චරනගේ තුන් ඉරියව් දස්කම් තර්ස්ටන් විදුහලට ජය ගෙනෙයි | දිනමිණ

චරනගේ තුන් ඉරියව් දස්කම් තර්ස්ටන් විදුහලට ජය ගෙනෙයි

නිරෝෂාන් ප්‍රියංකර

චරන නානායක්කාරගේ තුන් ඉරියව් දස්කම් හේතුවෙන් සිංගර් කුසලාන අවුරුදු 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ වෙන්නප්පුව සාන්ත ජෝශප් වාස් විදුහල සමග පැවැති පළමු කොටසේ තරගයෙන් ඉනිමක හා ලකුණු 62ක පහසු ජයක් අත්කර ගැනීමට කොළඹ තර්ස්ටන් විදුහල සමත් විය.

තර්ස්ටන් විදුහල් පිටියේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ජෝශප් වාස් පිල ලකුණු 82කට සීමා කිරීමට චරන නානායක්කාර හා අයේෂ් හර්ෂන සමත් වූහ. චරන ලකුණු 27කට කඩුලු 6ක් දවාගත් අතර අයේෂ් කඩුලු 3ක් බිඳ දැමීය.

පිළිතුරු ලෙස පළමු ඉනිමට කඩුලු 8ක් දැවී තිබියදී ලකුණු 253කට ඉනිම අත්හිටවු තර්ස්ටන් ක්‍රීඩකයෝ ලකුණු 171ක් ඉදිරියෙන් සිටියහ. චරන නානායක්කාර (67), ඉමේෂ් වීරංග (54) හා නවෝද් සමරකෝන් (50) තර්ස්ටන් පිල වෙනුවෙන් අර්ධ ශතක වාර්තා කළහ.

ලකුණු 171ක් පිටුපසින් දෙවැනි ඉනිම ඇරැඹූ ජෝශප් වාස් ක්‍රීඩකයන්ට සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 109ක් පමණි.

ජෝශප් වාස් විදුහල වෙනුවෙන් තුන් ඉරියව් දස්කම් දැක්වූ ධනංජය පෙරේරා ලකුණු 67 වාර්තා කළ අතර පන්දු යැවීමේදී කඩුලු 5ක් බිඳ දැමීමට සමත් විය.

ජෝශප් වාස් පළමු ඉනිම - 82 (ඕවර 34.1) (චරන නානායක්කාර 27/6, අයේෂ් හර්ෂන 13/3) සහ දෙවැනි ඉනිම - 109 (ඕවර 48.4) ධනංජය පෙරේරා 67 (නවීන් ගුණවර්ධන 20/4)

තර්ස්ටන් පළමු ඉනිම - 253/8 (ඕවර 62) චරන නානායක්කාර 67, ඉමේෂ් වීරංග 54, නවෝද් සමරකෝන් 50 (ධනංජය පෙරේරා 72/5, ෂෙහාර රණතුංග 66/3)

ලුම්බිණියට කඩුලු 7ක ජය

මොරටුව වේල්ස් කුමර විදුහල සමග පැවැති පළමු කොටසේ තරගයෙන් කඩුලු 7ක ජයක් කොළඹ ලුම්බිණි විදුහලට හිමිවිය. තරගයේ පළමුව පන්දුවට පහරදුන් වේල්ස් කුමර විදුහල ලකුණු 97කට සීමාකළ ලුම්බිණි ක්‍රීඩකයන්ට පළමු ඉනිමේදී ලබාගත හැකිවූයේ ලකුණු 86ක් පමණි.

වේල්ස් කුමර දෙවැනි ඉනිම ලකුණු 80කට සීමාකළ ලුම්බිණි පිල ජයග්‍රහණය සඳහා හිමිවූ ලකුණු 92ක ඉලක්කය කඩුලු 3ක් දැවී තබියදී සපුරා ගත්තේය.

ලුම්බිණි පිල වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ විමුක්ති කුලතුංග කඩුලු 10ක් දවා ගැනීමට සමත් විය. තරගය බී.ආර්.සී පිටියේදී පැවැත්විණි.

වේල්ස් කුමර පළමු ඉනිම - 97 (ඕවර 62) අවිඳු ප්‍රනාන්දු 27 (විමුක්ති කුලතුංග 32/4, තනුක දාබරේ 17/3) සහ දෙවැනි ඉනිම - 80 (ඕවර 40.3) (විමුක්ති කුලතුංග 27/6)

ලුම්බිණි පළමු ඉනිම - 86 (ඕවර 26.2) තනුක දාබරේ 30 (සංජය ප්‍රනාන්දු 19/3, තිලාන් නිමේෂ් 26/3) සහ දෙවැනි ඉනිම - 94/3 (ඕවර 18.2) රවිඳු සංජීව නොදැවී 52

අශේන්ගෙන්-රවිඳුගෙන් ශතක

විශිෂ්ට පිති හරඹයක් දියත් කරමින් අශේන් ප්‍රනාන්දු හා රවිඳු ප්‍රනාන්දු වාර්තා කළ ශතක හේතුවෙන් කුරුණෑගල මලියදේව විදුහල සමග කටුනේරිය සාන්ත සෙබස්තියන් විදුහල් පිටියේ පැවැති තරගයේ පළමු ඉනිමේ ජය හිමිකර ගැනීමට මීගමුව මාරිස්ටෙලා විදුහල සමත් විය.

මාරිස්ටෙලා විදුහල පළමු ඉනිමට ලකුණු 407ක් රැස්කළ අතර අශේන් හා රවිඳු ලකුණු 117 බැගින් රැස් කිරීම කැපී පෙනුණි.

රවිඳු ප්‍රනාන්දු තුන් ඉරියව් දස්කම් දක්වමින් පන්දු යැවීමේදී කඩුලු 7ක් ද බිඳ දැමීමට සමත් විය.

මාරිස්ටෙලා පළමු ඉනිම - 407/7 (ඕවර 74) අශේන් ප්‍රනාන්දු 117, රවිඳු ප්‍රනාන්දු 117, ලසිත් කෘස්පුල්ලේ 52, සචිඳු කොළඹගේ 41 (කවීන් බණ්ඩාර 72/4)

මලියදේව පළමු ඉනිම - 171 (ඕවර 40.5) දුලාජ් රණතුංග 50 (රවිඳු ප්‍රනාන්දු 34/7, පසිඳු උෂෙට්ටි 65/3) සහ දෙවැනි ඉනිම - 289/5 (ඕවර 75) ධනංජය ප්‍රේමරත්න 93, දුලාජ් රණතුංග 57, ඩිල්ෂාන් කොල්ලුරේ 46 (පසිඳු උෂෙට්ටි 93/3)

 

නව අදහස දක්වන්න