අනතුරු වැඩි වංගුව පුළුල් කරන්න ඉඩමක් පරිත්‍යාග කළ සත්පුරුෂයා | දිනමිණ

අනතුරු වැඩි වංගුව පුළුල් කරන්න ඉඩමක් පරිත්‍යාග කළ සත්පුරුෂයා

අකුරැස්ස මධ්‍යම විශේෂ - විජිත සල්ගාදු

දීර්ඝ කාලයක් මුළුල්ලේ තමන් පදිංචි නිවස ඉදිරිපිට මාර්ගයේ සිදුවන රිය අනතුරු වැළැක්වීමේ අරමුණින් නිවස ඉදිරිපස ඉඩමෙන් කොටසක් මාර්ගය පළල් කිරීම සඳහා පරිත්‍යාග කළ ඊ.ජී. රණවක මහතා කුඩා ඉඩම් හිමි වැවිලිකරුවෙකි.

අකුරැස්ස - දෙනියාය ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටි මාරඹ , කොටවලගොඩ නිවසේ අයිතිකරු වන මොහු පදිංචි නිවස ඉදිරිපිට මාර්ගයේ දරුණු වංගුවක් තිබීම නිසා අනිත් පසින් පැමිණෙන රථ වාහන රියැදුරුවරයාගේ ඇස ගැටෙන්නේ රථය ආසන්නයටම පැමිණි පසුවීම නිසා දීර්ඝ කාලයක් මුළුල්ලේ මෙම ස්ථානය දැඩි අනාරක්ෂිත භාවයක් උසුලන මාර්ග කොටසක්වී තිබුනි.

මෙම ස්ථානයේ ඇති දැඩි අනාරක්ෂිත තත්වය පිළිබඳව වසර කිහිපයක සිටම විවිධ අදහස් ඉදිරිපත්වී තිබුනි.

අනතුරක් සිදුවූවිට අනාරක්ෂිතවූ දරුණු වංගුව පිළිබඳව කථා බහට ලක්වෙනවා හැරෙන්නට වෙනත් විසඳුමක් සෙවීමට මෙතෙක් කලක් කිසිවෙකු හෝ උත්සුකවූ බවක් පෙනෙන්නට නොතිබුනි.

මෙම අනතුරුදායක තත්වය මහහරවා ගැනීම සඳහා එම වංගුවට මායිම්ව ඇති ඉඩමෙන් කොටසක් ඉවත්කර මාර්ගය පළල් කිරීම සඳහා මැදිහත්වී එම ඉඩමේ අයිතිකරුගෙන් එම ඉඩමෙන් කොටසක් ලබාගැනීමට සාකච්ඡා කරන ලෙසට මාර්ග සංවර්ධන අධිකාරිය මගින් අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කරන ලද යෝජනාව අනුව ප්‍රාදේශීය ලේකම් චන්දන තිලකරත්න මහතා හා සහකාර ප්‍රාදේශීය ලේකම් නිරෝෂා ගමගේ මහත්මිය කඩිනමින් එම කටයුත්තට මුලපුරන්නට වූහ.

ඉඩමේ අයිතිකරුවූ රණවක මහතාව මුණගැසී පවතින තත්වය පැහැදිලිකර ඔහුගේ ඉඩමෙන් කොටසක් මාර්ගය පුළුල් කිරීම සඳහා යොදාගැනීමට අවසරය ඉල්ලා සිටියහ.

පැල ඉණි වැටට ඇණ කොටාගන්නා, මිනී මරා ගන්නා සමාජයක, එක බිම් අඟලක් වෙනුවෙන් නඩු හබ වලට පැටලෙන යුගයක දෙවරක් නොසිතූ හෙතෙම අනතුරු මුළුනුපුටා දමමින් මිනිස් ජීවිත බේරාගැනීමේ අරමුණ පෙරදැරි කරගත් පරම පිවිතුරු චේතනාවෙන් තමන් පදිංචි නිවසේ ඉදිරිපස ඉඩම් කොටසින් මීටර් 70 ක් දිගට හා මීටර් 04 ක් පළලට ඉඩම් කැබැල්ල පරිත්‍යාග කිරීම සැබවින්ම මුළුමහත් සමාජයේම ඇගයුමට ලක්විය යුත්තකි.

නව අදහස දක්වන්න