියදුරු අසුන ළඟ අපූරු වැකියක් ලියා තිබිණි. එහි සඳහන් වූයේ ‘ජීවිත රැසක් ඔබ දෑතේ’ යන්න ය. එදා ලංගම රියදුරන්ට දැඩි විනය නීති මාලාවක් තිබිණි. ඒ හැරෙන්නට පුහුණුව මගින් දැනුම් සම්භාරයක් ද ඔහු වෙත ලබා දී තිබිණි. පෞද්ගලික බස් රියදුරන්ට මේ කිසිදු පුහුණුවක් නැත. ඇතැම් රියදුරන් හැසිරෙන්නේ මැරයන් ලෙස ය.

බස් රථවල දොරටුවෙන් විසි වී සැලැකිය යුතු පිරිසක් මිය ගොස් ඇත. මෑතක දී ගැබිණි කාන්තාවක් බස් රථයකින් විසි වී මරණයට පත් වූයේ බිහි නොවූ දරුවා ද සමඟ ය. බසයට නැඟීම, බසයෙන් බැසීම ආදිය ගැන සෝදිසියකින් සිටින්නට අපේ රියදුරන් පුරුදු වී නැත. බසයෙන් බසින ඇතැමෙක් තමන් පැමිණි බස් රථයට ම යට වී මිය යති. පිටකොටුව පෞද්ගලික බස් නැවතුමේ දී එලෙස කාන්තාවක් මිය ගියා ය. එම මියගිය කාන්තාව දුටු පෞද්ගලික බස් රථයේ කොන්දොස්තර කියා ඇත්තේ ‘අයියෝ බස් එක දවස් තුනකට දුවන්න බෑ” යන්න ය. මිනිස් ජීවිත ගැන තඹ දොයිතුවක හැඟීමක් රියදුරන්ට ද නැත. කොන්දොස්තරලාට ද නැත. හොඳ මගී ප්‍රවාහන සේවයක් සඳහා මේවා වෙනස් විය යුතු ය.

මේ වැඩසටහනෙහි ඊළඟ පියවර වන්නේ පාසල් වෑන් රථ රියදුරන්ට හා ත්‍රිරෝද රථ රියදුරන්ට ද අදාළ පුහුණුව ලබා දීම ය. එය තවත් වැදගත් සේවාවක් ලෙස ද සලකන්නට පුළුවන. අවිනීත රියදුරන් නිසා පාසල් දරුවන් අපහසුවට පත් වූ අවස්ථා පිළිබඳ වාර්තා ඕනෑතරම් තිබේ. පාසල් දරුවන් ප්‍රවාහනය කරන රියදුරන් විශේෂ වගකීමක් දරන අය ලෙස ද සැලැකිය හැකි ය. එහෙත් දැන් සිදුවන්නේ අලුත් වෑන් රථයක් ඇති අය කොහෙන් හෝ රියදුරකු මාට්ටු කරගෙන තම ව්‍යාපාරය කරගෙන යෑම ය. ත්‍රිරෝද රථ රියදුරන්ගේ තත්ත්වය ඊටත් වඩා අන්ත ය. එම රියදුරන්ගෙන් සැලැකිය යුතු පිරිසකට රියදුරු බලපත්‍රය පවා නැත.

කොළඹ කටුනායක අධිවේගී මාර්ගය හා කොළඹ හා දකුණ යා කෙරෙන අධිවේගී මාර්ගය දැන් ක්‍රියාත්මක ය. තව වැඩිකල් යෑමට මත්තෙන් දඹුල්ලට, කුරුණෑගලට හා මහනුවරට ද අධිවේගී මාර්ග දිවෙනු ඇත. එම මාර්ගවලදී මාර්ග නීති අකුරටම පිළිපැදිය යුතුය. එලෙසම අවබෝධයකින් රථය ධාවනය කළ යුතුය. බොහෝ රියැදුරන් අධිවේගී මාර්ගවලදී අන්ද-මන්ද වෙති. ඊට හේතුව පුහුණුවක් නැතිකමය. තව අතෙකින් අපේ රටේ ප්‍රධාන මාර්ගවල වාහන ධාවනය කළ යුතු පිළිවෙළක් හා ප්‍රතිපත්තියක් තිබේ. එසේ නොහික්මුණු රියදුරන්ගේ උත්සාහය වන්නේ මේ මාර්ගවල ඉගිල යෑමය. එය පුහුණුවක් නැතිකමේ වරදක් යැයි කියන්නට පුළුවන.

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළම තනතුරක් දරන තැනැත්තකු වරක් ජනමාධ්‍යයට ප්‍රකාශ කර සිටියේ, ශ්‍රී ලංකාවේදී කිසියම් මගී ප්‍රවාහන රථයකට ගොඩවන්නේ නම්; තමන්ගේ ජීවිතය හා මරණය 50% ගණනේ තබමින් එම රථයට නැඟිය යුතු බව ය. මේ කතාව මුළුමනින්ම ඇත්තකි. ශ්‍රී ලංකාවේදී වාහනයකට නඟින සෑම කෙනකුම ජීවිතාරක්ෂාව ගැන වරක් - දෙවරක් - නොව සියවරක්වත් කල්පනා කළ යුතුය. එයට හේතු ගණනාවක් තිබේ. ඒ අතින් ප්‍රධාන වන්නේ රියදුරන්ගේ තත්ත්වය ය. ඔවුන්ගේ අපරීක්ෂාකාරී හා අවිනීත රිය පැදවීමය.

මේ පුහුණුව කොයි අතින් බැලුවත් ඉතා වැදගත් ය. එහෙත් පුහුණුව සඳහා කිසියම් ගාස්තුවක් අය කරන්නේ ද යන්න සොයා ගත නොහැකි විය. මෙය නොමිලේ පැවැත්වෙන්නේ නම් ඉතා වැදගත් ය.

නව අදහස දක්වන්න